Ads 468x60px

.

රටම කතා කළ බලු මඟුලේ ඇත්ත කතාව මෙන්න

ලංකාවට අඩුවක්‌ තිබුණි නම් ඒ බලු විවාහ පමණකි. කාටවත් වචනයක්‌ කියන්නට ඉඩ නොදී ඒ අඩුපාඩුව ද ඉහළම අයුරින් පසුගිය 26 වැනි සඳුදා මහනුවර පොලිස්‌ ක්‍රීඩා පිටියේදී සිදු කෙරුනා.

ශ්‍රී ලංකා බලු ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූ මෙම බලු මංගල්‍යය ඇසූ දුටුවන්ට මුලින් හාස්‍යය, උත්ප්‍රාසය ඇති වුනා. පසුව ඇති වූයේ කළකිරීමක් බවයි ඇසු දුටුවන් පැවසුවේ
 
මේ රටේ මෙච්චර දේවල් තියෙද්දී මොන බලු විවාහ ද යන්න තැන තැන කසු කුසු නැගුනා. බොහෝ දෙනකුට හැඟුණේ මේ මංගල්‍ය සඳහා විශාල මුදලක්‌ ද වැය වන්නට ඇති බවයි. එහෙත් එසේ නොවූ බවට මෙම මංගල්‍ය මෙහෙය වූ පොලිස්‌ නිල සුනඛ අංශය ප්‍රකාශ කර තිබුනා.

බැලූ බැල්මට මෙය විහිළුවකි. හරසුන් ක්‍රියාවකි. එහෙත් මෙය ශ්‍රී ලංකාවේ මුදල් විශාල ප්‍රමාණයක්‌ රටේම ඉතිරි කර දෙන දැවැන්ත වැඩපිළිවෙළක මූලාරම්භයකි. ශ්‍රී ලංකා පොලිස්‌ නිල සුනඛ අංශය ආරම්භ වූයේ 1948 දීය. මේ සඳහා සුනඛයින් ගෙන් වූයේ විදේශ රටවලිනි.

ඔවුන් ද එසේ මෙසේ බල්ලන් නොවේ. සුපිරි රටවල, සැපට වැඩෙන, වංශක්‌කාර බල්ලන්ගේ නාඹර පැටවුන් ය. මේ මහා ලොකු බල්ලන්ව පොලිස්‌ නිල සුනඛ අංශයට ගෙන්වීම සඳහා වසරකට රුපියල් ලක්‍ෂ 200 කට වැඩි මුදලක්‌ වැය වේ. 


එපමණක්‌ නොව එම නිල සුනඛයින් මෙරටට ගෙන්වා ගැනීමේ දී ඔවුන් ව උපතේ පටන් හැසිරවූත්, කුඩා කළ පටන් ඔවුන් සමඟ සිටි භාර කරුවන් ද ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුය. එම සුනඛයින් පොලිස්‌ නිල සුනඛ අංශයේ නිලධාරීන්ට කුළුපඟ වනතුරු භාරකරුවන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදුවේ. 

ඒ අයගේ කෑම් බීම් ඉඳුම් හිටුම් ඇතුළු සියලු පහසුකම් සඳහා ද රජය විශාල පිරිවැයක්‌ දැරිය යුතුය. විදේශ රටවල දේශගුණික තත්ත්වයන් යටතේ ඉපදී හැදී වැඩුණු සුනඛයන්ව ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන ආකාරයට රඳවා ගැනීම සඳහා ද විශාල පරිශ්‍රමයක්‌ දැරීමට සිදුවේ. 

ආහාරවල වෙනස්‌කම්, බෙහෙත්වල වෙනස්‌කම්, කාලගුණික වෙනස්‌වීම් හේතුවෙන් මෙම සුනඛයින් ශ්‍රී ලංකාවේ දී නිරතුරුව ලෙඩ රෝගවලට ගොදුරු වන අතර එයින් එම සතුන්ගේ දක්‍ෂතා අඩුවීමත් ඇතැම් විට මරණයත් සිදුවිය හැකිය. බෙහෙත්, ආහාර ආදිය සඳහා ද රටේ මුදලින් විශාල කොටසක්‌ වෙන් කෙරේ.

