Ads 468x60px

.

විදුහලේ දේපළ වනසා දමමින් මහා විනාශයක්‌ කළ ශිෂ්‍ය භට කණ්‌ඩායම වසර පහකට තහනම්


සිසුන් 49 ක්‌  
සී. සී. ටී. වී  
කැමරාවේ

ගම්පහ බණ්‌ඩාරනායක මහා විද්‍යාලයේ විදුහල්පති මාරු කර යවන ලෙස උද්ඝෝෂණ කරමින් විද්‍යාලයේ දේපළ විනාශ කර මාධ්‍යවේදීන්ට, ශිෂ්‍යයන්ට, දෙමවුපියන්ට පහර දෙමින් කළහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන් 49 දෙනකු අද හෙටම අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. 

මේ අතර බණ්‌ඩාරනායක විද්‍යාලයේ ගුරුවරු හයදෙනෙක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසල් වෙත මාරු කර යවා තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ
විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්‌ඩායමද වසර 5 ක්‌ යනතුරු තහනම් කිරීමය. මාරුව ලැබූ ගුරුවරුන් 6 දෙනා අතර ශිෂ්‍ය භට කණ්‌ඩායම භාරව කටයුතු කළ ගුරුවරු දෙදෙනක්‌ද වෙනවා.

මෙම කලබලකාරී තත්ත්වය ඇති කිරීමට මුල්වී ඇත්තේ ද මෙම ශිෂ්‍යයන්ම බව පොලිසිය පවසයි. මේ අතර පාසල් ශිෂ්‍යයන් නොමඟ

යවමින් ඔවුන් කලබලකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට පෙලඹවූ පුද්ගලයන් කීපදෙනෙක්‌ පිළිබඳව ද පොලිසිය සොයා බලාගෙන යයි. 

ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් ඉතාම අවිනීත ආකාරයට හැසිරුණු ශිෂ්‍යයන් වීඩියෝ පටවල සටහන්ව ඇති අතර ඔවුන් සියලු දෙනා මේ වන විට හඳුනාගෙන සිටින බව ද පොලිසිය කියා සිටියි. කලහකාරී ශිෂ්‍යයන්ගේ ප්‍රහාරයට ලක්‌ වූ මාධ්‍යවේදීන් දෙදෙනෙක්‌ සහ ශිෂ්‍යයෙක්‌ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ අතර මෙම ශිෂ්‍යයන් විදුහලේ සී. සී. ටී. වී. කැමරා පද්ධතියට පහර දී විනාශ කර ඇති අතර විදුහලේ දේපළ රැසකටම හානි කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බස්‌නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න මහතා කියා සිටියේ පාසල්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට මේ ආකාරයට අවිනීත ලෙස හැසිරීමට ඉඩ ලබාදීම ඉතාම භයානක තත්ත්වයක්‌ විය හැකි බවයි.

කලහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළොත් එය නරක පූර්වාදර්ශයක්‌ විය හැකි බව ද නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කියා සිටියි.

එබැවින් මෙම කලබලකාරී තත්ත්වය ඇති කිරීමට මුල් වූ ශිෂ්‍යයන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළයුතු බව ද හෙතෙම කියා සිටියේය.

දින නියමයක්‌ නොමැතිව වසා දැමූ ගම්පහ බණ්‌ඩාරනායක මහා විද්‍යාලය ලබන 10 වැනිදා නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව විද්‍යාලයෙන් ලැබෙන ආරංචි මාර්ග කියා සිටියි.

මේ අතර විද්‍යාලයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඊට විසඳුම් ලබාගැනීම සඳහා වර්තමාන ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් සහ ආදි ශිෂ්‍යයන්ගේ හමුවක්‌ හෙට (06 වැනිදා) පැවැත්වීමට ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කර ඇත.

මෙම විශේෂ හමුව සඳහා නොවරදවාම සහභාගි වන ලෙස දෙමවුපියන්ගෙන් සහ ආදි ශිෂ්‍යයන්ගෙන් ආදි ශිෂ්‍ය සංගමය ඉල්ලා සිටියි.
 
Related Posts with Thumbnails