Ads 468x60px

.

ශිෂ්‍යත්ව විභාගය ගැන සැමියා සමඟ බහින් බස්‌ වී මව දස හැවිරිදි දියණිය සමග ළිඳට පනී...

අනුරාධපුර, ශ්‍රාවස්‌තිපුර, ශාන්ති වී මෝල පාරේ පාළුවට ගිය නිවසක ගෙවත්තේ ළිඳක්‌ තුළ දස හැවිරිදි දියණියක් සහ ඇගේ මව එම ළිඳට පැන දිවි හානිකර ගෙන පුවතක් පොතානේගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මියගිය දියණිය අනුරාධපුර පොතානේගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර ඇය මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියා.

ඉකුත් 31 වැනිදා සවස ළිඳට පැන දිවි හානි කරගත් දියණියගේ සහ මවගේ මළ සිරුරු පෙරේදා (01 දා) උදේ අසල්වාසියකු විසින් සොයා ගත් අතර අනතුරුව ඔවුන් මේ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබුණා.


අනුරාධපුර අතිරේක මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මහත්මිය හමුවේ ළිඳෙහි පාවෙමින් තිබූ මව සහ දියණියගේ මළ සිරුරු පොලීසිය විසින් ගොඩ ගනු ලැබිණි.

එම මළ සිරුරු අනුරාධපුර ශික්‌ෂණ රෝහලට යොමු කොට පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා මරණවලට හේතුව පිළිබඳ වාර්තාවක්‌ අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට කැඳවන ලෙසත්, මළ සිරුරු ළඟම ඥතියකුට භාරදෙන ලෙසත් මහෙස්‌ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

අවාසනාවන්ත ලෙස මියගිය දැරිය පසුගිය වාර විභාගයේදී පන්තියේ දෙවැනි ස්‌ථානයට පත්ව ඇති බවත් ඇය ඉගෙනුමට ඉතා දක්‌ෂ ශිෂ්‍යාවක්‌ බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

එම දැරියගේ පියා පෞද්ගලික උපකාරක පන්ති රැසක ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කරන අතර ඔහුගේ බිරිඳගේ සහ දියණියගේ සිරුරු හමුවූ ළිඳ සහිත නිවසේ වසර හතක්‌ පමණ පදිංචිව සිට ඇති බවටත් හෙළිවී තිබේ. පසුව ඔවුන් මීට වසරකට පමණ ඉහතදී අනුරාධපුර ශ්‍රාවස්‌තිපුර සුදර්ශන මාවතේ නිවසක පදිංචිව සිට ඇත.

මියගිය කාන්තාව සිය දියණිය මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කිරීම සඳහා ඇය නිතර පෞද්ගලික උපකාරක පන්ති රැගෙන යමින් දවසේ වැඩි කාලයක්‌ ඉගෙනීමේ කටයුතුවලට බල කරමින් පොලඹවා තිබේ.

සිය දියණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කිරීම සඳහා බිරිඳ ගන්නා මහන්සිය සහ බල කිරීම බලා සිටිය නොහැකිවූ සැමියා (ඉංගී්‍රසි ගුරුවරයා) ඔන්න ඔය දරුවට ශිෂ්‍යත්ව විභාගය පාස්‌ වෙන්න කියා බල කරන්න එපා. ශිෂ්‍යත්ව විභාගය කියන්නෙ සාමාන්‍ය විභාගයක්‌ දරුවගේ ළමා කාලයෙ එයාට නිදහසේ ගත කරන්න ඉඩ දෙන්න යෑයි බිරිඳට පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර සුළු මත ගැටුම් හා බහින් බස්‌වීම් නිතර නිතර ඇතිවී තිබේ.

මෙම සිද්ධිය වූ දිනද සැමියා සහ බිරිඳ අතර මේ සම්බන්ධයෙන් බහින්බස්‌ වීමක්‌ හටගෙන ඇති බව පොලීසිය පවසයි. එම සිද්ධියෙන් පසු සැමියා තඹුත්තේගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියකට ගොස්‌ ඇත. එදින සවස 3.30 ට පමණ දැරිය සිය මව සමග පහ වසර ශිෂ්‍යත්ව පෞද්ගලික උපකාරක පන්තියකට යාමට සූදානම්ව ඇත.