මෙවැනි හේතු සලකා බලමින් විදේශීය සුනඛ ජෝඩු යොදා ගනිමින් උන්ගේ පැටවුන් ශ්‍රී ලංකාවේ දී බිහි කිරීමේ ව්‍යාපෘතිය පොලිස්‌ නිල සුනඛ කොට්‌ඨාසය මගින් පසුගිය දා පවත්වනු ලැබූ බලු මංගල්‍යයත් සමඟ ආරම්භ කෙරිණි. 


පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් ගේ පූර්ණ අනුමැතිය ඇතිව, මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල ගේ අදහසකට අනුව, අංශ ප්‍රධානි පොලිස්‌ අධිකාරී සිසිර විඡේකෝන් ප්‍රමුඛ නිල සුනඛ අංශයේ සියලු දෙනාගේ සහයෝගයෙන් ඇරඹි මෙම කටයුත්තට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ උපරිම සහයෝගය ලැබිණි.

මෙම සුනඛයන් සම්බන්ධයෙන් පේරා දෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ කාර්ය භාරය ද සුළු පටු නොවේ. පොලිස්‌ නිල සුනඛ අංශයට විදේශ රටවලින් මෙම සුපිරි බල්ලන් ගෙන්වන තැන පටන් එම සතුන්ගේ මරණය සිදුවන මොහොත දක්‌වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ කථිකාචාර්යවරුන්ට කිසිදු නිවනක්‌ නැත. 


දවසේ පැය විසිහතර පුරා තඹ සතයක අයකිරීමක්‌වත් නොකර ඔවුන් සිදු කරන මෙහෙවර අති විශේෂය. මිනිසුන්ටත් නැති මේ සැලකිලි බල්ලන්ට ලැබීම වාසනාවකි. 

මෙම බල්ලන් ද එසේ මෙසේ බල්ලන් නොවෙන්නේ මේ රටේ සිදු වූ අපරාධ ගණනාවකට සම්බන්ධ වූ සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා උන් ඉටුකරන මෙහෙවර කිසිදු මනුෂ්‍යයකුට ඉටුකළ නොහැකි බැවිනි. ඒ අතින් බලන කළ බල්ලා රැක ගැනීම අගනේය. 

වෛද්‍ය විද්‍යාත්මක පසුබිමකට අනුව නිසි අධීක්‍ෂණයක්‌ යටතේ වැඩෙන මෙම සතුන් පිළිබඳ මෙතෙක්‌ නොතිබුණු භාරදූර වගකීමක්‌ මේ වනවිට පශු වෛද්‍ය අංශයට පැවරී තිබේ. ඒ මේ රටට ගැලපෙන පරිදි නිරෝගී රට බල්ලන් බෝ කරවීමය. 

මෙම කාර්යයේ ප්‍රධානතම වගකීම දරනුයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අශෝක දංගොල්ල ය. එම අංශයේ මහාචාර්ය වින්ද්‍යා ද සිල්වා ප්‍රමුඛ සියලු දෙනා සිය උපරිම දායකත්වය මේ සඳහා ලබා දෙනු ඇත.

මෙම නිල බලු මංගල්‍යයේ දී පොලිස්‌ නිල සුනඛ අංශයේ නිල සුනඛයන් 20 දෙනකු විවාහ කෙරිණි. ලැබ්‍රඩෝ වර්ගයට අයත් බ්‍රවුන්සර් සමඟ බිලී පළමුව සිය විවාහ දිවියට ඇතුළත් විය. 


පසුව ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛ ජෝඩුවක්‌ වන කොන්සෝ හා ජීනා ද, රොට්‌ වයලර් වර්ගයේ ඇනොස්‌ හා ෂයිරා යුවළ ද විවාහ කෙරිණි. ඔවුන්ව මඟුල් පෝරුවක්‌ වැනි විශේෂ පීඨිකාවකට නංවා ජය මගුල් ගී ගායනා කෙරිණි. 

පාරම්පරිකව පැවතගෙන හෙළ සිරිත් විරිත් මංගල සිලෝ ගී බල්ලාට ගියේ ඒ අවස්‌ථාවේදී ය. සංස්‌කෘතික අමාත්‍යාංශය ඊට විරෝධය පෑම පිළිබඳ ව හෙළ කුල සිරිත් අගයන බොහෝ දෙනකුගේ ප්‍රශංසාවට හේතු විය. 

බලු ජෝඩුවලට මධුසමය ගත කිරීමට ද විශේෂිත ස්‌ථාන සකස්‌ කර තිබිණි. රියදුරෙකු විසින් මෙම බලු මගුල් ජෝඩු එම නිල රථයක නංවාගෙන මධු සමය ගත කිරීම සඳහා වෙන්කර තිබූ ස්‌ථානය වෙත රැගෙන යනු ලැබීය. 

