Ads 468x60px

.

එක්‌කෝටි අනූදහසක දඩ කා සංගා කඳුරට තෝරා ගත් හැටි මෙන්න...

කුලී වැඩක්‌ කරමින් එදා දවස ගැට ගසා ගන්නා කුලීකරුවකු සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රිකට්‌ ක්‍රීඩකයකු අතර ඇති වෙනස කුමක්‌ද? 

එහි අහසට පොළොව මෙන් වෙනසක්‌ ඇති බවට යමෙකුට තර්ක කළ හැකිය. ඒ ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයා ලොවක්‌ අවධානයට ලක්‌වූ ජාතික සම්පතක්‌ සහ කෝටි ගණනින් මුදල් උපයන ධනවතෙක්‌ නිසාය. කම්කරුවා යනු එදා වේල ගැට ගසා ගැනීමට කාගේ හෝ කුලී වැඩක්‌ කරමින් ජීවිත කාලයම අනුන්ට සේවය කරන තැනැත්තෙකි.

දැන් මෙරට කුලී කරුවෝ සොයා ගැනීම වෙනදාට වඩා අපහසුය. ඒ කුලී කරුවෝද දැන් 'මොඩ්' වී ඇති බැවිනි. එබැවින් කුලී කරුවාටද දැන් ඉල්ලුම වැඩි වී තිබේ. එහෙත් ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ නම් මෙරට බුරුතු පිටින් සිටිති. 


ඒ අතර ජාත්‍යන්තරයේ නමක්‌ දිනා ගත් ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ සිටින්නේ සීමිත ප්‍රමාණයකි. එබැවින් 'මොඩ්' වී ඇති කුලී කරුවාට මෙන්ම ජාත්‍යන්තරයේ නමක්‌ දිනා ගත් මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ටද ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමක්‌ පවතී.

මෙම ඉල්ලුම හේතුවෙන් විටෙක ක්‍රීඩකයෝ නන්නත්තාර වෙති. තවත් විටෙක ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය නන්නත්තාර වෙති. ඒ දෙස බලා සිටින ප්‍රේක්‍ෂකයෝ හුලං බොති. අවසානයේ ක්‍රිකට්‌ ක්‍රීඩකයෝද කුලීකරුවන් මෙනි.


ක්‍රිකට්‌ යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවකි. ලෝකය දිනෙන් දින දියුණු වත්ම ක්‍රිකට්‌ නීති රීති පමණක්‌ නොව ක්‍රිකට්‌ තරග රටාවද නවීකරණය විය. එම නවීකරණය ඔස්‌සේ ජාත්‍යන්තරයට පැමිණි 20-20 ක්‍රිකට්‌ තරග රටාව කෙරෙහි බහුල ප්‍රේක්‍ෂක ආකර්ශණයක්‌ ඇති විය. එබැවින් ක්‍රිකට්‌ද කුලියට විකිණෙන්නට පටන් ගැනිණි. එබැවින් ක්‍රිකට්‌ ක්‍රීඩකයෝද දැන් කුලියට ක්‍රිකට්‌ ගසයි.

ලිපිය ආරම්භයේ සඳහන් කළ කුලී කරුවාට ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්. නැත. පැන්ෂන්ද නැත. මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩකයාටද එය පොදුය. එබැවින් මෙම ලිපියේ කතානායකයා සහ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරුවකු වන කුමාර් සංගක්‌කාර මෙසේ පවසයි,

'අපිට ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. හෝ පැන්ෂන් එක නැහැ. හෙට කකුලක්‌ කැඩුනොත් මොනව වෙයිද? එහෙම වුණාය කියල මම හෝ මගේ පවුලෙ කට්‌ටිය හෙට බඩ ගින්නෙ ඉන්නෙ නැහැ. මොකද මම අවුරුදු 13 ක්‌ මගේ දහඩිය මහන්සියෙන් සහ මගේ දක්‍ෂතාවයෙන් ක්‍රිකට්‌ ගහල තියෙන හින්ද.'

සංගක්‌කාර මෙසේ පැවසීමට ප්‍රධාන හේතුව වූයේ එළැඹෙන චැම්පියන්ස්‌ ලීග් ක්‍රිකට්‌ තරගාවලියේදී ඔහු නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකාවේ කඳුරට කණ්‌ඩායම සහ අයි.පී.එල්. තරගාවලියේ හයිද්‍රාබාද් සන්රයිසස්‌ කණ්‌ඩායම් දෙකම සුදුසුකම් ලැබූ හෙයිනි. මෙම හේතුවෙන් සංගක්‌කාර දෙතැනක තනිවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පවසන පරිදි සංගක්‌කාර කඳුරට කණ්‌ඩායම නියෝජනය කළ යුතු වේ. අයි.පී.එල්. තරගාවලියේ නීති රීති අනුව සංගක්‌කාර හයිද්‍රාබාද් සන්රයිසස්‌ කණ්‌ඩායම නියෝජනය කළ යුතුවේ.


