Ads 468x60px

.

ක්‍රිකට් ක්‍රීඩකයින් සල්ලි දුන් පමණින් ඕනෑම දෙයක් වෙනුවෙන් පෙනීසිට කිච නොවිය යුතු බව නම්..

කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයින් ආයෝජන සඳහා ජනතාව උනන්දු කරන වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටීමේදී වඩාත් වගකීම් සහගත වීම සහ අදාළ සමාගම් පිළිබඳව හොඳින් සොයා බලා එවැනි දැන්වීම සඳහා පෙනී සිටීම ඉතාමත් වැදගත් කාරණාවකි.

හයේ හතරේ පහරවල් ගසන විට ක්‍රීඩා පිටියට පැමිණ තමන් වෙනුවෙන් හුරේ දමන සාමාන්‍ය මහජනතාව අමාරුවේ නොදැමීම මෙවැනි ක්‍රීඩකයින්ගේ වගකීමකි. 


ලෝකයේ ක්‍රිකට් පිස්සන් සිටින රටවල් අතර ලංකාවද පෙරමුණේ සිටින අතර ක්‍රිකට් ක්‍රීඩකයින්ව පෙන්වා ඕනෑම දෙයක් විකුණා ගැනීමේ හැකියාව මෙවැනි රටවල තිබේ.

මෙම ලිපියෙන් මතු කරන්නට වෙහෙසෙන කාරණාව කුමක්ද..? 


තේක්ක ඇතුළු වන වගා සිදුකරන ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ස් සමාගමේ ක්‍රියාකාරකම් පිළිබඳව මේ වනවිට සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කොමිසම පවසා තිබෙන්නේ මෙම සමාගමේ අයිතියෙන් සියයට 90 කට වඩා වැඩි ප්‍රමාණයක් මහජනතාව සතුවන බවයි.

මීට අමතරව, මෙම සමාගමේ කටයුතු අවසන් කරන ලෙස ඉල්ලා ගනුදෙනු කරුවෙකු විසින් මේ වනවිට අධිකරණය වෙත පෙත්සමක්ද ඉදිරිපත් කර ඇත. 


මෙවැනි අර්බුද රැසකට මැදිවූ මෙම සමාගමේ ආයෝජන කටයුතු කලක් ප්‍රවර්ධනය කිරීමේ යෙදී සිටියේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකි. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන දෙදෙනාය.

ඔවුන් පෙනී සිටි වෙළඳ දැන්වීම් නිසා බොහෝ සාමාන්‍ය ජනතාවක් මෙම සමාගමේ ආයෝජන කටයුතු සිදුකරන්නට ඇත. නමුත්, පවතින වාතාවරණය හමුවේ එම ආයෝජකයින්ගේ ආයෝජන වලට යම් කිසි ප්‍රශ්නයක් වුවහොත් මෙම ක්‍රීඩකයින් දෙදෙනාට එහි වගකීමෙන් කොටසක් හෝ දැරිය හැකිද..?

අනිත්, ආසන්නතම උදාහරණය වන්නේ බංකොලොත් වී ඇතැයි පැවසෙන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගමයි. මෙහි ආයෝජන කටයුතු කලක් ප්‍රවර්ධනයේ යෙදී සිටියේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියයි. සනත් ජයසූරියගේ රුව රැගත් ප්‍රචාරණයන් මෙම සමාගම විසින් සාමාන්‍ය ජනතාව අද්දවා ගැනීම සඳහා භාවිතා කළේය.

නමුත්, සමාගම විසින් මේ වනවිට මුහුණ දී තිබෙන අසීරු තත්ත්වය පිළිබඳව පසුගියදා කොළඹ කොටස් වෙළඳ පොළට කරුණු දක්වා තිබුණි. සමාගමේ කළමනාකරණය වෙනස්වීම නිසා තැන්පතු ඉල්ලමින් පැමිණි මහජනතාව වැඩිවූ බවත් ඒ නිසා සමාගමෙන් වැඩිපුර මුදල් ගලා යාමක් සිදුවූ බවත් එහි සඳහන් විය.

නව ආයෝජකයින් අධ්‍යක්ෂ මණ්ඩලයට පැමිණෙන තුරු කිසිදු වත්කමක් විකිණීම හෝ අරමුදල් රැස්කිරීම සමාගමට තහනම් කර තිබී ඇත. මෙවන් තත්ත්වයක් තුළ සමාගම විසින් ගනුදෙනු කරුවන්ට ලබාදී තිබෙන චෙක්පත් අගරු වී තිබේ.

2013 මැයි මාසයේදී නව ආයෝජකයා පැමිණියද පොරොන්දු වූ පරිදි කිසිදු ආයෝජනයක් සිදුවී නැති අතර අවසානයේදී සමාගමේ කළමනා කාරීත්වය මහ බැංකුව විසින් පීපල්ස් ලීසිං සමාගමට 2013 ජූලි මාසයේදී පවරා තිබේ.

මේ අතර, අගරු වූ චෙක්පත් ලැබුණු ගනුදෙනු කරුවන් දෙදෙනෙකු විසින් කළ පොලිස් පැමිණිල්ලකට අනුව අධිකරණ ක්‍රියා මාර්ගයක් සිදුවන නිසා ගනුදෙනු කරුවන්ගේ තැන්පතු ලබාදිය නොහැකි බව සමාගම වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා පසුගියදා අධිකරණයට දැනුම් දී තිබුණි.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පෙනී සිටි සෙන්ට්‍රල් ඉන්වෙස්ට් මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම අර්බුදයට ලක්වන්නේ මේ ආකාරයටයි. මෙම කිසිදු අර්බුදයක් එක් රැයකින් ඇතිවූවක් නොවන අතර ඒවා දිගු කාලීන ගැටලු මාලාවක අවසාන ප්‍රතිඵලයකි.

සාමාන්‍යය ජනතාවගේ කර මතින් පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයින් මෙයින් උගත යුතු පාඩම කුමක්ද..? තමන්ව විශ්වාස කරන හුදී ජනයාට යම් වෙළඳ පණිවුඩයක් ලබාදීමට පෙර තමා පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන්දැයි ගැඹුරින් සොයා බලා කටයුතු කිරීම වැදගත් බවයි. 


මූල්‍ය කරුණු පිළිබඳව අවබෝධයක් නොමැති නම් ඒ සම්බන්ධයෙන් මූල්‍ය විශ්ලේෂකයෙකුගෙන් උපදෙස් ලබාගත යුතු බවයි. සල්ලි ලබාදුන් පමණින් ඕනෑම දෙයක් වෙනුවෙන් පෙනී සිට කිච නොවිය යුතු බවයි.
 
Related Posts with Thumbnails