Ads 468x60px

.

කුඩු නැති රටක අපි කවදා හිනැහෙමුද?

මේ රට කුඩුකාරයන්ගේ නොහොත් "කුඩ්ඩන්ගේ" පාරාදීසයක්‌ වී තිබේදැයි කිසිවෙක්‌ කල්පනා කරත් නම් එහි කිසිදු දොසක්‌ අපට නම් නොපෙනේ. ඒ තරමටම ඇසෙන්නේ කුඩු ජාවාරමුන් හා සම්බන්ධ පුවත්ය. 

මුද්‍රිත මාධ්‍යවල මෙන්ම විද්යුත් මාධ්‍යවලද ප්‍රධාන සිරස්‌තලය වී තිබෙන්නේ කුඩු පිළිබඳ පුවත්ය. බොහෝ විට රටේ වැඩි දෙනකුගේ මාතෘකාව ද කුඩුමය.

පසුගිය වසර අවසානයේ මේ රටේ පාර්ලිමේන්තුවේ ද කුඩු නිසා කිසියම් උණුසුම් කතාබහක්‌ ඇතිවිය. විපක්‍ෂය පමණක්‌ නොව ආණ්‌ඩුවේම එක්‌ පාර්ශවකරුවෙක්‌ වන හෙළ උරුමය ගෙඩිපිටින්ම ආණ්‌ඩුවට කුඩු

ජාවාරම් පිළිබඳ චෝදනා නැඟීය. 

කුඩුකාරයන් හා තිබෙන කුමක්‌ හෝ රහස්‌ සබඳතාවක්‌ නිසාදෝ අගමැති කාර්යාලයේ ඇතැම් නිලධාරියෙක්‌ කුඩු කන්ටේනරයක්‌ රේගු ගාස්‌තුවෙන් නිදහස්‌ කර ගැනීමට මැදිහත් වූ බවට බරපතළ චෝදනාවක්‌ ද නැඟුණි. එහි නරක නාමය අපේ අගමැතිතුමාට ද ලැබුණි.

මේ රටේ අගමැතිවරයා එබඳු නිහීන කුඩු ජාවාරමුන් සමඟ ඇයි හොඳයි කියන අයෙකැයි අපිදු නොසිතමු. හේ මේ රටේ සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක්‌ ලෙස මෙන්ම කීර්තිමත් පුද්ගලයෙක්‌ වශයෙන්ද පිළිගැනීමට පාත්‍ර වූවෙකි. එහෙත් එහි සිටි ගොන්තඩියකුගේ ගොන් වැඩක්‌ නිසා සිදු වූ දේ දැන් ප්‍රසිද්ධ රහසකි.

මේ කුඩු ජාවාරමුන් ගැන ජ. වි. පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද විග්‍රහය ඉතා ප්‍රබල හා ආකර්ෂණීය ද විය. ඔහුගේ විග්‍රහය අනුව කුඩු කිලෝ පනහේ ගෝනි පහක්‌ පමණ රේගු අත්අඩංගුවට පත්වී ඇත. මේවාට සිදු වූයේ කුමක්‌ද? එතරම් විශාල කුඩු තොගයක්‌ අල්ලාගත් පළමු අවස්‌ථාව ද එය විය.

මේ කුඩු තොගය මේ රටට ගෙන්වා ඇත්තේ කන්ටේනර්වල සඟවා බව හෙළි වී තිබේ. ඒ කන්ටේනර් ගෙන්වූ සමාගම හොර එකක්‌ බවට ද චෝදනාවක්‌ ඇත. පුදුමයකට මෙන් අගමැති කාර්යාලයේ අසරණ සරණ නිලධාරියා ඒ කිසිදු දෙයක්‌ නොවිමසා එම කන්ටේනරය නිදහස්‌ කර ගැනීමට මැදිහත් වී තිබේ. අනේ හැබෑට. උන්නැහේ කියන්නේ එහි කුඩු තිබෙන බවක්‌ තමන් නොදත් බවය.

අපේ රාජ්‍ය නිලධාරීන්ගේ විලාසයද මේ? "දැක්‌කොත් බුවා නැත්නම් එබුවා" යන න්‍යායට මේ අය ක්‍රියා කරත්ද? කුමක්‌ වුවත් එබඳු නිලධාරීන්ගෙන් ද ආණ්‌ඩුව ප්‍රවේශම් නොවුවහොත් රටම අනතුරකට තල්ලු වී යන බව පමණක්‌ ප්‍රකාශ කරමු.

මේ කුඩු ජාවාරම්වලට දැන් පොලිසිය ද ගෑවී සිටින බවට වාර්තා පළ වී තිබේ. වැල්ලම්පිටියේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයාත් ඔහුගේ බිරිඳත් දැන් කුඩු සිද්ධියකට සැකපිට අත්අඩංගුවට පත්ව සිටිති. බැලූ බැල්මට කුඩු ජාවාරම මැඬලීමට සිටින පොලිසියත්, කුඩුවලට පටලැවී සිටින බව පෙනේ.

