Ads 468x60px

.

ශ්‍රී ලංකාව සහ මානව අයිතිවාසිකම්

මෙම විසිවෙනි සියවසේ අවසාන කාර්තුවේ ශ්‍රී ලංකාවේ වැඩිපුරම කතාබහ ට ලක්වී තිබෙන්නේ “මානව අයිතිවාසිකම්” යන වචන දෙකයි. 

එබඳු කතා බහකට බදුන් වන්නේ ශ්‍රි ලංකාවේ ඒ උතුම් අයිතිවාසිකම් සුරැකෙන නිසා නොව උපතේ සිට මියැදීම දක්වා වූ සකල විධ මානව අයිතිවාසිකමක්ම අප රට තුළ සහ මුලින්ම විනාස වී යාම නිසායි.

මානව හිතවාදය පිලිබඳ විශිෂ්ට ඉගැන්වීම් ඇති බුදු සමයට මුවා වී වර්තමාන පාලකයෝ රට වාසිය සතු සියලුම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් එකින් එක වළලා දැමු අයුරු 1988 නොවැම්බර් 11 දින ගුවන් විදුලියෙන්  කළ රජයේ නිවෙදනයකින්ම තහවුරු කරයි. 


එනම් ජනතාවගේ අයිතීන් දිනාගැනීම සඳහා වූ ලොව පිළිගත් කිසිම ආකාරයක උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන යාම මරණ දඩුවම් ලැබීමට තරම් වූ වරදක් කොට සැලකීමයි. 

ශ්‍රී ලංකාවේ මානව අයිතීන් පිලිබඳ අද තත්වය මේ ආකාරනම් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර ඉතාම නින්දිත අයුරින් මානව අයිතීන් උල්ලංඝණය කර තිබෙන්නේ මේ රටේ වර්තමාන පාලකයන්ය. මෙය ලොවම මානව හිතවාදීන්ගේ හිත් කළ කිරීමට ද දැන් හේතුවී තිබේ.

අධිරාජ්‍ය වැද්දන්ගේත්, ධන වැද්දන්ගේත් මිලේච්ඡ ආශාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සිදුකළ පළමු හා දෙවැනි ලෝක සංග්‍රාම මානව වර්ගයාගේ ඉදිරිගමනට අතිශයින් අහිතකර විය. 


විශේෂයෙන් 1917 දී සෝවියට් රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවයෙන් බිහිවූ සාමකාමී සහජීවනයෙන් යුතු මානවහිතවාදී ලෝකය දෙවැනි ලෝක සංග්‍රාමයෙන් දෙදරා යෑම විද්‍යාත්මක ලෝකයේ ඉදිරි ගමනට අතිවිශාල හානියක් විය. 

ලෝක සංග්‍රාමයක දුෂ්ඨ නින්දිත ස්වරුපය කෙබඳුද යන්න බර්ට්‍රම් රසල්ගේ මිනිසාගේ ඉරණම නමැති කෘතියේ තේමාව සඳහා යොදා ඇති “ යුධය ඇති කළේ කවරෙක් ද ඔහුට සාප වේවා !” යන ප්‍රකාශයෙන්ම තහවුරුවෙයි.

මෙය අවබෝධ කරගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් එකතුව සකස් කළ මානව අයිතීන් පිලිබඳ විශ්ව ප්‍රකාශනයට සමස්ථ ලෝකයම ගරුකරන්නේ මිනිසා මිනිසා කෙරෙහි උදාර ප්‍රේමයෙන් යුතුව ජීවත්විය යුතු බව ඉන් උගන්වන නිසායි. 1948 දෙසැම්බර් 10 දින මානව අයිතීන් පිලිබඳ දිනය ලෙස පිළිගන්නේද එනිසායි.

ශ්‍රි ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  3 වැනි පරිච්ජේදය පිළියෙල කරගෙන තිබෙන්නේ මේ විශ්ව ප්‍රකාශයට අනුවය. මේ පරිච්ජේදයට අනුව අද  අප ක්‍රියාත්මක වීම ඔහු මරණිය දණ්ඩනයට නියම වීමක් බව නීතිගත කරගත් අයුරු මින් ඉහත සඳහන් කළේ එබැවින්ය. 


එසේ  නම් ශ්‍රිලංකාවේ වර්තමාන පාලකයන් මේ ශ්‍රේෂ්ඨ විශ්ව ප්‍රකාශයට කර තිබෙන අවමානය කෙතරම්දැයි තක්සේරු කර ගත හැකිද ?

රුදුරු පාලකයෝ බලය ලබා ගැනීමට පෙර පොදු ජනතාව තමාගේ ස්වාමියා බව පවසා බලයට පත්වූ පසු ඔව්හු වහලුන් කර ගනිති. ධන වැද්දන්ගේ ක්‍රියාවලියෙහි මුලික ලක්ෂණයත් එයයි. 


මෙබඳු පාලකයෝ සාමකාමී සහජීවනයෙන් යුතු සමාජවාදී රාජ්‍යයන් බිහිවනාවට කිසිසේත් කැමති නොවෙති. සියලු ආකාර මර්දන තත්වයන් නීතිගත කරන්නේ එබැවින්ය. තමා වෙත බලය පැවරු ජනතාවම ඒ නීතිගත කරගත් මර්දනයන් යොදා මරා ගනිති.

ලෝක ඉතිහාසයේ මේ බලවතුන්ට එදිරිව ක්‍රියාකොට සමාජවාදී සමාජ බිහිකර තිබෙන්නේ විල්ලුද බුමුතුරුණු උඩ ගමන් කර නොවේ. තියුණු අවි ආයුධ වලට ජිවිත බිලිදීමෙන්ය. 

අප රට ද අද මානව අයිතීන් දින ගැනීම සඳහා මේ උදාර ගමන් මග තෝරා පෙළ ගැසී ක්‍රමයෙන් පෙරට එයි. එය අපරටේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ම පරිච්ජේදය නිර්මාණය කිරීම සඳහා වූ දැවැන්තම ඇපකැපවීමකි .

කෝ. ආනන්ද හිමි

(මානව හිතවාදී භික්ෂු පෙරමුණ මගින් ප්‍රකාශයට පත් කළ “විනිවිද” සඟරාවේ 1989 දෙසැම්බර් කලාපයට එහි සම සංස්කාරක වරයෙකු වූ  කෝ. ආනන්ද හිමියන් විසින් සටහන් කල විනිවිද සංස්කාරක සටහනකි. මෙය අද දවසට ද ඒ ලෙසින්ම වලංගුය .)
 
Related Posts with Thumbnails