Ads 468x60px

.

සත්ත්ව උද්‍යානයේ සුදු නයා අතුරුදන් වීමේ සුල මුල මෙන්න...

දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානය අපට ඇති ප්‍රධානතම ජාතික සත්ත්ව උද්‍යානයයි. එම නිසා රටේ ප්‍රෙෘඩත්වය ලෝකයාට විදහාපෑමට නම් අප එය ආරක්‍ෂාකර ගැනීම අනිවාර්ය යුතුකමකි. 

නමුත් මෑත කාලීනව දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ සිදුවුණු සමහර සිද්ධීන් නිසා එහි අනාගතය ගැන අපැහැදිලි බවක්‌ ජනතාවගේ සිත් තුළ සනිටුහන්වී හමාරය. මෙයට තවත් කදිම උදාහරණයක්‌ වශයෙන් සඳහන් කළ හැක්‌කේ පසුගියදා දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ සිට අතුරුදන්වී නැවත හමුවූ ඉතා දුර්ලභ සුදු නාගයාගේ සිද්ධියයි.

එම සිද්ධිය සැකෙවින් මෙසේය. පසුගිය 15 වැනිදා උදෑසන සුපුරුදු පරිදි සත්ත්ව උද්‍යානයේ කුටි පරීක්‍ෂා කෙරුණි. එහිදී දැනගන්නට ලැබුණේ

ඉහත සඳහන් කළ සුදු නාගයා එම කුටියේ නොමැති බවයි. 

විශේෂිත ආරක්‍ෂිත කුටියක රඳවා සිටි මෙම සුදු නයාව එම කූඩුවෙන් ගෙන ඇත්තේ එහි යතුරෙන් අදාළ කුටියේ පිටුපස දොර විවෘත කිරීමෙනි. මෙම කුටියේ යතුර උරග උයනේ පාලකවරයා භාරයේ තිබී ඇත.

මහජන ප්‍රදර්ශනයට පවා නොතබමින් දැඩි රැකවල් මධ්‍යයේ රඳවා සිටි මෙම සුදු නාගයාගේ අතුරුදන්වීම දෙහිවල සත්ත්ව උද්‍යානයේ අධ්‍යක්‍ෂවරයා ඇතුළු පිරිසට මහත් ප්‍රහේලිකාවක්‌ විය. විශේෂිත ආරක්‍ෂාවක්‌ යටතේ සිටි මෙම සුදු නාගයා අතුරුදන්වීම පිළිබඳ අධ්‍යක්‍ෂවරයා එම උරග උයනභාර නිලධාරීන්ගෙන් හා එදින සේවය කළ සේවකයන්ගෙන්ද විමසුවේය. 


නමුත් එම නාගයාගේ අතුරුදන්වීම ගැන කිසිදු තොරතුරක්‌ දැනගන්නට නොලැබිණි. පසුව වහාම ක්‍රියාත්මක වූ සත්වොද්‍යානය භාර අධ්‍යක්‍ෂවරයා විසින් මෙම සුදු නාගයාගේ අතුරුදන්වීම පිළිබඳ දෙහිවල පොලිසියේ පැමිණිල්ලක්‌ දැමුවේය.

පසුව පරීක්‍ෂණ ආරම්භ කළ පොලිසිය සත්වෝද්‍යාන සේවකයන් කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කර තිබිණි. එහිදී තොරතුරු රාශියක්‌ එම පොලිස්‌ නිලධාරීන්ට අනාවරණය කර ගැනීමට හැකි විය.

එහිදී පොලිසියට අනාවරණය වූයේ සත්ත්ව රෝහලේ නිලධාරියකු විසින් මෙම සුදු නාගයා අතුරුදන්වීමට දෙසතියකට පෙර එම නාගයාගේ ඡායාරූප කිහිපයක්‌ ගෙන ඇති බවයි. 


එහිදී ඔහු සුදු නාගයාගේ පෙනය සිට මුළු ශරීරයම හොඳින් පෙනෙන ආකාරයට මෙම ඡායාරූප ලබාගෙන තිබේ. එම නිලධාරියා එලෙස ඡායාරූප ලබාගත්තේ කුමන පදනමක්‌ මතද යන්න තවම අනාවරණයවී නොමැත.

