Ads 468x60px

.

නියෝජ්‍ය ඇමැති රියදුරාට දඩ කොළයක්‌ දුන්නාට පොලිස්‌ නිලධාරියාට පහරදී රියටත් ගිනි තබලා!

දක්‍ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ සේවය කරන පොලිස්‌ නිලධාරියකු ඉකුත් 30 වැනිදා රාත්‍රි රාජකාරියට පැමිණෙමින් සිටියදී ඔහු ගමන් කළ මෝටර් රථය පසුපස කැබ් රථයකින් හඹා ආ සන්නද්ධ පුද්ගලයන් සිව්දෙනකු පොලිස්‌ නිලධාරියාට අමානුෂික ලෙස පහර දී ඔහුගේ මෝටර් රථයද ගිනි තබා විනාශ කොට පලා ගොස්‌ තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

පහර කෑමට ලක්‌ වූ පොලිස්‌ කොස්‌තාපල් (8620) සුමින්ද සමන් නමැති මෙම නිලධාරියා මීට දින කිහිපයකට ඉහත දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරුදායක ලෙස රිය ධාවනය කළ රජයේ එක්‌තරා නියෝජ්‍ය ඇමැතිවරයකුගේ රියෑදුරකුට දඩ කොළයක්‌ නිකුත් කිරීමටද පියවර ගෙන තිබිණි.

පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස්‌ නිලධාරියා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර සිටින අතර සන්නද්ධ පිරිස සිදු කළ

ගිනි තැබීම නිසා ඔහුට අයත් කේ. එෆ්. 5948 දරන නැනෝ වර්ගයේ මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කොට්‌ටාව රථවාහන පොලිස්‌ ඒකකයේ රාජකාරියට පැමිණෙමින් සිටි පොලිස්‌ නිලධාරියා සිය මෝටර් රථය අතුරු මාර්ග ඔස්‌සේ ධාවනය කරමින් සිටියදී කැබ් රථයෙන් ඔහු ලුහුබැඳ ආ පිරිස කළුතර දොඩන්ගොඩ, බෝම්බුවල, අක්‌කරවිස්‌ස ප්‍රදේශයේදී මාර්ගය හරස්‌ කර මෝටර් රථය නවතා ඇත.

එහිදී මෝටර් රථයෙන් බැස ගත් පොලිස්‌ නිලධාරියා ප්‍රහාරයට පැමිණි පිරිසෙන් බේරීම සඳහා දිවගොස්‌ ඇති අතර ඒ අවස්‌ථාවේ ඔහු අල්ලාගත් මැර පිරිස පොලිස්‌ නිලධාරියාට පහර දී මෝටර් රථයට ගිනි තබා ඇතැයි මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ පිවිසුමේදී තමන් නියෝජ්‍ය ඇමැති වරයකුට දඩ කොළයක්‌ නිකුත් කිරීමේ සිද්ධිය මුල්කරගෙන මෙම පහර දීම සිදු කරන්නට ඇතැයි මේ සම්බන්ධයෙන් පෙරේදා (31 දා) පොලිසියට ප්‍රකාශයක්‌ ලබා දෙමින් පහර කෑමට ලක්‌වූ පොලිස්‌ කොස්‌තාපල්වරයා සඳහන් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවලට අනුව දක්‍ෂිණ අධිවේගී මාර්ග පොලිස්‌ ඒකකයේ ස්‌ථානාධිපතිවරයා සහ දොඩන්ගොඩ පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලසන්ත බුද්ධික මහතා පෙරේදා (31 වැනිදා) පොලිස්‌ කොස්‌තාපල් සුමින්ද සමන් මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්හ.

දඩ කොළය නිකුත් කිරීමේ සිද්ධියේදී අදාළ නියෝජ්‍ය ඇමැතිවරයා පොලිස්‌ නිලධාරියාට තර්ජනාත්මකව බැණ වදින අයුරු දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සීසීටීවී කැමරාවලද සටහන් වී තිබිණි.

මෙහිදී නියෝජ්‍ය ඇමැතිවරයා තර්ජනාත්මකව කළ බැණ වැදීම පිළිබඳ පොලිස්‌ කොස්‌තාපල් සුමින්ද සමන් මහතා දක්‍ෂිණ අධිවේගී මාර්ග පොලිසියේ විශේෂ සටහන් පොතේ සටහනක්‌ද යොදා ඇතැයි පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කිරීම සඳහා පෙරේදා (31 දා) පෙරවරුව වන විට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ යෙදවූ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

එම පරීක්‍ෂණවලට අනුව 31 දා සවස්‌ වන විට සිද්ධිය වූ බෝම්බුවල ප්‍රදේශයේ පුද්ගලයන් දස දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබුණු අතර එහිදී මෝටර් රථය ගිනි ගන්නා අවස්‌ථාවේ වෙඩි හඬක්‌ද ඇසුණු බව ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත.
 
Related Posts with Thumbnails