Ads 468x60px

.

Facebook මාරකයක්ද..? තරුණ සිසු සිසුවියෝ මෙසේ කියයි

වැරැද්ද Facebook නොවෙයි. පරිහරණය නොදන්නාකමයි
- මෙත්සරණි ලොකුගේ 
කොළඹ දේවි බාලිකා විද්‍යාලය

Facebook මුල්කරගෙන පාසල් ශිෂ්‍යාවන් තිදෙනෙකු මිය යෑම ඉතා කනගාටුදායක සිද්ධියක්. ඒත් ඒ දේවල් සිද්ධ වුණේ Facebook වල වැරැද්දෙන් නමෛයි. 

එය පරිහරණය කිරීමට නොදන්නා කමින් . Facebook කියන මාධ්‍යය හොඳ දෙයක්. Facebookමාධ්‍යය හරහා මිත්‍රත්වය, විනෝදය, දැනුම, අලෙවිකරණය, තොරතුරු ලබාගැනීම වැනි ගොඩක් කාර්යයන් සිද්ධ වෙනවා. අපි ෆේස් බුක්වලින් ලබා  ගත යුත්තේ හොඳ දේවල්. අපි මෙය හොඳ විදිහට භාවිත කළ යුතුයි.

ඕනෑම දෙයක හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තිබෙනවා. ඒ නිසා ඒ ගැන දැනුවත් වීම ඉතා වැදගත්. අද පුවත්පත් වලින්, රූපවාහිනි වැනි

මාධ්‍යවලින් ෆේස්බුක් භාවිත කළ යුතු ආකාරය ගැන, අන්තර්ජාලය පාවිච්චි කළ යුතු ආකාරය  ගැන කියලා දෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. 

ඒවා අධ්‍යයනය  කරලා ෆේස්බුක් පාවිච්චි කරනවා නම් ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. පෞද්ගලික විස්තර හැමෝටම බලන්නට බැරි විදිහට සැකසුම් සකස් කරගන්න පුළුවන්. තමුන් දන්නා කියන පිරිසක් එක්ක විතරක් ගනුදෙනු  කරන්න පුළුවන්. හැමෝටම ප්‍රදර්ශනය නොවන ආකාරයට ඡායාරූප යොදන්න පුළුවන්. 

ඒ විදිහට ෆේස්බුක් පාවිච්චි කරනවා නම් මේ වගේ දුක් මුසු සිදුවීම්  අපට අහන්නට දකින්නට ලැබෙන්නේ නැහැ. නොදන්නා අය සමග ගනුදෙනු කරද්දී ප්‍රවේශමෙන්, බුද්ධිමත්ව කටයුතු කරන්න අපි දැනගන්න ඕනෑ. නොදන්නා අයව 100 ක් විශ්වාස කරගෙන රැවටීම ෆේස්බුක් එකේ වරදක් නොවෙයි. ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටමේ වරදක්.

ෆේස්බුක් පාවිච්චි කරන්න තරම්
තවම අපි මුහුකුරා ගිහින් නැහැ

ජී.ජී.ආර්. දුෂ්මන්ති කුමාරි මාත‍ලේ ලෑලිඅඹේ මහ විදුහල

මම පරිගණකය පාවිච්චි කරන අ.‍පො.ස. උසස් පෙළ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්. මට නිවසේ පරිගණකයක් තිබෙනවා. මම එය භාවිත කරමින් අන්තර්ජාලයෙන් තොරතුරු ලබාගන්නවා. මම ඊ-මේල් යවනවා. හැබැයි මම ෆේස්බුක් ගිණුමක් නම් පාවිච්චි කරන්නේ නැහැ. 


ඒකට හේතුව මට ෆේස්බුක් අවශ්‍ය නැති නිසා. මම ගමේ පාස‍ලේ අධ්‍යාපනය ලබන කෙනෙක්. මට ඉන්න යාළුවෝ උදේ හවස මුණ ගැහෙනවා. මට අමුතුවෙන් ඒ අය එක්ක චැට් කරන්න අවශ්‍ය නැහැ.

අනික මම පාසල් ශිෂ්‍යාවක් නිසා මට යම් යම් සීමාවන්ට යටත්ව කටයුතු කරන්න  වෙනවා. අපි දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ උපදෙස්  හා අවවාද අනුශාසනාවලට යටත්ව කටයුතු  කරන වයසේ ඉන්නේ. ඒ නිසා මම හිතනවා මට තවමත් ෆේස්බුක් භාවිතය සුදුසු මදි කියලා.

මම ෆේස්බුක් පාවිච්චි නොකළාට අපේ යාළුවෝ බහුතරයක් ෆේස්බුක්වල ඉන්නවා. හැබැයි ඒ අය එය පාවිච්චි කරන්නේ විනෝදාස්වාදයට මිසක් දැනුමක් ලබාගන්න නමෛයි. ඒ අය කියන්නේ ෆේස්බුක් නිසා ලෝකය වටා ඉන්න යාළුවෝ දැනහඳුනාගන්න පුළුවනි. 


