Ads 468x60px

.

"මාස්‌ටර් බ්ලාස්‌ටර්" වූ සනත්, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ "බ්ලාස්‌ටර්" කෙනෙක්‌ නොවීමට නම්...

ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයේ රැව් දුන් 1996 ලෝක කුසලාන ක්‍රිකට්‌ සැණකෙළි යේදී ක්‍රිකට්‌ විචාරක ටෝනි ග්‍රෙග්ගේ "මාස්‌ටර් බ්ලාස්‌ටර්" හෙවත් අපේ සනත් ජයසුරිය සිටියේ ජනතාව අතර වීරයකු වීය.

ඒ ලෝක කුසලාන තරගාවලිය පුරා අනෙක්‌ රටවල පන්දු යවන්නන්ට අත දිගහැර පහර දුන් සනා එකල අපට සිටි "ලිට්‌ල් ඩයින මෝව" හෙවත් රොමේෂ් කලුවිතාරණ සමග එක්‌ව දැක්‌වූ සුපිරි දස්‌කම් නිසාය. එය සනාගේ ක්‍රිකට්‌ දිවියේ ස්‌වර්ණමය යුගයද විය. 


මගේ මතකයේ හැටියට පන්දු යවන්නකු ලෙසින් පැමිණ කණ්‌ඩායමෙන් කැපෙමින් සහ හැලෙමින් සිටි සනා එතැනට ආවේ 1996 ලෝක කුසලාන තරගාවලියට පෙර එක්‌තරා දිනක කොළඹ ඛෙත්තාරම පිටියේ පැවති තරගයකදී අවසන් පන්දුවාර 10 තුළ පිත්තෙන් සුපිරි වැඩටිකක්‌ දැමීමත් සමගිනි.

එකල සිටි තේරීම් කමිටුව සනාගේ එකී වැඩ දැමිල්ල දැක ඔහුට ආරම්භක පිතිකරුවකු ලෙසින් ස්‌ථිර අවස්‌ථාවක්‌ දීමට නිවැරදි වූ තීන්දුවක්‌ ගැනීමම අපේ සනා සුපිරි ක්‍රිකට්‌ තරුවක්‌ වීමේ ආරම්භය වූ බව අදටත් මේ සටහන තබන මා තුළ පවතින විශ්වාසයකි.

මෙසේ ක්‍රිකට්‌ තරුවක්‌ වූ සනා ජනතාවගේ වීරයකු බවට පත්ව තවත් කඩඉම් ගණනවාක්‌ පසුකර යමින් අද දවසේ සිටිනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ හි තේරීම් කමිටු සභාපති වීය. සනා දහදිය මහන්සියෙන් වැපිරූ සියල්ලේ අස්‌වැන්න නෙළාගෙන සිටිනුයේ එසේය.

එහෙත් එසේ සියල්ලේ අස්‌වනු නෙළාගෙන සිටින සනාට මේ වන විට ගමනේ මුල හෙවත් වපුරන්නට තැන හිමි වූ හැටි අමතකව ගොස්‌ තිබේද? එකී පැනය අද අපට මතුවෙමින් තිබෙන්නේ තේරීම් කමිටු සභාපති ලෙස සනා කරමින් සිටින දේ පිළිබඳ ඇසෙන කතා හමුවේය.

මේ පවතින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පෝෂණය සඳහා තව තවත් ක්‍රිකට්‌ අංකුර අවැසි යුගයක්‌ බව කිසිවකුටත් අමුතුවෙන් කිව යුතු නොවන්නකි.