මේ අතර බිරිඳ (නිරෝෂා පතිරාජ මැණිකේ) 31 වෙනිදා සවස 3.40 ට පමණ සිය සැමියා වන උදය කුමාර මහතාට දුරකථන ඇමතුමක්‌ දී උදය මම ඔයාට ගැලපෙන්නෙ නෑ. ඔයා වෙන අතක්‌ බලා ගන්න මම අද තීරණයක්‌ ගන්නවා යෑයි පවසා තිබේ.

සවස 7.00 පමණ වනවිට නිවසට පැමිණි සැමියා බිරිඳ සහ දියණිය නිවසේ නොසිටීම නිසා අසල්වැසි නිවැසියන්ගෙන් විමසූ විට දුව රැගෙන මව පන්ති යන්නට ඇති බව පවසා ඇත. ඒ වනතුරුත් ඔවුන් දෙදෙනා නොපැමිණීම නිසා සැමියා අසල්වාසීන් සමග එක්‌ව ඔවුන් සෙවීමට පටන් ගෙන තිබේ. එහෙත් එදින රාත්‍රී ඔවුන් හමුවී නැත.

මේ අතර පෙරේදා (01 දා) උදේ ඔවුන් සොයා ගැනීමට නොහැකිවූ තැන සැමියා මේ පිළිබඳව පැමිණිලි කිරීමට අනුරාධපුර පොලිසියට ගොස්‌ ඇත. මේ අතර ඔවුන් සමග සමීප ඇසුරක්‌ පවත්වාගෙන ගිය අසල්වාසී යුවළක්‌ මව සහ දියණියට සිදුවූයේ කුමක්‌ද යන්න විමසා බැලීමට ශාස්‌ත්‍ර කියන ස්‌ථානයකට යමින් සිටියදී අතුරුදන්වූ බිරිඳ සහ දියණිය සැමියා බිය ගැන්වීමට කලින් පදිංචිව සිටි නිවසේ සැඟවී ඇත්ද යන්න සොයා බැලීමට එම නිවසට ගොස්‌ ඇත.

එහි යන විට ඔවුනට අතුරුදන්වූ බිරිඳගේ ජංගම දුරකථනය නිවස ඉදිරිපිට බිම තිබී හමුවී ඇත. අනතුරුව මව සහ දියණිය සෙවීමට ගිය පුද්ගලයෙකු පාළුවට හැර තිබෙන ළිඳ පරික්‍ෂා කර බැලීමේදී දස හැවිරිදි දියණියගේ සිරුර එහි දිය මත පාවෙමින් සහ මවගේ සිරුර අඩි 25 ක්‌ පමණ ගැඹුරට ජලය පිරී පැවැති ළිං පතුලේ තිබෙන අයුරු දැක තිබේ.

අනතුරුව ඔහු වහා ඉංග්‍රීසි ගුරුවරයාට සහ පොලීසිය වෙත දුරකථන ඇමතුමක්‌ ලබා දෙමින් සිද්ධිය දැනුම් දී තිබිණි. මේ පිළිබඳ මියගිය දස හැවිරිදි දැරියගේ පියා උදයකුමාර (45) මහතාගෙන් කළ විමසුමකදී මෙසේ කීය.

මගේ බිරිඳ පුංචි දේටත් සැලෙනවා. දරුවාට ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්‌ වෙන්න කියලා වැඩිය කරදර නොකරන ලෙස මම ඇයට නිතර කිව්වා. එයාට එය තේරුම් ගැනීමට නොහැකි වුණා. එයා හරිම හොඳ කෙනෙක්‌. එයාගේ ලාමක ගති නිසා තමයි මේ දේ කර ගත්තේ. තද හිතක්‌ එයාට තිබුණා නම් මෙවැනි විපතක්‌ මගෙ දරුවටයි නෝනටයි සිදු වෙන්නේ නෑ.
 
Related Posts with Thumbnails