අලුත් සම්බන්ධකම් ගොඩනගා ගන්න පුළුවනි කියලා. අනික ඒ අය ෆේස්බුක්වල ඉන්නේ දෙමව්පියන්ට හොරෙන්. දෙමව්පියන් දැනුවත්ව කරනවා නම් ඒත් කමක් නැහැ.

හැබැයි මම කවදාවත් ෆේස් බුක් නරක දෙයක් කියලා හඳුන්වන්නේ නැහැ. ෆේස් බුක් නිසා හොඳ සම්බන්ධතා ඇති වෙන්න පුළුවනි. ෆේස් බුක් නිසා දැනුමක් ලබා ගන්න පුළුවනි. ඒ වගේම සමාජ මෙහෙවරක් කරන්න පුළුවන්. ඒ නිසා මම ෆේස්බුක් නරකයි කියන්නේ නැහැ. මගේ අදහස තමයි ෆේස්බුක් පාවිච්චි කරන්න තරම් අපි මුහුකුරා නැති බව.

පිහියෙන් පලතුරු කපන්නත් පුළුවන්. ඇනගෙන මැරෙන්නත් පුළුවන්.
තුලාන් දිල්ෂාන් විද්‍යා පීඨය - කැලණිය විශ්වවිද්‍යාලය

ෆේස්බුක් විතරක් නොවෙයි, ලෝකයේ ඕනෑම දෙයක් ගත්තොත් දෙපැත්තක් තිබෙනවා. ඒ නියමයට අනුව ෆේස්බුක්වලත් හොඳ සහ නරක දෙකම තිබෙනවා.  අපි දැන ගන්න ඕනෑ නරක බැහැර කරලා හොඳ විතරක් ගන්න. ෆේස්බුක් තොරතුරු හුවමාරු කරගැනීමට භාවිත කළ හැකි මාධ්‍යයක් හැටියටයි මම නම් දකින්නේ. මේ මාධ්‍ය පහසුයි වගේම වියදමත් අඩුයි.


හැබැයි අපි දැනගන්න ඕනෑ අපේ සීමාව කොතැනද තියා ගන්න ඕනෑ කියලා. අපි හිතමු  අපි යාළුවෝ එක්ක විනෝද ගමනක් ගියා කියලා. ඒ විනෝද ගමනේ ඡායාරූප අපි ෆේස්බුක්වලට දාපුවාම අපේ යාළුවෝ කට්ටියටම බලාගන්න පුළුවනි.  හැබැයි ඒ ඡායාරූප මුළු ලෝකයටම බලා ගැනීමට අවශ්‍යයි කියලා මම නම් හිතන්නේ නැහැ.


පසුගියදා අපට අසන්නට ලැබුණු ශෝචනීය සිදුවීම්වලට හේතුව ෆේස්බුක්වල තිබෙන වැරැද්ද නිසා නොවෙයි. එය බුද්ධිමත්ව කල්පනාකාරීව පරිහරණය නොකිරීමයි. ඒ3 ගත්තු ළමයි , විද්වතුන් වගේ අය ෆේස්බුක්වල කොයි තරම් සිටිනවාද?


මෙය ෆේස්බුක්වලට විතරක් ‍පොදු  දෙයක් නමෛයි. ඕනෑම දෙයක් නිසා මෙවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. පාන් එලවළු වගේ දේවල් කපන්න තිබෙන පිහියෙන් ඇන ගත්තොත් මැරෙන්න පුළුවනි. ඒත් එතන වැරැද්ද පිහියේ නමෛයිනේ. 


එය වැරදි විදිහට පාවිච්චි කිරීම. ෆේස්බුක් වුණත්  එහෙම තමයි. නොදන්නා කමින් වැරදි විදිහට පාවිච්චි කිරීමෙන් මරණ සිද්ධ වෙන්න පුළුවනි. ඒත් ඒකේ වැරැද්ද ෆේස්බුක් එකේ නොවෙයි. 

ඒ නිසා සිදුකළ යුතු වන්නේ ෆේස්බුක් තහනම් කිරීම නමෛයි. ෆේස්බුක් බුද්ධිමත්ව පරිශීලනය කළ යුතු ආකාරය ගැන සමාජය දැනුවත් කරලා ඒ ගැන සමාජයට හොඳ අවබෝධයක් ලබාදීම බවයි මගේ අදහස.

පාසල් ළමුන්ට ෆේස් බුක් නැතිවට කමක් නෑ
චමීර දෙද්දුවගේ පරිගණක මෘදුකාංග ඉංජිනේරු

යුගයෙන් යුගයට තාක්ෂණය වෙනස් වෙනවා. ෆේස්බුක් කියන්නෙත් සන්නිවේදන තාක්ෂණයේ ඉදිරි ගමනක ප්‍රතිඵලයක්. තොරතුරු හුවමාරුව සඳහා ඉස්සර කා‍ලේ ලියුම් යොදා ගත්තා. ඊට පස්සේ දුරකථනය යොදා ගත්තා. ඊට පස්සේ විද්‍යුත් තැපෑල හෙවත් ඊ මේල් පරිහරණය කළා. අද වන විට එය ෆේස්බුක් සඳහා වර්ධනය වී තිබෙනවා.