එහෙත් එසේ තිබියදී එළැඹෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්‌ඩායම තේරීමේදී වත්මන් තේරිම් කමිටු සභාපතිව සිටින එකල අපේ වීරයා වූ සනා අතින් නොසිදු විය යුතු සිදුවීම් ගණනාවක්‌ම සිදුව තිබෙන බව අද දවසේ මෙරට පාසල් ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රය පුරා රැව් දෙන්නේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ සංචාර ගණනාවකට ගොස්‌ ඇති දක්‍ෂතා දැක්‌වූ ක්‍රීඩකයන් වන කොළඹ රාජකීය විද්‍යාලයේ චාමික කරුණාරත්න කණ්‌ඩායමෙන් විසි වීම, කැලණිය ගුරුකුල විදුහලේ රොෂාන් අනුරුද්ද ඉවත් කිරීම සහ කොළඹ ආනන්ද විදුහලේ සහන් ආරච්චිගේ කපා දැමීම මෙසේ පාසල් ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රය උණුසුම් වීමට ප්‍රබල ලෙස හේතු වී තිබෙන්නකි.

එහෙත් මේ කිසිවකුත් අනිවාර්යයෙන් කණ්‌ඩායමේ සිටිය යුතු බව අපි නොකියන්නෙමු. මන්ද කණ්‌ඩායමක්‌ සමබර කිරීමේදී යම් දක්‍ෂයකු වුව කැපී යා හැකි බව අප දන්නා බැවිනි. නමුත් දක්‍ෂයකු කැපී යැමේදී කණ්‌ඩායමේ සිටිය යුත්තේ දක්‍ෂයන්ම පමණක්‌ බව ඛෙත්තාරාමයේ වැඩ දමා 1996 ලෝක කුසලානය සමග තරුවක්‌ වූ සනා නොදන්නවා යෑයි සිතීමට තරම් අපි මෝඩයෝද නොවන්නෙමු.

එහෙයින් සනෝ. 19 න් පහළ ලෝක කුසලානය සඳහා කණ්‌ඩායම තේරීමේදී පාසල් ක්‍රිකට්‌ ක්‍ෂෙත්‍රය උණුසුම් කරමින් රොෂාන් අනුරුද්දලා වැනි දක්‍ෂයන් කැපී යද්දී කණ්‌ඩායමේ මේ වන විට ඉතුරුව සිටින්නේ දක්‍ෂයන්ම දැයි යන ප්‍රශ්නය කණ්‌ඩායමක්‌ තේරීමේ ඉහත න්‍යාය අනුව දැන් තේරීම් කමිටු සභාපති වූ ඔබෙන් අසන්නට අපට සිදුව තිබේ.

ඒ 19 න් පහළ කණ්‌ඩායම තේරීමේදී පාසල් ක්‍රිකට්‌ ක්‍ෂෙත්‍රයේ සිටි දක්‍ෂයන් කපා දමා "රුපියල් අස්‌සට අලුක්‌කාල්" දැම්මාක්‌ සේ ඉතිරි දක්‍ෂයන් අතරට අත්දැකීම් අඩු ක්‍රීඩකයන් දෙදෙනකු හා නුසුදුස්‌සකු ඇතුළත් කිරීමට මේ වන විට සනා ප්‍රමුඛ තේරීම් කමිටුව තීරණය කර ඇති බව අනාවරණය වෙමින් තිබෙන නිසාය.

එකී ක්‍රීඩකයන් තිදෙනා අතරිනුත් එක්‌ අයකු මෙරට ක්‍රිකට්‌ සමග කියෑවෙන නමක්‌ ඇති තාත්තෙකුගේ පිහිටෙන් සනා හරහා කණ්‌ඩායමට රිංගා ගත් අයකු බවද තවත් වටයකින් කියෑවෙන්නකි. මෙහිදී දැන් "ක්‍රිකට්‌ බයි චාන්ස්‌" න්‍යායෙන් මෙයට ප්‍රති උත්තර දෙන්නටද සනාලාට හැකියාව තිබේ.

එහෙත් මෙකී තත්ත්වය හමුවේ අතීතයේ "මාස්‌ටර් බ්ලාස්‌ටර්" වූ සනාගෙන් වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ "බ්ලාස්‌ටර්" කෙනෙක්‌ නොවන්න යෑයි පමණක්‌ අපි ඉල්ලා සිටිමු.


-සමන් ගමගේ
 
Related Posts with Thumbnails