බලු රැළකට මැදිව, බලු ගෙරවිලි බිරුම් හඬකින් හා පොරකෑම්වලින් තොර වූ නිහඬ නිස්‌කලංක හුදෙකලා ස්‌ථානයක දී අලුත විවාපත් මෙම බලු ජෝඩු කෙසේ නම් තම මධුසමය උජාරුවෙන් සමරන්න ද? 

වේවැළකට, දම්වැලකට අවනත ව ගෙවන මුළු ජීවිත කාලයේ දී ගත කරන්නට තිබූ උතුම් ම සැපත ද තමන්ට ඕනෑ විදිහට අත්විඳීමට වරම් නොලද මේ ආනයනික බලු ජෝඩු මොනතරම් අවාසනාවන්ත ද.... 

මොනවා උනත් මේ බලු ජෝඩුවලට නිවනක්‌ ලැබෙන්නේ නැත. මේ මධුසමය ගතකර යළිත් ඔවුන් පැමිණෙන්නේ අපරාධකරුවන් සොයා යන්නටය. මොවුන්ට නිවනක්‌, නිස්‌කාසුවක්‌ ලැබෙන දවසක්‌ තිබේ. ඒ මේ රටේ අපරාධකරුවන් නැතිවන දවසටය.

බලු විවාහය කෙරුනේ මෙහෙමයි

විවාහ මංගල්‍යයකට ආරාධනා ලැබීම යනු සාමාන්‍ය දෙයකි. එහෙත් කාන්තාවක හා පිරිමියෙකු අතර සිදුවන විවාහයකට එහා ගිය අපූරු විවාහ මංගල්‍යයකට සහභාගි වන ලෙස මාධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතාගෙන් ඔහුගේ හිතවත් මාධ්‍ය වේදීන්ට ආරාධනාවක් ලැබුණි. ඉන් කියවුනේ අගෝස්තු මස 26 වැනි දින පෙරවරු 9 වන විට මහනුවර පොලිස් ක‍්‍රීඩාපිටියට පැමිණෙන ලෙසත්ය.  
මින් පෙර කිසි දිනක සහභාගි වී නොමැති වර්ගයේ එම විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් විවිධ විහිලූ තහලූ කරමින් කැමරා ආම්පන්න ද සමගින් පොලිස් ක‍්‍ර‍්‍රීඩා පිටිය අසලට යන විටත්  එහි උත්සවශ්‍රීයක් ගෙන තිබිණි.

ක‍්‍රීඩා පිටියට ඇතුලූ වන ස්ථානයේ පිහිටි ගේට්ටුව ඉහළින් ආරුක්කුවක් වැනි තොරණක් විය.

වෛවර්ණ බැලූන් හා කේ‍්‍රප් පටිවලින් එම ස්ථානය සරසා තිබුණි. තවත් කාන්තාවෝ පිරිසක් කිසිවෙකු හෝ පිළිගැනීම සඳහා සැදී පැහැදී සිටින බවක් පෙනුනි. මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ඊට පහළ නිලධාරින්ද ඊට මදක් දුරින් රැඳී සිටින අයුරු දකින්නට ලැබුණි.

උත්සව සභාවේ සංවිධායකයන් බලාපොරොත්තුවෙන් සිටි විශේෂ අමුත්තා පොලිස් ජීප් රියකින් පැමිණෙනවාත් සමඟම ඔහු පිළිගෙන ආචාර කොට ගරුබුහුමන් දැක්වීය.

ඔහු පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අශෝක දංගොල්ල මහතායි. ඒ මහතාගේ පැමිණීමෙන් විනාඩි කිහිපයකට පසු තවත් සුවිශේෂී පුද්ගලයකු පැමිණියේ කළු පැහැති නවීන රථයකිනි.

ඔහුගේ නිලරිය පැමිණීමත් සමඟ එම ස්ථානයට වහාම ගිය මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ජී.බී. පෙරමුණේ මහතා හා මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී ඇල්ලේපොල යන මහත්වරුන් වහාම රථයේ දොරවල් ඇර ඔහු පිළිගෙන උත්සව සභාව වෙත රැගෙන ගියේය.

ඔහු මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතායි.