තව ටික  කාලයක් ගියාම ෆේස්බුක් වෙනුවට තවත් සන්නිවේදන මාධ්‍යයක් පැමිණේවි. ඒක තමයි ස්වභාවය .ඒකට තාක්ෂණයට බැනලා  වැඩක් නැහැ. අද ගොඩාක් දෙනාට තාක්ෂණය අලුත් නිසා තාක්ෂණය ගැන දැනුමක් නැහැ. ඒකයි මෙතන තිබෙන වැරැද්ද.

ෆේස්බුක් කියන්නේ හොඳ තාක්ෂණයක් පිටරට ඉන්න අය එක්කලා, දුර බැහැර ඉන්න අය එක්කලා සම්බන්ධතා පවත්වන්න පුළුවනි. ඒ වගේම ෆේස්බුක් හරහා මොන තරම් සමාජ සත්කාර සිද්ධ වෙනවාද? 


දැනුම මිනුම ශ්‍රී කියලා කණ්ඩායමක් තිබෙනවා. ඒ අය දුෂ්කර පළාත්වල පාසල්වලට පානීය ජල ෆිල්ටර් ලබා දුන්නා. දේදුන්න කියලා ෆේස්බුක් කණ්ඩායමක්  තිබෙනවා. ඒ අය සෑම මාසයකම දුෂ්කර පළාතක කුමක් හෝ අවශ්‍යතාවක් සම්පූර්ණ කර දෙනවා.  

ඒ කියන්නේ වැසිකිළි සෑදීම , ජල අවශ්‍යතා සපුරාලීම වැනි ප්‍රජා සේවාවක් සිදු කරනවා. ෆේස්බුක් නිසා සිද්ධ වෙන ඒ සේවාවන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. සිය දිවි හානි කර ගත්තොත් නම් කතා කරනවා.

ෆේස්බුක්වල සාරභූමි කියලා කණ්ඩායමක් තිබෙනවා. එහි එකතු වී සිටින්නේ වවන්න කැමති අය. ඒ හරහා කට්ටියට වගාවන් ගැන දැනගන්න පුළුවනි. තව සිංහල වියරණ හුරුව කියලා කණ්ඩායමක් ඉන්නවා. ව්‍යාකරණ ගැන ඒ අයගෙන් දැනගන්න පුළුවනි. 


අම්බලම කියන කණ්ඩායම හරවත් සංවාද පවත්වනවා. මේ විදියට සාකච්ඡා සංවාද මණ්ඩප හැටියට ෆේස් බුක් පාවිච්චි කරනවා. ඒත් ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.

හැබැයි අද අපේ රටේ බහුතරයක් ෆේස්බුක් යොදාගෙන තිබෙන්නේ ආදරය කරන්න විතරයි. අපේ හුඟක් දෙනා වැරදි තැනින් අල්ලලා තිබෙන්නේ. ඒ නිසයි සිය දිවි හානි කරගැනීම් දක්වා දුරදිග ගිහින් තියෙන්නේ. කොහොම වුණත් පාසල් යන ළමයින් ෆේස්බුක් පාවිච්චි කිරීම ගැන එකඟ  වෙන්න අමාරුයි. 


අද පාසල් ළමයි හැදිලා  තියෙන්නේ තමුන්ගේ ප්‍රවේශම තමාටම සලසා ගන්න බැරි විදිහට. ගෙදරින් වෑන් එකට නැගලා  ඉස්කෝ‍ලේ ළඟින් බහිනවා. ආයේ ඒ විදිහට ගෙදරට එනවා. තමුන්ට තමාගේ ආරක්ෂාව ගැන හිතන්න ඔළුවක් නැති ළමයි කොහොමද ෆේස්බුක්වලදි පරිස්සම්  වෙන්නේ. 

ඒ නිසා තමයි මම කිව්වේ පාසල් ළමුන් ෆේස්බුක්වලට සම්බන්ධ වීම අනුමත කළ  නොහැකි බව. ඒ අය ෆේස්බුක් පාවිච්චි කරන්න තරම් පරිණත නැති බවයි මගේ  අදහස.

හැබැයි ඒකේ වැරැද්ද ෆේස්බුක්වල නමෛයි. එහෙම නම් පත්තරවල මංගල යෝජනා තීර නිසා රැවටුණු  අය, අමාරුවේ වැටුණු අය නැද්ද? හොර අයිඩෙන්ටි කාඩ්, පාස්‍පෝට් හැදුවෙ නැද්ද? 


එහෙම වුණා කියලා මංගල යෝජනා තීර හෝ  අයිඩෙන්ටි කාඩ් වැරදිකරුවන් වෙන්නේ නැහැනේ. කෘමිනාශක බිලා මැරුණා කිය ලා කෘමිනාශක තහනම් කරන්නේ නැහැනේ. ඒ නිසා ෆේස්බුක්වලට වරද පැටවීම හෝ තහනම් කිරීම වැරදියි.

- හර්ෂා සුගතදාස
 
Related Posts with Thumbnails