Ads 468x60px

.

නීතිය හා යුක්‌තිය අබ සරණ යවන්නට ධර්ම චක්‍රය පැළඳ සිටින පොලිසිය

පොලිසිය පිළිබඳ කෙබඳු චෝදනා හා විවේචන එල්ල වුවත් තවමත් මේ රටේ නීතිය හා සාමය මෙන්ම යුක්‌තිය උදෙසා ද ක්‍රියාත්මක වන ආයතනයක්‌ ලෙස අපි එය හඳුන්වමු. 

ඒ පොලිසිය එයට හිමි ගෞරවනීය තත්ත්වයෙන් පහතට ඇද දැමීමේ දුෂ්ට මෙහෙයුමට කුප්‍රකට දේශපාලනඥයන් වගකිවයුතු බව ද අපි බොහෝ විට ලියා ඇත්තෙමු. දේශපාලනඥයන්ට අමතරව පොලිස්‌ නිල ඇඳුමේ උණ නිසා හෝ තමන් ස්‌වභාවයෙන් ම පෙළෙන හීනමානයක්‌ හෝ වෙනත් අඩුවක්‌ නිසා හෝ පොලිසියට අවමන්, ගැරහුම් ලබා දෙන්නෝ පොලිසියේද සිටිති.

ඔවුන් පොලිස්‌ බලය ලෙළවා අහිංසක ජනතාව බිය වද්දන, පහර දෙන අවස්‌ථා මෙන්ම බිහිසුණු ඝාතන සිදුකරන අවස්‌ථා ද ජනමාධ්‍යවල බොහෝ විට වාර්තා වේ.

අද අප ඔබට කියන්නේ ද එබඳු සාහසික ප්‍රහාරයක්‌ පිළිබඳ පුවතකි. මෙම ප්‍රහාරයට ගොදුරුව සිටින්නේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන
සංජීව එදිරිසිංහ නමැති 28 හැවිරිදි එක්‌ දරු පියෙකි. ඉකුත් 16 වැනිදා 'හිරු' ප්‍රවෘත්ති මගින් අනාවරණය කළ ඒ පුවත දුටු කවරෙකුගේ වුවද හද කම්පා වනු පමණක්‌ නොව ඒ අපරාධය කළ පව්කාර අධමයන්ට හෙණ ගෙඩි ඉල්ලන්නට තරම් ආවේගයක්‌ පහළ වීම ද ඉතාම ස්‌වාභාවිකය.

මේ සාපරාධී ක්‍රියාව පිළිබඳව චෝදනාව එල්ල වන්නේ හලාවත කොට්‌ඨාසයේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයට අයත් නිලධාරීන් පිරිසකටය. සංජීව එදිරිසිංහ ප්‍රකාශ කරන අන්දමට ඔහු අල්ලාගත් බව කියන පිරිස කොණ්‌ඩා වැවූ පච්චකාරයන්ගෙන් සමන්විත වූවෝය. එබඳු කොණ්‌ඩයෝ හා පච්ච සිරාලා පොලිසියේ සිටිත්දැයි අපි නොදනිමු.

මේ පිරිසේ අත්අඩංගුවට පත්වන සංජීව හලාවතට ගෙන ඒමෙන් පසු ඔහුට පොලිසිය විසින් කරන ලද සංග්‍රහය සැබෑවක්‌ නම් මේ අය පොලිස්‌ නිල ඇඳුමට සුදුස්‌සෝ දැයි විමසා බැලීම ද පොලිස්‌පතිවරයාගේ වගකීමය.

පොලිස්‌ අත්අඩංගුවට පත්වන සැකකරුවෝ බොහෝ විට ඇත්ත නොකියති. අන්තිම අහිංසකයන් ලෙස රඟපාති. එනිසා බොරුකාරයන් හා අහිංසකයන් නිවැරැදිව හඳුනා ගැනීමට පොලිසිය තීක්‍ෂණ විය යුතුය. එහෙත් අහිංසකයන්ට නොකළ වරදක්‌ පටවා කට උත්තර ලබා ගැනීමට පොලිසිය වෑයම් කිරීම බරපතළ වරදකි.

අනෙක්‌ අතට මේ අහිංසක මිනිසාට දෙන ලද කුරිරු වධය අපගේ සියොළඟ ලොමු දැහැගන්වන සුලු ය. කොච්චි මිරිස්‌ අඹරා සිරුරේ සංවේදී තැන්වල ගෑ බව කියන රාළහාමිලාට ද ඒ අත්දැකීම ලබා දීම වරදක්‌ නැත. 

