Ads 468x60px

.

පිරිමි ශරීරය වෙනස්‌කර කාන්තා අඟ පසඟ සාදා ගණිකාවක්‌ වීමට සිහින මැවූ මිනිසා

මිනිසකු වී ඉපදීමට මහා කුසල් සමුදායක්‌ අවශ්‍ය වන බව බුද්ධ දේශනාවේ සදහන්වේ. එහෙත් පිරිමියකු වී ඉපදීමටද ඊට වඩා විශාල කුසල් ප්‍රමාණයක්‌ අවශ්‍යය. එවන් පිරිමියකුව ඉපිද ගැහැනියක්‌ වීමට සිතතොත් එය පුදුම දනවන සුළුය. එහෙත් මේ කලියුග කාලය යෑයි සිතෙන්නේ මෙවැනි පුවත් ඇසීමෙනි. 

පිරිමියකු වී ඉපිද නවීන වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් ගැහැනියක වී ඉන් එහාට ගණිකාවක්‌ වීමට සිහින මැවූ මිනිසකු තම පහස ලැබීමට ආ මිනිසුන් දෙදෙනකු මරා මිනීමරුවකු වූයේ යෑයි කීවොත් ඔබ පිළිගනීද එහෙත් එය සත්‍යයකි. මේ කතාව එළිදරව් වන්නේ හෝමාගම පොලිසිය මිනීමරුවකු සොයාගිය මෙහෙයුමක අවසානයෙනි.

පසුගිය 8 වැනිදා උදැසන 7 ට හෝමාගම පොලිසියට පැමිණි පුද්ගලයකු කීවේ හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ආයතනයකට අයත් නාන කාමරයක්‌ තුළ එම ආයතනයේ මුරකරු මරා දමා ඇති බවය.


පොලිස්‌ ස්‌ථානාධිපති ලලිත් ලීලාරත්න මහතා තම පොලිස්‌ ස්‌ථානයේ සිටින දක්‍ෂතම නිලධාරියා වූ පො.ප. චන්ද්‍රසේකර මහතා කැඳවා පරීක්‍ෂණ කටයුතු ඔහුට පවරමින් ඔහුත් සමග සිද්ධිය වූ කර්මාන්ත ශාලාව කරා ගියහ.

මරා දමා තිබුණේ අවු. 63 ක එක්‌ දරු පියකු වුණ උපාලි නයනානන්ද නමැති අයෙකි. ඔහු පෙර විවාහය අතහැර නැවත විවාහ වී හෝමාගම ප්‍රදේශයේම පදිංචිවී සිටි අයකු විය. මිනී මැරුම සිදුවී තිබුණේ කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ සොහොයුරියගේ පුතා නැවතී සිටි කාමරයේ නාන කාමරය තුළදීය. 


එහි නැවතී සිටි පුද්ගලයාද කම්හලේම 226-0507 දරන ලොරියෙන් පලාගොස්‌ සිටීම මිනීමරුවා ගැන සාක්‍ෂියක්‌ සපයා තිබිණි. මිනීමැරුම සිදුකර තිබුණේ යකඩ පොල්ලකින් පහර දීමකිනි.

කම්හල හිමි පුද්ගලයාගෙන් එම කාමරයේ නැවතී සිටි පුද්ගලයා ගැන විමසා සිටිය අතර ඔහු කීවේ තම එකම සොයුරියගේ පුතා එහි නැවතී සිටිය බවකි. ඔහුගේ මවත් පියාත් මියගොස්‌ ඇති නිසා ඔහු ළඟට පැමිණ මෙසේ කාමරයේ ජීවත් වූ බවත්ය. 


මෙම ප්‍රකාශයන් තුළ ආයතන හිමිකරු තවත් දේවල් වසන් කරන බව පො.ප. චන්ද්‍රසේකර මහතාට තේරුණත් එය සඟවා ගනිමින් එම ඥති පුත්‍රයා සොයා ගැනීමට උදව්කරන ලෙස පැවසීය. එහෙත් ඊටද නිසි ප්‍රතිචාරයක්‌ නොලද තැන පොලිසිය තම වගකීම් ඉටු කිරීමට උත්සුක විය.