දැන් විවාහ මංගල උත්සවය ආරම්භ කිරීමට සියල්ල සූදානම්ය. ක‍්‍රීඩා පිටියේ විශේෂයෙන් තැන්වල අලංකාර කූඩාරම් හතරක් විය. එකක් පොලිස් තූර්යවාදක කණ්ඩායමටය. 


තවෙකක් මහනුවර කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ටය. අනෙක මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අධිකාරි ලත් අනෙකුත් පොලිස් නිලධාරින්ටය. හතරවැන්න මාධ්‍යවේදීන් සඳහායි.

එම අලංකාර කූඩාරම් ඉදිරිපිට ආරුක්කු සහිතව අලංකාර ලෙස සරසා තිබූ පිවිසුමක් සමඟ රතු පලස් සහිත පීඨිකා දහයක් පමණ විය. එහි එක් කොනක කුඩා පෝරුවකි. පෝරුව ඉදිරිපිට ගොක්කොළ, පොල් මල් සහිතව පුන්කලස් දෙකක්ද විය. පොරුවට පිටු පසින් තවත් සැරසිල්ලකි.

පෙරවරු 9.40 පමණ වනවිට උත්සව සභාව ආරම්භ විය. පොලිස් තූර්ය වාදක කණ්ඩායම ලබාදුන් සංගීතයට අනුව පොලිස් අශ්වාරෝහක අංශය ප‍්‍රදේශයේ සිට පොලිස් නිල සුනඛ ජෝඩු විස්සක් පමණ ඔවුන් රැකබලා ගන්නා පොලිස් නිලධාරින් සමඟ ක‍්‍රීඩා පිටියට ඇතුළු වූයේ පැමිණ සිටි කොයි කවුරුත් විශ්මයට පත් කරවමිනි.

එම නිල සුනඛයන්ට අන්දවා තිබුණේ සාමාන්‍ය නිල සුනඛ උත්සවයකදී සාම්ප‍්‍රදායිකව අන්දවනු ලබන පොලිස් වර්ණ සහිත නිල්, සුදු වර්ණවලට එහා ගිය වෛවර්ණ ඇඳුමකි. 


සුනඛයන්ගේ ඇස් දෙකට ඉහළින් අව්කණ්ණාඩි දෙකක් පළඳවා තිබූ අතර ඔලූවට කුඩා තොප්පියක්ද පළඳවා තිබුණි. නිල සුනඛයන් පිටියට ගෙන ඒමෙන් පසු සුනඛ ජෝඩු විශේෂ පීඨිකාවක හිඳවීය.

දැන් විවාහ මංගල උත්සවයේ වැදගත්ම අවස්ථාවට එළැඹ තිබේ. එනම් විවාහය ලියාපදිංචි කරවීමයි. ඒ සඳහා විශේෂ මේසයක් සකස් කර තිබූ අතර එක් කොනක මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාය. 


තවත් පසෙක පේරාදෙණිය විශ්වවිද්‍යාල පශූ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියකි. අනෙක් කොනේ අස්ගිරිය නිල සුනඛ කොට්ඨාස භාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර වීරකෝන් මහතාය.

පළමු විවාහ මංගල්‍යය ලියාපදිංචිය සඳහා ගෙන එනු ලැබුයේ ලැබ්බ‍්‍රඩෝ වර්ගයේ මංගල ජෝඩුවක් වන බ‍්‍රවුන් හා බිලිය.

ඔවුන්ගේ විවාහය ලියාපදිංචියෙන් පසු එම දෙදෙනාගේ භාරකරුවන් සපත කර සිටියේ ඔවුන් දෙදෙනා බලා ගන්නා නිල සුනඛයන් දෙදෙනා ගෙන් ශ්‍රී ලංකා පොලිස් සේවයට ඉහළම ගනයේ පැටවෙකු ලබා දීමට ඇප කැප වෙන බවයි.

ඉන් අනතුරුව විවාහක ජෝඩුව පෝරුමස්ථකාරූඪ කරවීමේ අවස්ථාව උදාවිය. එහි ඡුායාරූප ගැනීමෙන් අනතුරුව දෙදෙනා පෝරුවෙන් බැස්සවීය.

මංගල්‍යයේ කාල සටහනට අනුව ඊළඟට යෙදී තිබුණේ නව මංගල ජෝඩුව මධුසමය ගත කිරීම සඳහා නුවරඑළිය ප‍්‍රදේශයට පිටත්කර හැරීමයි. මේ ආකාරයෙන් ජෝඩු අටක් විවාහ කර දී මධුසමයට පිටත්ව යාම සඳහා ඉතා අලංකාර ලෙස සරසන ලද පොලිස් ජීප් රියක් සූදානම් කර තිබුණි. 