සත්ත්ව රෝහලේ එම නිලධාරියා සුදු නාගයාගේ ඡායාරූප ගැනීමට පෙර දිනක දෙහිවල සත්වෝද්‍යානයට එක්‌තරා පුද්ගලයකු සමඟ පැමිණ මෙම නාගයාව මිලට ගැනීමට පුළුවන්දැයි එම උරග උයනේ සේවකයකුගෙන් විමසා තිබේ.

එසේ මිලට ගන්න පුළුවන්නම් රුපියල් ලක්‍ෂ විස්‌සකට පමණ විකිණීමට හැකි බවද ඔහු සඳහන් කර තිබේ. පොලිසියට දැනගන්නට ලැබී ඇති තොරතුරු වලට අනුව එම සුදු නාගයාව විදේශික ජාතිකයකුහට විකිණීමට සැලසුමක්‌ද තිබී ඇත.

මෙම සුදු නාගයා අතුරුදන්වී ඇත්තේ පසුගිය 11 වැනි සිකුරාදා සිට 13 වැනි ඉරිදා යන දින කිහිපය ඇතුළතයි. මෙකී දිනවල සත්ත්ව රෝහලේ ඉහත සඳහන් නිලධාරියාද උරග උයන ප්‍රදේශයේ ගැවසෙමින් සිටි ඇති බවට වාර්තා වේ.

විශේෂිත ආරක්‍ෂිත කුටියක රඳවා සිටි මෙම සුදු නාගයා පැහැරගෙන ගොස්‌ ඇත්තේද එහි යතුරෙන් අදාළ කුටියේ පිටුපස දොර විවෘත කිරීම මගිනි. එදින එම කුටියේ යතුර උරග උයනේ පාලකවරයාගේ භාරයේ තිබී ඇත.


මෙම සුදු නාගයා ඇල්ලීමට හැකියාව ඇත්තේ උරගයන් ඇල්ලීම පිළිබඳ හොඳ දැනුමක්‌ ඇති අයෙකුට පමණක්‌ බවද පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. දෙහිවල සත්ත්ව උද්‍යාන අධ්‍යක්‍ෂවරයාද පවසා ඇත්තේ මෙම සුදු නාගයා ගේ අතුරුදන්වීමට උද්‍යානයේ කෙනකුගේ සම්බන්ධයක්‌ ඇති බවට තමන් සැක කරන බවයි. 

මේ කරුණු කාරණා සියල්ල දෙස අවධානය යොමු කිරීමේදී අපටද හැඟීයන්නේ මෙම සුදු නාගයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් එම සත්ත්ව උද්‍යානයේ කෙනකුගේ සම්බන්ධයෙක්‌ ඇති බවයි. 

මෙම සිද්ධිය සම්බන්ධයන් පරීක්‍ෂණ මෙසේ සිදුවෙද්දී අභිරහස්‌ ලෙස අතුරුදන්වූ සුදු නාගයාව පසුගිය 17 වැනිදා නැවත සත්වෝද්‍යාන භූමියට ගෙනවිත් දමා තිබියදී නැවත හමුවී තිබිණි.

සුදු නාගයා සොරාගෙන ගිය යම් පුද්ගලයකු හෝ පිරිසක්‌ විසින් එම නාගයාව නැවත උරගයන් ප්‍රවාහනය කිරීමට සත්වෝද්‍යානය විසින් භාවිතා කරන බෑගයක දමා 17 වැනිදා අලුයම් කාලයේදී සත්වෝද්‍යාන තාප්පයෙන් ඇතුළට විසි කරන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.


නැවත සත්වෝද්‍යානයට ගෙනත් දැමූ එම නාගයාගේ ශරීරයේ සුළු තුවාලයක්‌ පමණක්‌ තිබී ඇති අතර නාගයා හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවත් සත්වෝද්‍යාන උසස්‌ නිලධාරියකු පැවසීය.