මෙයට අමතරව දේශපාලන චරිත කිහිපයක්‌ද මෙම කුඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා නැඟී තිබේ. එය බරපතළම කාරණාවකි. මන්ත්‍රී වරප්‍රසාද යටතේ එබඳු නසරානි වැඩ කරන්නෝ දේශපාලනයෙන් පන්නා දැමිය යුතු වෙති. මේ සමස්‌ත සිද්ධි දාමය විග්‍රහ කර බලන කාහට වුවද කුඩු ජාවාරමුන්ගේ ජාලය අතිශය ප්‍රබල එකක්‌ බව වටහා ගැනීම ද දුෂ්කර නැත.

මත්කුඩු, මත්වතුරට වඩා භයානකය. මත්වතුරට එරෙහිව මතට තිත නම් ව්‍යාපෘතියකි. එය ඉතා අගනා දෙයකි. මෙම මත්වතුර සඳහා නීතිමය ආවරණයක්‌ ද ඇත. එහෙත් හොරට නිපදවන මත්වතුරවල අඩුවක්‌ ද නැත. මත්වතුරට එරෙහි වූ අමද්‍යප ව්‍යාපාර ද ඇත. 


එසේ වුවත් මත්වතුර සිත්සේ ගලා නොයන්නේද? මත්කුඩු අද ඊටත් වඩා විශාල සමාජ පිළිලයක්‌ වී තිබේ. පාසල් දරුවෝ ද මත්කුඩු වලට ලොල්ව සිටිතියි වාර්තා වේ.

මත්පැන්, දුම්වැටි, මාරයාගේ නියෝජිතයන් වන්නා සේම මත්කුඩු මාරයාගේ ප්‍රබලම නියෝජිතයාය. මත්කුඩුවලට ඇබ්බැහි වීම නිසා පවුල නමැති ඒකකය ද ෙ€දවාචකයක්‌ බවට පත්ව තිබේ. 


මේ භයානක විෂ ගල්වා මිනිසුන් මරා ඉන් ලැබෙන මුදල්වලින් මන්දිර ඉදිකරවා සුව පහසු ජීවිත ගෙවන අය මොනතරම් අධමයෝද? නීච පාහරයෝද? කියා ඔබම සිතා බලනු යෙහෙකි.

දැන් මේ මත්කුඩු ජාවාරමුන්ට එරෙහිව මහා මෙහෙයුමක්‌ කිරීම අත්‍යවශ්‍ය දෙයකි. පොලිසියේ ද ඒ සඳහා වෙනම අංශයක්‌ තිබේ. එහෙත් බොහෝ විට පොලිසියට අප ඉහත කී අමන දේශපාලන බලපෑම් එල්ල වුවහොත් නීතියට යන කල අමුතුවෙන් කිවයුතු නැත.

අපට නම් හැඟෙන්නේ මෙම මත්කුඩු ජාවාරමුන්ට එරෙහිව ක්‍ෂණික මෙහෙයුමක්‌ සිදු කළ යුතු බවය. මේ රටේ පාතාලය මැඬලීමට මුල් වූ අයුරින්ම මත්කුඩු මැඬලීමට ද ක්‍රියා කළ යුතුය. කුමන හෝ ආකාරයකින් අත්අඩංගුවට ගනු ලබන මත්කුඩු ඇතැම් විටක වෙන මොනවා හරි බවට පත්වන අවස්‌ථා ද තිබේ. එසේ වන්නේ කාගේ අනුහසකින්ද?

කෙසේ හෝ වේවා මේ රට කුඩු තිප්පොලක්‌ බවට පත්වීමේ අනතුර දැන් හිස මතටම කඩා වැටී තිබේ. එයට සම්බන්ධ දේශපාලන තක්‌කඩියන්ට මෙන්ම උන්ගේ රූකඩ බවට පත්වූ ඇතැම් නිලධාරීන්ට හා පොලිසියේ අමනයන්ට ද දැඩි දඬුවම් ලැබිය යුතුය. කුඩු නොබී රටටම කුඩු පොවන හඩු මහත්වරුන්ගේ සුදු සේල ගලවා දමන තෙක්‌ මේ කුඩු ජාවාරම මැඬිය නොහැකිය.

පෙරදිග මුතු ඇටය පෙර දිග කුඩු කැටය බවට පත්වනු දැකීමට අපි රිසි නොවෙමු. එහිදී අප සමඟ බොහෝ දෙනෙක්‌ එකඟ වෙතියි ද අපි හඟිමු. 2014 වසරේ කුඩුවලට එරෙහිව අලුත් ගමනකට පෙළ ගැසිය යුතු බව අපි අවධාරණයෙන් දක්‌වමු. කුඩු නැති රටක හිනැහෙන්නට අපි අදිටන් කර ගනිමු.
 
Related Posts with Thumbnails