මෙම මරණය සිදුවී තිබුණේ පෙබරවාරි 7 වැනිදා රාත්‍රි 10.30 ත් 11 ත් අතර බව සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණය විය. පෙබරවාරි 9 වැනිදා පෙරවරුවේ පොලිස්‌ ස්‌ථානාධිපති ලලිත් ලීලාරත්න මහතාට තොරතුරක්‌ ලැබුණේ මිනී මැරුමට අදාළ බවට සැක කරන පුද්ගලයා මොරටුව කොරළවැල්ලේ මුහුදු වෙරළේ සිටින බවයි. 


වහා ක්‍රියාත්මක වූ පො.ප. චන්ද්‍රසේකර මහතා එම වෙරළ තීරයට ගොස්‌ ගල් පරයක්‌ මතට වී ඈත මුහුද දෙස බලා සිටි සැකකරු අත්අඩංගුවට ගත්තේය.

කළ විමසීම්වලින් හරි පිළිතුරක්‌ නොලද තැන දැඩිව ප්‍රශ්න කිරීම් අරඹන ලදී. පොලිස්‌ නිලධාරීන්ට මහත් අපුලක්‌ මෙන්ම විශ්මයද ලබා දෙමින් අපූරු කතාවක්‌ හෙළි දරව් කළේය.

සැකකරු නමින් නියොන් මාක්‌ හෂීස්‌ නම් 30 වියෑති අයෙකු විය. ධනවත් ව්‍යාපාරික පවුලක එකම පුතු ලෙස උපත ලැබූ ඔහු සියලු යස ඉසුරු ලබමින් හැදී වැඩෙමින් කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ඉගෙනීම ලැබීය. 


නියොන් හෙළ බසට වඩා ඉංගී්‍රසි බස කතා කිරීමට දක්‍ෂයකු විය. අඩුවක්‌ නැති සැප සම්පතින් යුත් ජීවන රටාවට හැඩ ගැහුණ නියොන් සමාජ සාරධර්ම සිරිත් විරිත් පිළිබඳ කිසිදු දැනුමක්‌ ලබා නොගත්තේය.

මවත් පියාත් විදේශ ව්‍යාපාරික ආයතනවල කාලය ගෙවද්දී ඔහු තමන්ටම ආවේණික ජීවිත රටාවකට හැඩ ගැසී මිතුරන්ගේ ඇසුර නිසා විවිධ ක්‍රියාකාරකම් වලට හුරු විය. නියොන්ට අලුත් ආශාවක්‌ සිතට නැඟුණේ මේ අතරය. ඒ ගණිකාවක්‌ වීමටය. 


එසේ සිතුණේ මිතුරන් හා කළ කී දැ වලට වඩාත් සිත ගිය නිසාවෙනි. තම පියයුරු විශාල කර ගැනීමටත්, කාන්තා අඟ පසඟ සකස්‌ කර ගැනීමටත් අවශ්‍ය දේ සොයා බැලීමට ඔහු උනන්දු විය.

තම දෙමාපියන්ගේ ධන සම්පත් ප්‍රයෝජනයට ගෙන තායිලන්තය කරා ගිය නියොන් වසර 5 එහි ජීවත් වෙමින් ගණිකාවක්‌ වීමේ සිහින යථාර්ථයක්‌ කර ගැනීමට උත්සාහ ගත්තේය.

එරට අගනුවර වූ බැංකොක්‌හි රෝහලකට ඇතුළත් වී තම පිරිමි ශරීරය වෙනස්‌කර කාන්තා අඟ පසඟ සාදා ගැනීමේ අරමුණින් ඊට අවශ්‍ය හෝමෝන එන්නත් කර ගත්තේය. පසුව වසර 5 ක්‌ම තායිලන්තයේ වෙසෙමින් තමන්ගේ සිහින ලෝකයේ පහස විඳ ගත්තේය.

එහෙත් තම ජීවන රටාව තායිලන්තයට ගැළපුණත් ලංකාවට නොගැළපෙන බව නියොන් දැන ගත්තේ ලංකාවට පැමිණි පසුවය. තම ශරීර සොබාව නිසා පිරිමින්ගේ බැල්ම මෙන්ම කාන්තාවන්ගේ බැල්මද ඔහුට මහත් කරදරයක්‌ විය.

ඒ අනුව තම පහස පතා පැමිණි තමන්ට කරදර කළ අයකු 2012 නොවැම්බර් 17 වැනිදා නුගේගොඩ සුනේත්‍රා දේවී ප්‍රදේශයේදී පිහියකින් ගෙල කපා මරා දැමූ නියොන් එම ප්‍රදේශය අතහැර තම මාමණ්‌ඩිය ළඟට පැමිණ අප්‍රසිද්ධ ජීවිතයක්‌ ගෙවීය.