චැම්පියන්ස්‌ ලීග් නීතිය අනුව කුමන කණ්‌ඩායම නියෝජනය කරනවාද යන්න තීරණය ගැනීම සංගක්‌කාර සතුය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ එක්‌ නීතියක්‌ය. අයි.පී.එල්. තවත් නීතියක්‌ය. චැම්පියන්ස්‌ ලීග් සංවිධායකයන්ගේ තවත් නීතියක්‌ය.

නීති කෙසේ වෙතත් සංගක්‌කාර දැන් කඳුරට කණ්‌ඩායම තෝරා ගෙන තිබේ. එහිදී සංගක්‌කාර රුපියල් එක්‌කෝටි අනූදහසකට ආසන්න මුදලක්‌ සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට රුපියල් එක්‌ කෝටි පනස්‌ දහසක පමණ මුදලක්‌ අහිමි වනු ඇත. 


මෙය විදේශ විනිමය ලෙසද හැදින්විය හැකිය. ඒ අනුව මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවට වගකිව යුතු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය අගක්‌ මුලක්‌ නොදැන අත්සන් කළ ගිවිසුම නිසා රුපියල් තුන්කෝටි පනස්‌ දහසක්‌ පමණ ශ්‍රී ලංකාවට අහිමි විය.

අදාළ නීති රීති සම්බන්ධව සංගක්‌කාර මෙසේ පවසයි.

"අයි.පී.එල්. නීති රීති අනුව මම අනිවාර්යෙන්ම හයිද්‍රාබාද් කණ්‌ඩායම නියෝජනය කළ යුතුයි. නැතිනම් මට මූල්‍යමය දඩයකට යටත් වෙන්න සිදුවෙනවා. හැබැයි මම හිතන්නෙ ශ්‍රී ලංකාවේ පවත්වපු එස්‌.එල්.පී.එල්. තරගාවලිය තිබිල මෙහෙම වාතාවරණයක්‌ ආවනම් ප්‍රශ්නයක්‌ ඇති වෙන්නෙ නැහැ. 


මොකද ඒ කණ්‌ඩායම් අයිති විදේශිකයන්ට. අවාසනාවකට එස්‌.එල්.පී.එල්. තරගාවලිය කඩා වැටිල ඒ වෙනුවට තිබුණු ආදේශක තරගාවලියකදී මට මෙහෙම සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුණා."

දේශීය කණ්‌ඩායමක්‌ වන කඳුරට කණ්‌ඩායම නියෝජනය කරන්නේ නම් සංගක්‌කාරට මෙරටින් ගැටලුවක්‌ නැත. එහෙත් හයිද්‍රාබාද් සන්රයිසස්‌ කණ්‌ඩායම නියෝජනය නොකළහොත් සංගක්‌කාරට හිමිවන කොන්ත්‍රාත් මුදලින් 20% ක්‌ දඩ ගෙවීමට සිදුවනු ඇත. 


එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්‌කෝටි අනූදහසකට ආසන්න මුදලක්‌ (වත්මන් ඩොලරයේ වටිනාකම අනුව අඩු වැඩි විය හැක) වේ. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනටද රුපියල් එක්‌කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ පමණ අහිමි වනු ඇත.

කුමාර් සංගක්‌කාරගේ අදාළ ප්‍රශ්නයේදී ඔහු තනිව සිටින බව පවසයි. එහෙත් මේ වන විට සංගක්‌කාර සිය තීරණය දැනුම් දී අවසන්ය. "මම හිතන්නෙ හුගක්‌ දෙනෙක්‌ මේක වැරදි විදිහට තේරුම් අරගෙන තියෙන්නෙ. මේක රටක්‌ සහ සල්ලි අතර හෝ රටක්‌ සහ අයි.පී.එල්. අතර තේරීමක්‌ නෙමෙයි. 


චැම්පියන්ස්‌ ලීග් තරගාවලියට රටවල් ක්‍රීඩා කරන්නෙ නැහැ. ඒකට ක්‍රීඩා කරන්නෙ ක්‍රීඩා සමාජ හෝ අයි.පී.එල්. වැනි ‍‍ෆ්රන්චයිසස්‌ කණ්‌ඩායම් පමණයි. මේ ප්‍රශ්නය මට විතරක්‌ නෙමෙයි. ජාත්‍යන්තර ක්‍රීඩකයන් 10 දෙනකුටම බලපාලා තියෙනවා."

"ඉකුත් 21 වැනිදා සවස තමයි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මගෙන් මේ ගැන කතා කළේ. එතනදි මම ඒගොල්ලන්ට කිව්වා මම කඳුරට කණ්‌ඩායමට ක්‍රීඩා කරන්නම් හැබැයි හයිද්‍රාබාද් සන්රයිසස්‌ කණ්‌ඩායමත් එක්‌ක සාකච්ඡා කරල මට දඩයකින් තොරව හෝ දඩය අවම කරල නිදහස්‌ කර දෙන්න කියල. 


එහෙම නොකර මටම තීරණයක්‌ කරන්න කියන එක අසාධාරණයි. මොකද ක්‍රීඩකයන් සහ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය මීට වඩා සමීපව කටයුතු කළ යුතුයි. මේ ප්‍රශ්නය එයි කියල මම හිතුවෙ මීට ගොඩක්‌ ඉස්‌සල්ලා. හැබැයි දැන්වත් ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය හිතන්න ඕන ඉදිරියටත් මෙහෙම ප්‍රශ්න නොවෙන්න වගබලා ගන්න."

