Ads 468x60px

.

නොරොච්චෝල අබල් බබල් වීමේ රජත ජයන්තිය

මේ යන විදිහට වැඩි කාලයක්‌ නොගොස්‌ පරණ යකඩවලට නොවිකුණොත්, නොරොච්චෝලේ විදුලි බලාගාරය තම රජත ජයන්තිය සැමරිය යුත්තේ 2032 වසරේදීය.

එහෙත්, පෙරේදාට පළමුදා හෙවත් පසුගිය 10 දා එය විසිපස්‌ වන වතාවටත් අක්‍රියවීම මඟින් එය අක්‍රීය වීමේ රජත ජයන්තිය සමරා තිබේ.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යනු රටේ ආණ්‌ඩු සමඟ ඕනෑම දෙයකට නොරොක්‌වන විපක්‍ෂයක අදහස මෙන් සුදු අලියෙක්‌ නොවේ. මේ රටට ගල් අඟුරු බලාගාරයක්‌ හැදෙන්නට තිබුණු කාලය රටට අධිවේගී මාර්ග හැදෙන්නට තිබුණු කාලයටත් වඩා පරණ එකකි.

රටේ ජල විදුලිය මහත්ම අර්බුදයකට යවමින් ජලාශ හිඳී යමින් ද, තාප බලාගාර කැඩී යමින් රටේ විදුලි පද්ධතිය බිඳී යමින්ද, ඒ මදිවාට වැඩ

වර්ජන, හර්තාල් ආදියෙන් විදුලිය එකම තෙම්පරාදුවක්‌ බවට පත්වූ 2001 වකවානුව පිළිබඳ මතකයක්‌ ඇති ඕනෑම අයෙකුට නොකඩවා අන්ධ කාරය යනු කෙතරම් බියකරු දෙයක්‌දැයි යන්න අමුතුවෙන් කිවයුතු නැත.

එසේම, ගල් අඟුරු බලාගාර යනු විදුලි අර්බුදයට පමණක්‌ නොව විදුලි අනාගතයට ද අර්ථපූර්ණ විකල්පයකි. දැන් ප්‍රශ්නය විකල්පය පිළිබඳ ආකල්ප වෙනස්‌වීම නොව විකල්පය බකල්වීමය. 


වසර දෙකහමාරක කාලයක්‌ තුළ විසිපස්‌ වරක්‌ කැඩුණු යන්ත්‍රයක්‌ අපට කියා දෙන පාඩම නම් එක්‌කෝ එම යන්ත්‍රය ඉතාම බාල ගණයේ යාන්ත්‍රික කොටස්‌ යොදා තනා ඇති එකක්‌ බවය. නැතහොත් මෙම යන්ත්‍රය එය බලාකියාගන්නා අයවලුන් විසින් විවිධ වධ හිංසනයකට ලක්‌ කෙරෙන බවය.

සාමාන්‍යයෙන් ගල් අඟුරු බලාගාර ඉතින් ඔහොම තමා යනුවෙන් කෙරෙන මෝඩ ප්‍රකාශ නම් සමාන වන්නේ, කබල් කාර් යන්තම් අටවා විකුණන තක්‌කඩි ගරාඡ් කාරයකුගේ ප්‍රකාශයකට පමණය.

මීට අමතරව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මේ තරම් කැඩෙන්නේ මන්ද යන්න අරභයා කියෑවෙන තවත් ප්‍රකාශ ද තිබිය හැකිය. ඒ අතරින් එකක්‌ නම් රටේ ආර්ථිකයට හෙණ ගසනු කැමැති යම් විපක්‍ෂ කණ්‌ඩායමක්‌ විසින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට හූනියම් කිරීමය. 


හූනියම් කැපීම ද දැන් ඉස්‌සර මෙන් තුට්‌ටු දෙකේ වැඩක්‌ නොවේ. කොමිස්‌ මෙන් විශාල මුදලක්‌ සහිත ලාභාංශයකි. එහෙත්, ඒ මොන ඉළව්වකින් හෝ නොරොච්චෝලේ කැඩෙන එක නැවතෙන්නේ නම් මිනිස්‌සු කැමති වෙති. මක්‌නිසාද කා වෙනුවෙන් ඉව්වත් "මේ පරිප්පු" අවසාන වශයෙන් කන්නේ ජනතාව නිසාය.

සාමාන්‍යයෙන් අප රටේ මුළු විදුලි සැපයුමෙන් සියයට හැටපහක්‌ම ලැබෙනුයේ ඩීසල් විදුලි බලාගාරවලිනි. අද ජල විදුලි බලාගාරවල දායකත්වය සියයට තිහටත් අඩුය. කුඩා ජල බලාගාරවලින්, සූර්ය කෝෂවලින්, සුළංවලින් ලැබෙන ප්‍රතිශතය පවතින්නේ සියයට දෙක තුනක මට්‌ටමේය. 


ජාතික විදුලිබල පද්ධතියට සැලකිය යුතු විදුලි ධාරිතාවක්‌, සැලකිය යුතු අඩු මුදලකින් එක්‌කෙරෙන නොරොච්චෝල නිතර නිතර ලෙඩවීම වූ කලී නොනවතින ආර්ථික සටනේ ප්‍රධාන සේනාංකයට නිතර නිතර බඩඑළිය යැම වැනි වැඩකි.

නොරොච්චෝල අර්බුදය පිළිබඳව ඊළඟ ගැටලුව වන්නේ එය හැම විටම අභිරහසක්‌ බවට පත්කර තිබීමය. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට හිටිවනම මේ සිදුවන්නේ කුමක්‌ද යන්න රටට, රජයට නිවැරැදිව පැහැදිලි කළ හැකි විශේෂඥ ඉංජිනේරුවරයකු තවමත් අප රටේ නොමැතිද? එසේ නොමැති නම් මෙය මෙරට සවිකළ චීනයේ විශේෂඥයකුවත් මේ පිළිබඳව පැහැදිලි කිරීමක්‌ නොකරන්නේ මන්ද?

මේ රටේ සිටින හෝ පිටරට සිටින හෝ අපගේ විශිෂ්ට ගණයේ විදුලි ඉංජිනේරුවන්, යාන්ත්‍රික ඉංජිනේරුවන්, සිවිල් ඉංජිනේරුවන් ගෙන්වා නොරොච්චෝලයට ස්‌ථීර ප්‍රතිකාරයක්‌ ලබාදීමට රජය උනන්දු නොවන්නේ මන්ද යන්න නම් අපට ගැටලුවකි.
 
Related Posts with Thumbnails