Ads 468x60px

.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අළුත්ම ගොදුර


මෙන්න විවෘත 
අභියෝගයක්‌

නවක වධය නිසා තවත් සිසුවෙක් මිය ගොස් තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍ර පීඨයේ ඉගෙනුම ලැබූ වී.කේ නිශාන්ත පේරාදෙනියේ අළුත්ම ගොදුර වීම කොතරම් කුරිරුද ? 

මෙම සිසුවා සරසවියට පැමිණි දිනයේ සිටම ඔහු විවිධාකාර නවක වධ වලට ලක් වීමට සිදු විය​.  ඔහු සමග නේවාසිකාගාරයේ සගයාද ඔහුද ලිංගික නවක වධ වලට ලක් වූ අතර සගයා ඊට එරෙහිව අධිකරණයට ගියේය​.  

එම නඩුව පසුගිය දෙසැම්බර් මස අවසන් වූ අතර ලිංගික අතවරයක් සිදු කල එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු වන චරිත් ලක්මාල්, රුචිර මධුශංක හා යොහාන් සඳරුවන් යන අයට අත් හිටවූ සිර දඬුවම් නියම කෙරිණි.  

එලෙස වැරදිකරුවන් වූ සිසුන් තිදෙනා සම්බන්ධයෙන් උප කුලපති මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා ඇතුළු පරිපාලන අංශය​ කිසිදු පියවරක්‌ ගත්තේ නැත​. ඔවුන් නිදහසේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිටියහ​.   

ඉන්පසු ඇරඹුනේ කේ නිශාන්තට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිටිය නොහැකි තරමට අරියාදු කිරීමය​. නිශාන්ත නවකවධයට එරෙහිව අධිකරණයේ විභාග වූ නඩුවක සාක්‌කිකරුවෙකු වීම නිසා අනෙකුත් සිසුන් ඔහුව කොන් කළහ​. ඔහුට විශ්ව විද්‍යාලයේ අචාර්‍ය මණ්ඩලයෙන් වත් සහනයක් නොලැබිනි. 


අවසානයේදී ඔහුට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර දමා යාමට සිදුවේ. සියළු බලාපොරොත්තු සුන් වීම නිසා කේ නිශාන්ත සිසුවා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාකස් ප්‍රනාන්දු ශාලාව පිටුපස ළඳු ප්‍රදේශයේ ගෙල වැළ දා ගත්තේය​. මෙය දිවි නසා ගැනුමක් වූවද සාවද්‍ය මනුශ්‍ය ඝාතනයක් ලෙසට අර්ථ කථනය කිරීම නිවැරදිවේ.      

ඔහු අතුරුදහන් වූ විට ඔහුගේ දෙමවුපියන් නිශාන්ත සොයා විශ්ව විද්‍යාලයට පැමිණ තිබේ. ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා ගේ ඉල්ලීම මත  සිසුන් පිරිසක් මාකස්‌ ප්‍රනාන්දු ශාලාව අසල පිහිටි කැලයට ගියද අතර මගදී අතුරුදන් ශිෂ්‍යයා නවක වධයට එරෙහිව අධිකරණයේ විභාග වූ නඩුවක සාක්‌කිකරුවෙකු බව දැන ගත් එම සිසුන් නිශාන්ත සෙවීම අත්හැර දෙමවුපියන්ට ද දොස්‌ පවරා ආපසු පැමිණ තිබේ.  මේ වන විට සිසුවා මරණයට පත් වී අහවරය​.

ලංකාවේ විශ්ව විද්‍යාල වල සෑම වසරකම නවක වදය ලෙසින් බරපතල ලෙස මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරේ. මේවා ගැන මානව හිතවාදීයැයි කියා ගන්නා කලාකාරයන් ඉදිරි ගාමීයැයි කියා ගන්නා දේශපාලකයන් අවංක කාර්‍ය ශුර සහ උගත් යැයි කියා ගන්නා විශ්වවිද්‍යාල බලධාරීන් කථා කරන්නේ නැත. 


අප පිලි නොගන්නා කටුක සත්‍ය නම් මානව හිමිකම් වලට ගරු කරන, හිංසනය ප්‍රතික්‍ෂේප කරන උසස් සදාචාරයක් ඇති ලෝකයේ වෙනත් විශ්ව විද්‍යාල වලට සාපේක්‍ෂව ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල තවමත් පවතින්නේ තිරිසන් මට්ටමකිනි. 