මෙවැනි ප්‍රශ්නයක්‌ ඇති වීමට පෙර තමන් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කළ බවත් අවසානයේදී කිසිවකුට ගැටලුවක්‌ නොවන තීරණයක්‌ ගැනීමට සිදුවූ බවත් සංගක්‌කාර පවසයි.

"මට ඉකුත් අගෝස්‌තු 15 වැනිදා හයිද්‍රාබාද් සන්රයිසස්‌ කණ්‌ඩායමෙන් කතා කරල කිව්ව ඔයාව චැම්පියන්ස්‌ ලීග් යන කණ්‌ඩායමේ 15 දෙනාට නම් කරල තියෙනවා කියල. පස්‌සෙ මම අගෝස්‌තු 17 වැනිදා හයිද්‍රාබාද් කණ්‌ඩායමට කතා කරල කිව්ව අපේ කඳුරට කණ්‌ඩායමත් මේ තරගාවලියට සුදුසුකම් ලබල තියෙනවා. 


ඔයගොල්ලන්ට මාව අත්‍යඅවශ්‍යම නැතිනම් මාව ඉවත් කරන්න කියලා. එතකොට ඒ ගොල්ලන් කිව්ව නැහැ ඔයාව හැම තරගයකට 11 දෙනා අතරට ඉන්නව කියල පොරොන්දු වෙන්න බැහැ. හැබැයි අපේ 15 දෙනා අතරට ඔයාව අනිවාර්යෙන්ම ඕන කියල.

"මම කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන අතරතුර චැම්පියන්ස්‌ ලීග් තරගාවලියේ සංවිධායකයෙක්‌ වන ඩීන් කයිනෝ කියන පුද්ගලයත් සමග දුරකථනයෙන් කතා කරල ඇහුවා මොකක්‌ද ඔය ගොල්ලන්ගෙ තීරණය කියලා. 


එතකොට ඔහු කිව්වා අපේ තීරණය අනුව ක්‍රීඩකයාට කැමැති තීරණයක්‌ ගන්න පුලුවන් හැබැයි ඒත් ඔයාට ප්‍රශ්නයක්‌ ඇති වෙනවා අයි.පී.එල්. ගිවිසුම නිසා කියලා."

අදාළ අයි.පී.එල්. ගිවිසුම පිළිබඳව අදහස්‌ දැක්‌වූ සංගක්‌කාර,

"අයි.පී.එල්. තරගාවලියේ ගිවිසුම් තුනක්‌ තියෙනවා. එකක්‌ ක්‍රීඩකයන් විදිහට අපි අත්සන් කරන එක. අනිත් එක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය අත්සන් කරන එක. අනිත් එක අයි.පී.එල්. සංවිධායකන් සමග අත්සන් කරන එක. 


මේ ගිවිසුම දැනට වසර ගාණකට ඉස්‌සර ඉදන් අත්සන් කරල තමයි අපි සෙල්ලම් කරන්නෙ. කොහොමත් අපි අයි.පී.එල්. ක්‍රීඩා කරන එකෙන් සෑම ක්‍රීඩයකුටම ලැබෙන මුදලින් 10% ක මුදලක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ලැබෙනවා. චැම්පියන්ස්‌ ලීග් සහභාගි වෙනවට ඩොලර් ලක්‍ෂ 5ක මුදලක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනට ලැබෙනවා."

"මම ලංකාවට ගැහුවත්, කොහොට ගැහුවත් මම සෙල්ලම් කරන්නෙ මගේ දහඩිය මහන්සියෙන් සහ හැකියාවෙන් උපරිම දස්‌කම් දක්‌වල. මේ හැම දෙයක්‌ම සල්ලි මත්තෙම නෙමෙයි කියල කියන්න ඕන. මම පළමු වරට ජාතික කණ්‌ඩායමට ආවෙ 2003 වසරේදි. 


එදා සිට මම සෙල්ලම් කරන ක්‍රීඩා සමාජ තරගාවලියකදී හෝ පළාත් තරගාවලියකදී කිසිම මුදලක්‌ ලබා ගෙන නැහැ. එන්.සී.සී. එකට ගහන වෙලාවෙදි මට ලැබෙන මුදල මම ඒකෙ සෙවකයන්ට බෙදල දෙනවා. 

පළාත් තරගාවලියකදී නම් මගේ මුදලත් අනිත් ක්‍රීඩකයන්ට බෙදල දෙනවා. මම කියන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මෙවැනි ප්‍රශ්න වලදී ක්‍රීඩකයන් සමග සමීපව කටයුතු කළ යුතුයි. නැතිනම් ඉදිරියේදී මීට වඩා ප්‍රශ්නය ඇතිවිය හැකියි."

සංගා මූල්‍ය හා දූෂණ වංචා නිසා හංවඩු ගැසූ ආයතනයකට මුදල් දිනාදීමට සැරසෙන්නේ ඇයි.?
 
Related Posts with Thumbnails