Ads 468x60px

.

ෆේස් බුක් අවුලක් නිසා දිවි නසාගත් වෙනුෂාගේ චරිතය ඝාතනය කිරීමේ මෙහෙයුමක්?


ඇගේ කන්‍යාභාවය 
ගැන වෛද්‍ය වාර්තාවක්

ෆේස් බුක් පිටුවක පළවී තිබුණේ යැයි කියනු ලබන ඡායාරූපයක් මුල්කරගෙන කුරුණෑ ගල සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ විදුහල්පතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්වුණු බව පැවසෙන සිසුවියක සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් මතෛක් කෙරෙන සියලු පරීක්ෂණ සිදුවන්නේ විදුහල්පතිවරයා ආරක්ෂාකර ගැනීම මුල්කරගෙනද යන සැක සංකාද මේ වනවිට ඇතැම් පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වෙමින් තිබේ.

වෙනුෂා ඉමන්දි බණ්ඩාර නම් වූ ඒ සිසුවිය ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමට පෙර තමන්ට ඒ තීරණය ගැනීමට හේතු භූත වූ කාරණා පැහැදිලිව සටහන් කර තිබියදීත් විදුහල්පතිවරයා සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට අධ්‍යාපන බලධාරීන්ට මෙන්ම ‍පොලීසියටද ඉඩක් මතෛක් නොලැබි ඇත්තේ විදුහල්පතිවරයා ආරක්ෂාකර ගැනීමට කිසියම් මෙහෙයුමක් දියත්ව ඇති බැවින් යයිද අදහස් මතුවෙමින් තිබේ.


එකී ලිපියට අනුව වෙනුෂා ඉමන්දි බණ්ඩාර සිසුවිය සියදිවි හානිකර ගැනීමට බලපානුයේ විදුහල්පතිවරයා ඇයට පාසල තුළදී ප්‍රසිද්ධියේම,

කාන්තාවන් ඇමතීමට යොදාගන්නා පහත් පෙ‍ලේ,  අසභ්‍ය වචනයකින් බැණ වැදීමය. 

එවැනි වචනයක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට එරෙහිව කිසිවකුත් හඬක් නගන්නේද නැත. වයඹ පළාතේ අධ්‍යාපන බලධාරියා වන වයඹ මහ ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර ද මේ සිද්ධිය හුදෙක් සාමාන්‍ය සිදුවීමක් ලෙස සලකන්නට උත්සාහ ගනිමින් සිටින බව පෙනේ.

“පසුගිය දිනක කුරුණෑගල ජෝන් කොතලාවල විදුහ‍ලේ වෙනුෂා සිසුවිය දිවි නසාගත්තා. විදුහල්පතිතුමා බැන්න කියලා දිවිනසා ගන්නා තත්වයට ඒ දරුවා වැටුණා නම් ඒ පිළිබඳව සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ ඇගේ අම්මයි තාත්තයි.” ජයසේකර මහ ඇමැතිවරයා වෙනුෂාගේ සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් පවසා ඇත්තේ එවැනි කතාවකි.


දයාසිරි ජයසේකර මහ ඇමැතිවරයාටත් වෙනුෂා වැනි රුවැති දියණියක සිටියි. ඔය කියන විදුහල්පතිවරයා එවැනි වචනයක් ඇයට කීවේ නම් දයාසිරි ජයසේකර මහ ඇමැතිවරයා කෙසේ හැසිරේවිදැයි ඇතැම්හු ප්‍රශ්න කරති.

වෙනුෂාගේ මරණයත් සමග විදුහල්පතිවරයාට ඒ ගැන එල්ලවන චෝදනාවලින් ඔහුව ගලවා ගන්නට පෙරමුණ ගෙන සිටින්නන් දැන් සිටින්නේ වෙනුෂාගේ චරිතයද විනාශ කරමිනි. 


ඒ ඇය ඉතා නරක තැනැත්තියක් බවට කටකථා පතුරුවමිනි. ඒ විදුහල්පතිවරයා ඇයට බැණ වැදුණු වචනය සාධාරණීකරණය කිරීමට පසුබිමක් සකස්කරන්නටද යන ප්‍රශ්නයද මෙතැනදී පැන නගියි.

එහෙත් එය ඔවුන් හිතන තරම් සාර්ථක ප්‍රයත්නයක් නොවනු ඇත. ඒ සිය දියණිය සම්බන්ධයෙන් කෙරුනු පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇගේ පියා වන අරුණසිරිගේ ඉල්ලීම මත අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇගේ කන්‍යාභාවය ගැන වෛද්‍ය වාර්තාවක්ද ලබාදී ඇති බැවිනි. 


තමා ඒ වාර්තාව ඉල්ලා සිටියේ දියණියට අර වැනි වචනයකින් බැණ වැදුණා නම් යම් දිනයක දියණියව ඒ තැනට ඇද දමා අපහාස කරන්නට හැකියාවක් ඇති බැවින් බව අරුණසිරි පවසා තිබිණි.

වෙනුෂාගේ මරණය සම්බන්ධයෙන් ‍පොලීසිය පවා මුලින් කටයුතු කර තිබුණේ පක්ෂග්‍රාහීව බවට චෝදනා එල්ල විය. 


කුරුණෑගල මූලස්ථාන ‍පොලීසිය ‍පොලිස් මූලස්ථානයට එම මරණය වාර්තා කර තිබුණේ පෙම් සබඳතාවක් නිසා ඇතිවූ ප්‍රශ්නයක් මත ඇය සියදිවි හානිකරගෙන ඇති බවය. ඇය විසින් ලියන ලද ලිපියද ඇතැම් පාර්ශ්ව විසින් සඟවන්නට උත්සාහ දරා තිබුණේ එය ඇය තරුණයකුට ලියන ලද්දක් බව කියමිනි.