කායික හෝ වාචික හිංසනයකට ලක් නොවූ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබීමට මේතාක් කිසිවෙකුට හැකි වී නැත​. කායික හෝ වාචික හිංසනයකට ලක් නොවී ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ අයෙකු සිටියි නම්  ඉදිරිපත් වන්න​. මෙය විවෘත අභියෝගයකි. 

නවක වදය යනු සාපරාධි අපරාධයක් බව ලංකික සමාජයට තේරුම් කල දිය යුතුය. අහේතුවකට මෙන් නවක වදය යනු සාපරාධි අපරාධයක් බව අපගේ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පවා විශ්වාස නොකරති. 


උසස් සදාචාරයක් ඇති මානව හිමිකම් වලට ගරු කරන අධ්‍යාපනික වශයෙන් උසස් ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වල මෙවැනි පහත් නවක වද සිදු නොවන බව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න සිසුන් බහුතරයක් දන්නේ නැත. 

එම නිසා ඔවුනට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල බාහිර රට වලට පෙනෙන අන්දම ගැන අවබෝදයක් නොමැත. ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල අන්තර්ජාතික තලයේ කුජිත වී ඇති බව පවා මොවුන් නොදනිති. 

සමහර විදේශ රටවල සරසවි සිසුන්ට සහ විශ්වවිද්‍යාල මහාචාර්‍යවරුන්ට ලංකාවේ විශ්වවිද්‍යාල වල සිදුවන හිංසනයන් අදහා ගත නොහැක. 


පසුගිය කාලයන් පුරා අපගේ විශ්වවිද්‍යාල වල සිදු වූ බරපතල මානුෂික අයිතිවාසිකම් කඩවීම් උසස් සදාචාරයක් ඇති මානව හිමිකම් වලට ගරු කරන අධ්‍යාපනික වශයෙන් උසස් ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාලයක සිදුවූවා නම් එම විශ්ව විද්‍යාල කුලපතිවරුන් සිටින්නේ සිර ගෙවල්වලය.

ඒ හිංසනයට නිහඬ ලෙස අනුබල දීම නිසාවෙනි. හිංසනයට නිහඬ ලෙස අනුබල දෙන්නාද අපරාද කරුවෙක් බව මෙවැනි රට වල විශ්ව විද්‍යාල බලධාරින් අවබෝධ කරගෙන සිටියද අපගේ විශ්වවිද්‍යාල බලධාරින් තුල තවමත් එවැනි උසස් චින්තනයක් පහල වී නොමැත. 

ඊට හේතුව අපගේ විශ්වවිද්‍යාල බලධාරීන්ද ශිෂ්‍ය සමයේදී නවක වදයේ වින්දිතයන් හෝ වදකයන් වී සිටීමය. එම නිසා මෙම බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වරදක් සේ දැකීමට ඔවුනට තවමත් හැකියාවක් නොමැත.    

මෙම සිදුවීම අපට පුතේ මගක් නැතේ නාට්‍යයේ විශ්ව විද්‍යාල සිසුවෙකු වූ සරණපාල එල්ලී මිය යාමට වඩා ශෝකනීය සහ කුරිරුය​. 


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු පීඩකයන් විසින් 2011 වසරේදී පේරාදෙණිය සරසවියේ ශාස්‌ත්‍ර පීඨයට ඇතුළුවී දරුණු ලෙස නවකවධයට ලක්‌වීම නිසා සරසවි අධ්‍යාපනය අත්හැර දැමීමට සිදු වූ අගුණකොළ පැලැස්ස ප්‍රදේශයේ දුගී සිසුවා මරා ගන්නා ලදි.  

කේ නිශාන්ත  සිසුවා  මරා දැමීම සම්බන්ධයෙන් සිසු සංවිධාන වලටද විශ්වවිද්‍යාල බලධාරීන්ටද ගැලවී යා නොහැක​. මොවුන් සෑම දෙනා අතේ ලේ තැවරී තිබේ.  

- ඩී. සුගත් රාජපක්ෂ
 
Related Posts with Thumbnails