Ads 468x60px

.

ආහාර කල්තබා ගැනීමට ඒවාට වස විස එක්‌ කරන කාලකන්නි වෙළෙන්දෝ

සිංහල අලුත් අවුරුද්දට ඇඳුමක්‌ කැඩුමක්‌ ගන්නට, බඩුවක්‌ මුට්‌ටුවක්‌ ගන්නට ජනතාව තුළ තිබෙන උනන්දුව ඉතා ස්‌වාභාවිකය. 

අතේ මිටේ යමක්‌ වැඩිපුර නැතත් අවුරුද්ද වෙනුවෙන් ණය තුරුස්‌ වී හෝ සතුටු වීම අප වැඩි දෙනාගේ සිරිතය. එහි කිසිදු වරදක්‌ ද නැත.

 දවස්‌ තුන්සිය හැටපහකට වරක්‌ එළඹෙන මේ දවස සිංහල බෞද්ධයන්ට මෙන්ම දෙමළ හින්දුන්ට ද මඟහැර යා නොහැකි සංස්‌කෘතික උළෙලක්‌ බවට පත්ව තිබේ. මේ වටිනා දවසේත් පාරිභෝගිකයා ගසාකන වෙළෙන්දො කොපමණ සිටිත්ද? වෙළෙඳාම යනු ලාභයම මුල් කරගත් ජාවාරමක්‌ ලෙස සිතන පුද්ගලයන් ද වෙළෙඳ සමාජය තුළ ඕනෑ තරම් සිටිති. 

අයුතු ලාභ ලබන, පාරිභෝගිකයන්ට කුණු ජරාව ගිල්ලවන, හොරට කිරන, සාක්‌කුවට සහ මුදල් පසුම්බියට විදින ඒ වර්ගයේ වෙළෙන්දන්
ගැන මෙන්ම ඔවුන්ගේ වෙළෙඳ ගැට හෙවත් ගුණ්‌ඩු ගැන මොන තරම් දැනුවත් වුව ද, පාරිභෝගිකයෝ බොහෝ විට ඒවායේ ගොදුරු බවට පත් වන්නෝ ය.

පසුගියදා මාධ්‍ය කීපයකම වාර්තා කර තිබුණේ වැසිකිළියක්‌ ආසන්නයේ එළවළු හා පලතුරු තොග ගබඩා කර තිබුණු නාසයක්‌ නැති වෙළෙන්දකු ගැන ය. මොහුට නාසයක්‌ නැතැයි අප ලීවේ පෞද්ගලිකව ඔහු ගැන දන්නා නිසා නොව ඔහු කළ වැඩය අනුව අප තුළ ඇති වූ අනුමානයක්‌ නිසා ය. නාසයක්‌ තිබෙන මිනිසකුට වැසිකිළියක්‌ අසල එබඳු ආහාර පාන ගබඩා කර තැබිය හැකිද?

ආහාර ද්‍රව්‍ය, පලතුරු වර්ග මෙන්ම මස්‌ මාළු පිළිබඳව ද අපට වැඩිපුරම ලැබෙන්නේ ද ඉතා නරක වාර්තා ය. මස්‌, මාළු, කරවල වැනි ආහාර කල්තබා ගැනීමට ඒවාට වස විස එක්‌ කරන කාලකන්නි වෙළෙන්දෝ ද හැම නගරයකම සිටිති.

පාරිභෝගික සේවා අධිකාරිය නොනිදා සිටියොත් මේ තක්‌කඩි වෙළෙන්දන් එකෙක්‌ දෙන්නෙක්‌ අල්ලා ගත හැකි ය. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් කොපමණ සිටියත් බොහෝ තැන්වල ජනතාවට ගිල්ලවනු ලබන්නේ නරක්‌ වූ ද ආහාරයට නුසුදුසු වූ ද දේවල් බව කිව යුතුය. 'ටේක්‌එවේ' වලින් ආහාර ගෙන රෝහල්ගත වන අය ගැන ද වාර්තා වේ.

මේ තතු යටතේ අවුරුදු සමයේදී කෙබඳු ගසාකෑම් ජාවාරම් සිදු විය හැකි ද? අවුරුද්දට සාප්පු යන අය මෙන්ම පදික වේදිකාවට ගොස්‌ ලාබ බඩු සොයන අය ද සිටිති. කලකට පෙර එලෙස පදික වේදිකාවට ගොස්‌ කමීසයක්‌ මිලට ගත් පාරිභෝගිකයෙක්‌ පිළිබඳව අප ඇසූ හිනා කතාවක්‌ ද තිබේ.

පදික වේදිකාවල අවුරුදු සමයට ඇඳුම්, පැළඳුම්, පාවහන් මෙන්ම නොයෙක්‌ ආරිච්චි, බෝරිච්චි හා මාල වළලු ද පිරී තිබේ. මෙබඳු එක්‌තරා තැනක සෙනග තෙරපෙමින් සිටියහ. තුන්කාසෙන්ම දාඩිය දමාගත් කටකාර වෙළෙන්දා මේ ගාණට පිට නෑ යි කියමින් කමිස අලෙවි කරමින් සිටියේය. ඒ දුටු අයෙක්‌ ඉතා අඩු මිලට කමිසයක්‌ ලබාගෙන හවස දුම්රියෙන් ගෙදර ගියේ ය.

ගෙදර ගිය ඔහු නිකමට මෙන් කමිසය දිගහැර බැලුවේය. ඔහුට තරු පෙනුණේ එවිට ය. ඒ කමිසයේ පිටෙන් කෑල්ලක්‌ නැති බව ඔහුට පෙනුණි. වෙළෙන්දා කී කතාව ඇත්ත නේන්නම් යෑයි ගෙදර සිටි අනෙක්‌ අය කීහ. ඔහු ලැඡ්ජාව ඉවසා ගත්තේ දත්මිටි කමින් ය.

මේ වර්ගයේ වෙළෙඳ ගැට පදික වේදිකාවල තිබිය හැකි ය. මහා පරිමාණයෙන් සේල් දාන වෙළෙඳ ආයතනවලින් ද එබඳු ලණු දෙන අවස්‌ථා තිබිය හැකි ය. එනිසා වෙළෙඳපොළට යන ඔබ ඇස මෙන්ම හිස ද පාවිච්චි කිරීම වැදගත් බව අපට යෝජනා කළ හැකි ය.

පාරිභෝගිකයන් බේරා ගැනීමට මොන ආකාරයේ සේවාවන් තිබුණත් වෙළෙන්දෝ ඒවායින් රිංගා ජනතාව ගසා කති. ලහි ලහියේ වෙළෙඳ පොළට එන කාට වුවත් බොහෝ විට සිදුවන්නේ ලාභයට වඩා පාඩු ය.


ලැබෙන්නේ හොඳ බඩු වලට වඩා කුණු වූ ජරාවල් ය. අපේ ජොන්ස්‌ටන් ඇමැතිතුමා මොන ජල්තරස්‌ දැම්මත් මේ වෙළෙඳ මාෆියාව මඬින්න බැරි ය. එසේ වුවත් මේ අවුරුදු සමය තුළ පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ වෙළෙඳ මෙහෙයුමක්‌ අරඹන ලෙස අපි ඉල්ලා සිටිමු. 

එසේ නැතහොත් පාරිභෝගිකයන් ගසා කන වෙළෙන්දන්ගේ කරල පැහී ජනතාවගේ අවුරුද්දම සවුත්තු වනු ඇත.
 
Related Posts with Thumbnails