ආයතනයේ කාමරය ඔහුගේ අලුත් නවාතැන විය. නියොන් තායිලන්තයට යන්න පෙරත් තායිලන්තයේදීත් අධික ලෙස මත් කුඩුවලට ඇබ්බැහි වූවකු විය. මේනිසා තායිලන්ත පොලිසියට අසුවී සිරගතව සිටීමටත් සිදුවී තිබිණි. 


ඔහු ලංකාවට පැමිණියේ ඒ සිදුවීමත් සමගය. එහෙත් ලංකාවට ආ ඔහු මත්කුඩු භාවිතය අතහැර දැමුවත් අධික මානසික ආතතියකට ලක්‌විය. ඊට හේතු වූයේ ඒ වන විට මවුපියන් ගේ ව්‍යාපාරද බංකොලොත් වී තිබීමය. ඒ අතරතුර තම එකම දරුවාගේ ප්‍රශ්න නිසා ඔවුන්ද අකල්හී මරණයට පත්වී තිබීමත්ය. 

ඒ අතර තම සිහිනය සාර්ථක කර ගැනීමට කළ දේවල් නිසා නිරන්තරව සමාජයෙන් සැඟවී සිටීමට ඔහුට සිදුවිය. තමා දෙස පමණට වඩා බලනවටත් තමා ගැන සොයනවාටත් නියොන් අකමැති විය. එවිට දැඩිව කෝපවන නියොන් අතට අසුවූ දෙයින් පහරදීමට පෙළඹී තිබිණි.

2014 පෙබරවාරි 7 වැනිදා රාත්‍රියේ ඔහු තමාගේ කාමරයේ ඇඳටවී සිටියේ නින්ද ඔහු කරා එන තුරුය. කර්මාන්ත ශාලාවේ මුරකරු නියොන්ගේ රහස දැනගෙන තිබිණි. ඒ නිසා මුරකරුටද නියොන්ගේ පහස විඳීමට ආශාවක්‌ ඇතිවී තිබිණි. තම රැකියාවේ වගකීම පසකට තැබූ ඔහු නියොන්ගේ කාමරයට ගියේ අලුත් අත්දැකීමක්‌ විඳ ගැනීමටය.

ආගන්තුකයාගේ පහසින් නියොන් වියරු වැටිණ. එළියට දුව ගිය නියොන් යකඩ පොල්ලක්‌ රැගෙනවිත් සිත් සේ මුරකරුට පහර දුන්නේය. කේන්තිය නිවීගිය පසු සිදුවූ විනාශය දුටු නියොන් වහාම එළියට විත් කම්හල තුළ නවතා තිබූ ලොරිය රැගෙන අරමුණක්‌ නොමැතිව ගමන් ගත්තේය. 


අතර මග වාහනය දමා නියෝන් මොරටුව කොරළවැල්ලේ මුහුදු වෙරළට ආවේ ඉන් පසුවය. බිඳෙන නැගෙන රළ දෙස බලා සිටිමින් තම ජීවිතයට වැරදුණ තැන පසක්‌ කරමින් සිටින අතරතුරදී ඔහු එසේ කොටුවිය. නියොන් කී කතාව පො.ප. ලලිත් ලීලාරත්න මහතාට අදහා ගැනීමටවත් නොහැකි විය.

මිනිසකුගේ සිතට ඇතුළු වූ කාලකණ්‌ණි ආශාවක්‌ නිසාත්, ආශාවන් පසුපස දිව යැම නිසාත් මිනිසුන් දෙදෙනකුට ජීවිතය අහිමි වී ඇත. තවත් මිනිහෙක්‌ තම සිහින ලෝකය සාර්ථක කර ගැනීමට යැම නිසා මිනීමරුවකු වෙමින් තම ආශාව සමාජ ප්‍රශ්නයක්‌ බවටද පත්කර මුළු ජීවිතයම අඳුරු කරගෙන සිටී. ඊට මැදිවූ පොලිසියද මෙවන් මිනිසකුට ඉදිරි රැකවරණය දීමේදී ගැටලුවකට මැදිවී සිටී.
 
Related Posts with Thumbnails