මංගල යුවළගේ ගාත්ද එසවී රැස්ව සිටි අයට ආචාර කරමින් එම ජීප් රිය පදවන ලද්දේ ද පොලිස් නිල සුනඛයකුම විසිනි. පොලිස් සංදර්ශනවලදී ද රථවාහන පදවා පුරුදු එම සුනඛයා පණගන්වා දුන් රථය පිටිය කෙළවරටම පදවාගෙන යන අයුරු දක්නට ලැබුණි.

මංගල ජෝඩු අටක් ලියාපදිංචි කරවීමෙන් අනතුරුව මංගල උත්සව සභාව අවසන් වූ අතර ඉන් මංගල ජෝඩු තුනක් මධුසමය ගත කිරීම සඳහා නුවර එළියට පිටත්කර හැරුණු අතර අනෙක් අය රාජකාරි අවශ්‍යතා මත රඳවා ගැනුණි.

ඉන් අනතුරුව පැවති උත්සව සභාවේදී මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී. අඹන්වල මහතා පැවසුවේ පොලිස් නිල සුනඛ මූලස්ථානය සඳහා පිටරටවලින් සුනඛයන් ආනයනය කිරීමේදී ඉතා විශාල මුදලක් වැයවන බවත් ඔවුන් ලංකාවේ දේශගුණයට හුරුකර ගැනීම සඳහා ඊටත් වැඩි පරිශ‍්‍රමයක් දැරිය යුතු බවත්ය.

ඉතා විශාල මුදලක් වැය කොට ආනයනය කොට ඇති මෙම සුනඛයන් ගෙන්ම පැටවුන් අභිජනනය කරගත හැකි වුවහොත් පිටරටට ඇදී යන විශාල මුදල් ප‍්‍රමාණයක් ඉතිරිකර ගත හැකි වන බවත් ලංකාවේ දේශගුණයට හුරු පැටවකු බිහිකර ගැනීමට හැකි වුවහොත් පැටවුන් නිල සුනඛ සේවය සඳහා ඉතා පහසුවෙන් පුරුදු පුහුණු කරවීමේ හැකියාවද ඇති බවයි.

උත්සව සභාවේ පැවති කතා කිහිපයකින් පසු මංගල උත්සවය නිල වශයෙන් අවසන්වූ අතර ඉන් අනතුරුව පැමිණ සිටි පිරිසට කිරිබත්, කට්ට සම්බල්, කෙසෙල් ගෙඩි, සැන්විච් සහ බීම වලින් සංග‍්‍රහ කෙරුණි.

ඉන් අනතුරුව මංගල සභාව නිල වශයෙන් අවසන් වූ අතර පොලිස් තූර්යවාදක කණ්ඩායම විසින් ලබා දෙන ලද සංගීතයට අනුව මනාල ජෝඩු මංගල ශාලාවෙන් පිටව යන අයුරු දක්නට ලැබුණි.

නුවරඑළිය මධුසමය ගතකිරීම සඳහා පිටත් කර හරිනු ලැබුවේ ජනාධිපති ආරක්‍ෂක අංශයට අනුයුක්තව සේවය කරන ලැබ්බ‍්‍රඩෝ වර්ගයට අයත් බ‍්‍රවුන් හා ඔහුගේ මනාලි බිලිද, ලොව දරුණු ගනයේ ප‍්‍රහාරාත්මක සුනඛ විශේෂයක් වශයෙන් සැලකෙන රොට්වයලර් වර්ගයේ ඇසෝල්ට් හා ෆයිරා සමඟින් ජර්මන් ෂෙෆර්ඞ් වර්ගයේ කැන්ටෝ හා ගීනා යන නිල සුනඛ ජෝඩුන්ය.

ශ්‍රීමත් රිචඞ් අලූවිහාරේ මහතා ශ්‍රී ලංකාවේ පොලිස්පති ධුරයේ වැඩකටයුතු කරන අවධියේ 1948 දෙසැම්බර් මස 01 වැනි දින සීනා සහ රෙක්ස් යන පොලිස් නිල සුනඛයන් දෙදෙනාගෙන් කොළඹ ඇචිලන් චතුරශ‍්‍රයේදී පොලිස් නිල සුනඛ අංශය ආරම්භ වීමෙන් පසු එදා මෙදා තුර සිදුනොවූ මෙම විවාහ මංගල උත්සවය පිළිබඳව විවිධ මතිමතාන්තර පැතිර යන්නට ගත්තේ ජන මාධ්‍යයේ එහි ඡුායා රූප හා දර්ශන ප‍්‍රදර්ශනය වීමට පටන් ගැනීමත් සමඟය.


