Ads 468x60px

.

පාසලේ ප්‍රශ්න විසඳීමට විදුහල්පති පොලිසිය ගේනවා - ගම්පහ බණ්‌ඩාරේ යකා නැටූ හැටි


ගුරුවරුන් කීප දෙනක් 
ශිෂ්‍යයන්ට වැරදි 
අවබෝධයක්‌ දීලා

ගම්පහ බණ්‌ඩාරනායක මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉවත්කරන ලෙස ඉල්ලමින් එහි ශිෂ්‍යයන් පිරිසක්‌ ඊයේ (03 වැනිදා) පෙරවරුවේ කලහ කාරී ලෙස හැසිරෙමින් උද්ඝෝෂණයක නිරතවීම නිසා විදුහලේ අධ්‍යාපන කටයුතු කරගත නොහැකිව දින නියමයක්‌ නැතිව විදුහල වසා දමා තිබෙනවා.

කලහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන් විදුහල් භූමියේ සිට ඉන් පිටත සිටි පොලිස්‌ නිලධාරීන්ට, ආදි ශිෂ්‍යයන්ට, දෙමාපියන්ට සහ මාධ්‍යවේදීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් ඉතාම අවිනීත අන්දමට හැසිරීම නිසා එම ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක්‌ උද්ගත විය.

මේ අතර මෙම කලහකාරී ශිෂ්‍යයන්ගේ පහරකෑමට ලක්‌වූ පාසලේම තවත් ශිෂ්‍ය පිරිසක්‌ සුළු තුවාල ලබා තිබේ. බණ්‌ඩාරනායක විදුහලේ විදුහල්පතිවරයා ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා පොලිසිය හවුල් කර

ගන්නා බව කියමින් ඊට විරෝධය පළකිරීම සඳහා තමන් මෙම උද්ඝෝෂණය ආරම්භ කළ බව ශිෂ්‍යයෝ පවසති.

එහෙත් පොලිසිය පවසන්නේ විදුහලේ ශිෂ්‍ය භට කණ්‌ඩායම භාර ගුරුවරයා ශිෂ්‍යයකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමේ කටයුතු පොලිසිය වෙත යොමු කිරීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

ඉකුත් 27 වැනිදා සිට බණ්‌ඩාරනායක විදුහලේ මෙම කලබලකාරී තත්ත්වය පැවැති අතර 28 වැනි සිකුරාදා වනවිට එය සමථයකට පත්වී තිබිණි. එහෙත් ඊයේ පෙරවරුවේ විදුහල ආරම්භ කළ අවස්‌ථාවේ නැවතත් ශිෂ්‍ය පිරිසක්‌ කලහකාරී ලෙස විද්‍යාල භූමිය තුළ ඉතාම අවිනීත ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇත.

එම ශිෂ්‍යයන් පාසලේ අධ්‍යාපන කටයුතුවල නිරතවී සිටි ශිෂ්‍යයන්ද බලහත්කාරයෙන් මෙම උද්ඝෝෂණයට සම්බන්ධකර ගෙන තිබේ. පොලිසිය පවසන්නේ බණ්‌ඩාරනායක විද්‍යාලයේ ගුරුවරුන් කීප දෙනකු මෙම ශිෂ්‍යයන්ට වැරදි අවබෝධයක්‌ ලබාදී ඔවුන් උද්ඝෝෂණ සඳහා පොලඹවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බණ්‌ඩාරනායක මහා විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා කියා සිටියේ තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන්පත්කර ගැනීම සඳහා ගුරුවරුන් කීප දෙනකු අහිංසක ශිෂ්‍යයන් යොදා ගන්නා බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දිසානායක මහතා මෙසේ ද කියා සිටියේය. විදුහලේ ශිෂ්‍යභට කණ්‌ඩායම භාර ගුරුවරයෙක්‌ පාසලේ ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහරදී තිබුණා. පහරකෑමට ලක්‌වූ දරුවත් මේ පාසලේම ආදි ශිෂ්‍යයෙක්‌ගේ දරුවෙක්‌.

මේ ප්‍රශ්නය මම මැදිහත්වෙලා විසඳුවා. අන්තිමේදී අර ගුරුවරයා නැවතත් ශිෂ්‍යයන්ට තර්ජනය කර තිබුණා ශිෂ්‍ය භට කණ්‌ඩායම දාලා උඹට හොඳටම ගහනවා කියලා.

අන්තිමේදී ඒ දරුවගෙ දෙමාපියෝ පොලිසියට පැමිණිලි කළා. ඒ දෙමවුපියන්ට අයිතියක්‌ තියෙනවා ඒ වගේ පියවරක්‌ ගන්න. එතනදි මට කරන්න කිසිම දෙයක්‌ නැහැ. මම මේ ප්‍රශ්නයට මැදිහත් වුණේ නැහැ කියලා අන්තිමේදී උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා යෑයි විදුහල්පති ලාල් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

බණ්‌ඩාරනායක විදුහලේ ඊයේ කලබලකාරී තත්ත්වයක්‌ උද්ගතවූ බවට තොරතුරු ලැබුණු වහාම ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි විජිත කොමසාරු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ එහි ගොස්‌ ඇතිවී තිබෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබිණි.

මේ අතර කලහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන් පිරිසක්‌ මෙම සිද්ධිය ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට පවා ඉතාම පහත් ලෙස බැණවැදී පහර දීම නිසා තවත් උණුසුම් තත්ත්වයක්‌ උද්ගත විය.

 
Related Posts with Thumbnails