ජාතික සත්ත්ව උද්‍යානයක්‌ තුළ මෙවැනි සොරකමක්‌ පිටස්‌තර පුද්ගලයකුට පැමිණ කිරීම ඉතාම අපහසු කටයුත්තකි. දැනට අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව සුදු නාගයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ නිලධාරීන් හෝ සේවකයන් කිහිපදෙනකු සම්බන්ධවී ඇත. 


මෙලෙස සොරාගත් සුදු නාගයා නැවතත් ගෙනවිත් දමා ඇත්තේද පොලිස්‌ පරීක්‍ෂණ සාර්ථකව සිදුවූ නිසාය. පරීක්‍ෂණ මෙතෙකින් අවසන් නොකර ඉදිරියටම සිදුකර නුදුරු දිනයකදී මෙම සිද්ධිය සම්බන්ධ සියලු දෙනා නීතියේ රැහැනට හසුකරගන්නා බවටද මෙම පරීක්‍ෂණ සිදුකළ දෙහිවල පොලිසියේ නිලධාරියකු පැවසීය.

පසුගිය කාල සීමාව තුළ දෙහිවල සත්වෝද්‍යානය තුළ සමහර නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාවයන් නිසා විවිධ ගැටලු රැසක්‌ මතු විය. බත්තරමුල්ලේ චොගම් සත්තු වත්තට රැගෙන ගිය මුවන්, කුරුල්ලන් වැනි සතුන්ට අත් වූ ඉරණම නොදන්නා කෙනකු නැති තරම්ය. 


තවද කුසගින්න උහුලා ගන්නට බැරි මොහොතක තමා ළඟම ආදරයෙන් වෙළෙමින් සිටි තම පිරිමි සතා ගිල දමන්නට තරම් ඇනකොණ්‌ඩා ගැහැනු සතකු දරුණු වූවාය. එහිදී පරීක්‍ෂණවලදී හෙළිවූයේ කුසගින්න දරා ගැනීමට නොහැකිවූ නිසා එම පිරිමි ඇනකොණ්‌ඩාව ගැහැනු සතා ගිල දැමූ බවයි. එම සතුන්ට නිසියාකාරව ආහාර ලබාදුන්නේ නම් එවැනි සිදුවීමක්‌ සිදු නොවනු ඇත.

පසුගිය දිනවල රටේ මහත් ආන්දෝලනයට ලක්‌වූ සුදු කැස්‌බෑ සිද්ධියේ පැටවාද මිය ගියේ අපගේ ජාතික සත්වෝද්‍යානය තුළදීය.පසුගිය වසර කිහිපය තුළදී මෙවැනි සතුන් රැසක්‌ම මිය ගියේ සත්වෝද්‍යානය තුළදී නිසි පහසුකම් නොලැබීම නිසාය. 


සතුන්ට ලබාදීමට ගෙනෙන ලද එළවළු, පලතුරු, මස්‌ වර්ග ආදිය පිට පාරෙන් නිවෙස්‌බලා රැගෙන ගිය සේවයන් කිහිප දෙනකු අතට හසුවුණේ දෙහිවල සත්වෝද්‍යානය තුළදීය. මෙවැනි ගැටලු රාශියක්‌ ද දෙහිවල සත්වෝද්‍යානය තුළ තවමත් පවතී.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය අපට මෙන්ම රටටද වටිනා මහඟු සම්පතකි. එය අපගේ ප්‍රෙෘඩත්වය ලොවට කියාපාන තවත් එක්‌ ස්‌ථානයකි. 


එමනිසා වගකිව යුතු නිලධාරීන් කළ යුත්තේ මෙහි සිටින වංචනික දූෂිත නිලධාරීන් සොයා බලා ඔවුන් පන්නා දමා අපගේ ජාතික සත්වෝද්‍යානය බේරාගැනීමයි. නැතිනම් නුදුරු අනාගතයේදී දෙහිවල ජාතික සත්වෝද්‍යානය නමට පමණක්‌ සීමාවූ ස්‌ථානයක්‌ බවට පත්වනු ඇත.
 
Related Posts with Thumbnails