විවිධ සංවිධාන ඊට විරෝධය දක්වමින් මත ප‍්‍රකාශ කරන්නට වූ අතර සවස් කාලය වන විට සංස්කෘතික අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාද ඊට විරෝධය දක්වමින් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීය.

කෙසේ නමුත් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සද්භාවයෙන් යුතුව ආරම්භ කළ එම නිල සුනඛ අභිජනන ව්‍යාපෘතිය නොපිටට පෙරලූනේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අන්දුන් කුන්දුන් කරවමිනි. ඔහු පැවසුවේ එම උත්සවය සඳහා පූර්ණ අනුමැතිය පොලිස්පති එන්.කේ. ඉලංකෝන් මහතාගෙන් ලැබුණු බවයි. 



කෙසේ නමුත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඊට පසු දිනයේ සඳහන් කර සිටියේ මෙම මංගල උත්සවයේදී මංගල පෝරුවට අවමන් කිරීමේ කිසිදු අදහසක් නොතිබූ බවත් ඉන් මංගල පෝරුවට අවමානයක් සිදු වූයේ නම් සමාව අයැද සිටින බවත්ය. 

අපේ සිංහල විවාහ චාරිත‍්‍ර වාරිත‍්‍ර ‘බලූ විවාහයෙන්’ අමු අමුවේම විනාශ කර දමලා...

මෙය දැඩිව හෙළා දකිනවා.

 විවාහයක් කරද්දී නැකැත් හා පෝරුවේ චාරිත‍්‍ර කරන ලෝකයේ තියෙන එකම රට මෙයයි. වසර දහස් ගණනක් තිස්සේ පැවැති මේ චාරිත‍්‍ර වාරිත‍්‍ර හෑල්ලූවට ලක්කිරීම සම්බන්ධව අප හෙළා දකිනවා. 

මේ සුනඛ විවාහයේදී අපේ සිංහල චාරිත‍්‍ර වාරිත‍්‍ර කරන බලූ විවාහ ලියාපදිංචියත් කරලා තියෙනවා. මේක හිතාමතා සංස්කෘතික වත් පිළිවෙත් උල්ලංඝණය කිරීමක් ලෙස අප දකිනවා.

මෙතනදී විශේෂයෙන්ම අප දකින්නේ මේ සිද්ධිය රජයට සම්බන්ධ ආයතනයක් මඟින්ම කළ ක‍්‍රියාවක් වීමයි. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය අංශය කනගාටුව ප‍්‍රකාශ කරල තියෙනවා. 


අපි මේ සම්බන්ධව පරීක්‍ෂණයක් කරන්න කියා පොලිස්පතිතුමාට ලිඛිතව අද දන්වා සිටියා. මේ සම්බන්ධව පරීක්‍ෂණයක් පවත්වල එහි තීන්දුව ලබා දුන්නාම අපි මාධ්‍යයට එය නිකුත් කරනවා.

ඇත්තටම ඊයේ මේක පොලිසිය කළාම හෙට තවත් අය කරන්න උත්සාහ කරාවි. ලෝකයේ බොහෝ රටවල ප‍්‍රසාදයට, ගෞරවයට ලක් වෙච්චි අපේ සිංහල විවාහ චාරිත‍්‍ර වාරිත‍්‍ර ‘බලූ විවාහයෙන්’ අමු අමුවේම විනාශ කර දමලා. 


සත්තුන්ට මිනිසුන්ගේ විවාහ චාරිත‍්‍ර කළාම මිනිසුන්ගේ තැන මොකක්ද කියා සිතන්න වෙනවා. මේක අපේ සංස්කෘතියට මරු පහරක්. සිංහලකමට සිංහල චාරිත‍්‍රවාරිත‍්‍ර මේ විදියට විනාශ කර දාන්න කාටවත් ඉඩ දෙන්න බැහැ. සංස්කෘතික ඇමතිවරයා හැටියට මෙය දැඩිව හෙළා දකිනවා.
 
Related Posts with Thumbnails