ඇගේ මරණයට මුල්වූ සැබෑ හේතු යටපත්කරලීමට කොතරම් උත්සාහ දැරුවද එය ව්‍යර්ථවන්නේ ජනමාධ්‍ය මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටීම හේතුවෙනි.


වෙනුෂා සියදිවි හානිකර ගත්තේ පසුගිය 05 වෙනිදාය. ඇගේ මරණ පරීක්ෂණය සිදුකර මළ සිරුර දෙමාපියන්ට භාරදෙන්නේ 06 වෙනිදාය. අවසන් කටයුතු සිදුවන්නේ 07දාය. මේ කිසිදු දවසක ඇගේ මෘත දේහයට අවසන් ගෞරවය දැක්වීමට සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ සිසුන්ට ඉඩක් නොවීය. ඒ මළ ගෙදරට යාම තහනම් කර තිබුණු බැවිනි.


මේ සියලු කාරණා හමුවේ වෙනුෂාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා ඇගේ දෙමාපියන්, සහෝදරිය සහ ඥාතීන් ඉකුත් 10 වෙනිදා කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්ද ආරම්භ කළෝය. 


ඒත් සමගම විදුහල්පතිවරයාට හිතවත් පිරිසක් ද පාසල ඉදිරිපිට රැස්වී විදුහල්පතිවරයා රැකගැනීමට උද්ඝෝෂණයකද නිරතවන්නට පටන් ගත්තේය. 

එම උද්ඝෝෂණය නතර කර දැමූ ‍පොලීසිය මාරාන්තික උපවාසය නතරකරලීමට සහය පතන්නේ කුරුණෑගල අධිකරණයට ගොස් නියෝගයක් ඉල්ලමිනි. එහිදී කුරුණෑගල මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න ‍පොලීසියේ එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් සඳහන්කරනුයේ උපවාස කිරීම මූලික අයිතිවාසිකමක් බවය.

“කොතලාවල විදුහල කියන්නේ හොඳ උගත් බුද්ධිමත් පිරිසක් බිහිකළ ජනප්‍රිය පාසලක්. මෙවැනි සිදුවීම් නිසා විද්‍යාලයේ කීර්ති නාමය විනාශ වෙන්න දෙන්න බැහැ. උද්ඝෝෂණය කරන එක ‍ලේසියි. පාසල විනාශ කරන එක ‍ලේසියි. නමුත් පාසලක් ගොඩනගන්න අමාරුයි. ඒ ගැන දෙමාපියන් මෙයට වඩා සිතිය යුතුයි. 


මේ දරුවාගේ මරණයත් සමග වෙනත් අයගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න බැහැ. දරුවන් 4000ක් පමණ අධ්‍යාපනය ලබන විදුහල ආරක්ෂාකර ගැනීම මගේ යුතුකමයි” වෙනුෂාගේ මරණයත් සමග ඇතිවී තිබෙන මේ තත්ත්වය ගැන දයාසිරි ජයසේකර මහ ඇමැතිවරයාට කියන්නට ඇත්තේ එවැනි කතාවකි.

“මතෛක් ‍පොලීසිය ඒ ගැන කරල තියෙන විමර්ශනවලින් පෙනී ගිහින් තියෙන ආකාරයට අනුව ඔය කියන ළමයගේ ෆේස් බුක් එකේ කිසිම නරක දෙයක් තිබිල නැහැ. බොහෝ කාලයකින් එම ෆේස් බුක් පිටුව ඇය යාවත්කාලීන කරලත් නැහැ. 


ඒ තත්ත්වය මත ඒ ළමයගෙ ෆේස් බුක් පිටුවේ, පාසල් නිල ඇඳුමින්, පාසලට අගෞරවයක් වන කිසිවක් තිබ්බ කියල අනාවරණය වන්නේ නැහැ.” මතෛක් කර ඇති ‍පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය ගැන ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ පවසන්නේ එසේය.

දැනට කෙරෙන විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව සිදුවී තිබෙන්නේ ව්‍යාජ ෆේස් බුක් පිටුවක් හෝ ඡායාරූපයක් විදුහල්පතිවරයාට යම් අයෙකු විසින් යොමු කිරීමක් යයි සැක කෙරේ. 


විදුහල්පතිවරයා සිසුවියට දොස් නගා ඇයට පහත් වචනවලින් පරිභව කර ඇතැයි පැවසෙන්නේ එම ව්‍යාජ තොරතුරුවලට අනුවය. ඒ ගැන පරීක්ෂණයක් සිදුවන බව අජිත් රෝහණ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

“ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තියට අනුව සිය පණ හානිකර ගැනීමට අනුබල දීම වරදක්. මරණීය දණ්ඩනයෙන් පවා ඊට දඬුවම් ලබාදීමේ හැකියාව පවතිනවා. හැබැයි ඇයට සියදිවි හානිකර ගැනීමට විදුහල්පතිවරයා අනුබල දී ඇති බවක් විමර්ශනවලින් පේන්න නැහැ. බැණීම හේතුවෙන් ඇය සියදිවි හානිකරගත්තා යැයි කීම සිය පණ හානිකර ගැනීමට අනුබල දීමක් කියන්න බැහැ. 


නමුත් බැණපු එකේ ප්‍රතිඵලයක් හැටියට සියදිවි හානිකර ගැනීම සිදුවුණා නම් ඇගේ දෙමාපියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවක් දාන්න පුළුවන්, දුවගේ ජීවිතය නැති වුණේ මේ හේතුව නිසා කියල” අජිත් රෝහණ පවතින නීතිමය තත්ත්වය පැහැදිලිකරනුයේ එසේය.

- ගයාන් කුමාර වීරසිංහ
 
Related Posts with Thumbnails