තිබහට වතුර බිඳක්‌ ඉල්ලූ විට ඇඟට සුළුදිය වඩන නරුමයෝත් සිටිත් ද? සැකකරුවකුගෙන් කට උත්තර ලබා ගැනීමට ගොස්‌ ඔහු පොලිසියක්‌ ඇතුලේ අබ්බගාතයකු කිරීමට පොලිසියට බලයක්‌ තිබේද?

සංජීව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ ප්‍රදේශයේ වෙළෙඳසලක්‌ බිඳ බඩු මුට්‌ටු සොරා ගැනීමේ සිද්ධියක්‌ පිළිබඳ සැකකරුවකු ලෙසින් ය. එහෙත් ඔහු පවසා ඇත්තේ තමන් එයට සම්බන්ධ නැති අයකු බව ය. සංජීවගේ වෘත්තිය පාපැදි අලුත්වැඩියා කිරීම බව ද ඔහු කියා ඇත.

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සංජීව දින තුනක්‌ම පොලිසියේ රඳවා ගත් බව ද කියති. එබඳු බලයක්‌ පොලිසියකට තිබේ ද? අප දන්නා පරිදි නම් ත්‍රස්‌තවාදියකු රඳවා ගැනීමටත් අධිකරණයේ අවසරයක්‌ තිබිය යුතුය. කෑමක්‌ බීමක්‌ පවා නොදී ගෙදර අයටවත් සැකකරු නොපෙන්වා පොලිස්‌ රාජකාරිය කළේ කුමන ෙච්තනාවකින් දැයි අපට ඇසීමට සිදු වේ.

පොලිසිය පගා ගන්නේත් නැති නිසා පැමිණිලිකාරයාගෙන් සම්තිං එකක්‌ ගෙන අඩු තරමින් සංජීව සීනි සම්බෝල කිරීමට පොලිසියට වුවමනාවක්‌ ඇතැයි අපට කිව නොහැක. 

එහෙත් පොලිස්‌ නිල ඇඳුම් ලා ගත් එබඳු සුනඛයෝ ද පොලිසියේ සිටිතියි කීමෙන් පොලිසියට සැබැවින් ම සහාය වන නිල පොලිස්‌ සුනඛයන්ට අගතියක්‌ සිදුවිය හැකිය.

කෙසේ හෝ නොකළ වරදක්‌ කළ බවට කට උත්තරයක්‌ දීමට නොහැකි වූ සංජීව අබ්බගාතයකු බවට පත්වී සිටින බව පෙනේ. ඔහුගේ සිරුරේ ගම්මිරිස්‌ හා කොච්චි තවරා ඇත්තේ ද ආයුර්වේදයේ එන පරිදි සිරුර සම්බාහනය කිරීමට ද නොවන බව පෙනේ. ඔහුගේ සිරුරට සුළුදිය වැඩූ නීචයකු ද සිටියි.

මේවා සැබෑද බොරුද යන්න විමසීම පොලිසියේ හොඳ නමට මෙන්ම රටට ද වැදගත් ය. අද අප ජීවත් වන්නේ මූලික මිනිස්‌ අයිතීන් ගැන වඩාත් උනන්දුවන සාධාරණ සමාජයක්‌ ගැන අරගල කරන යුගයකය. පොලිසිවල මහත්වරු ද ඒවා නොදනිතියි සිතිය නොහැක.

පොඩි මිනිහාට යුක්‌තිය ඉටුකර ගැනීමට එල්ලෙන්නට තිබෙන පිදුරු ගස පොලිසියයි. එහෙත් ඒ පොලිසිය මෙසේ උමතුව වියරුව පොඩි මිනිහා පෙළන්නේ නම් නීතියට හා යුක්‌තියට අබ සරණයි කීමට සිදු නොවේද?.

ධර්ම චක්‍රය පැළඳ සිටින පොලිසිය මේ විදිහට ක්‍රියා කරන්නේ නම් ඒ පාරිශුද්ධ සංකේතය පොලිසියෙන් බේරා ගැනීමට සංඝයා වහන්සේ පෙළ ගැසීමට ද බැරි නැත.
 
Related Posts with Thumbnails