Ads 468x60px

.

නාගොඩ රෝහලේදී අනුන්ගේ 'එක්‌ස්‌රේ' එකක්‌ බලාගෙන වෙන කෙනෙකුට සැත්කමක්‌ කල හැටි


එක්‌ස්‌රේ 
එකේ 
ඇත්ත 
අයිතිකාරයා..?

කළුතර නාගොඩ මහ රෝහලෙහි කාර්ය මණ්‌ඩලයේ ඇතැමුන්ගේ නොසැලකිලිමත්කම නිසා විවිධ අයුරින් වන්දි ගෙවන අසරණ රෝගීහු ජීවිතය පුරා මැරි මැරී උපදිති. තම රාජකාරිය පසෙකලා වෙනත් බාහිර කතාබහ වලට හා ක්‍රියා කාරකම් වලට මුල් තැනක්‌ ලබාදෙන ඇතැම් සේවක සේවිකාවන් නිසා රෝගීහු වන්දි ගෙවති. 


එහෙත් ඔවුන් තම වරද සඟවා නිවැරදිකරුවන් බවට පත්වන්නට උත්සාහ දරනුයේ තම අයිතිවාසිකම් පිළිබඳව හුවා දක්‌වමිනි. නිරන්තරව අසාධාරණයට මුහුණ දෙන රෝගීන් නිහඬව සිටින තුරු මෙම වරද කරුවෝ දිගින් දිගටම අසරණ රෝගීන්ට වින කටිති.

මෙවර කළුතර නාගොඩ රෝහලෙහි නොසැලකිල්ල නිසා අවදානමකට මුහුණදීමට සිදුවූයේ ''දිවයින'' පුවත්පතෙහි බේරුවල මාධ්‍යවේදී චමින්ද ප්‍රසාද් මහතාටය. පෙර කළ කිසියම් පුණ්‍යකර්මයක්‌ නොවන්නට ඔහුට
අද වන විට ඉතිරි වන්නේ තම දෑතින් එක්‌ අතක්‌ පමණි.

පසුගිය දිනවල බේරුවල හා දර්ගා නගරය ප්‍රදේශයේ සිදුවූ කලහකාරී තත්ත්වය වාර්තා කිරීමට ගිය අප මාධ්‍යවේදී චමින්ද ප්‍රසාද් ගමන් කළ යතුරුපැදිය අනතුරට ලක්‌වීම නිසා ඔහු රෝහල්වීගත කෙරිණි. 

පළමුව බේරුවල රෝහලටත් පසුව නාගොඩ රෝහලටත් ඇතුළු කිරීමෙන් අනතුරුව ඔහුගේ වම් අත ස්‌ථාන දෙකකින් බිඳී ගොස්‌ ඇති බවට වෛද්‍යවරුන් විසින් නිගමනය කරන ලද්දේ එක්‌ස්‌රේ වාර්තාවලට අනුවය. 

එහි ඔහුගේ වැළමිට සුළු පිපිරීමකට ලක්‌වී තිබූ අතර මැණික්‌ කටුව ප්‍රදේශය දැඩි ලෙස හානිවී තිබූ අයුරු දිස්‌ විය. ඉන් අනතුරුව සිදුවූ සියලු සිදුවීම් පිළිබඳව චමින්ද ප්‍රසාද් මහතා මෙසේ අනාවරණය කළේය.

මාව අනතුරට ලක්‌වෙලා නාගොඩ රෝහලේ වාට්‌ටුවට ඇතුළත් කළා. ඊට පස්‌සේ වේදනාව තියෙන තැන් අහලා ඒ තැන්වල එක්‌ස්‌රේ වාර්තා ගත්තා. ඒ දකුණු කකුලේ දණහිසයි. වම් අතේ වැලමිටයි. 

දකුණු අතේ මැණික්‌ කටුව ප්‍රදේශයයි. මගේ ගත්තේ එක්‌ස්‌රේ 3 ක්‌ වුණාට වාට්‌ටුවට එක්‌ස්‌රේ වාර්තා 4 ක්‌ ඇවිත් තිබුණා. වැඩිපුර ආපසු එක්‌ස්‌රේ එකේ මගේ වම් අතේ මැණික්‌ කටුව ප්‍රදේශය කැබලිවලට කැඩිල තියෙනවා දැකලා මම පුදුම වුණා. 

මම අත මැණික්‌ කටුව ළඟින් හොඳටම හොලවලා බැලුවා. මට කිසිම වේදනාවක්‌ දැනුනේ නෑ. එක්‌ස්‌රේ එකේ තිබුණ විදියට අත කැඩිලනම් මට අත එහෙම හොලවන්න තියා හිතන්නවත් බැරි තරම්.

මාව පසුවැනිදා උදේ 9.00 ට විතර සුදු ඇඳුමක්‌ අන්දවලා ශල්‍යාගාරයට අරගෙන ගියා. ඒකෙදි මාව සිහිනැති කළා. පැය බාගයකට විතර පස්‌සේ මට සිහිය එනකොට මගේ වම් අතේ ඉහළ සිට ඇඟිලි දක්‌වාම ශක්‌තිමත් ප්ලාස්‌ටර් එක දාලා තිබුණා. 

ඊට පස්‌සේ දවසේ ඔපරේෂන් කරපු අත ආයෙමත් එක්‌ස්‌රේ කරලා බැලුවා. ඒක දැකලා වෛද්‍යවරුන්ට අදහගන්න බැරි වුණා. පුදුම ආශ්චර්යයක්‌ නේ වෙලා තියෙන්නේ. ඊයේ හදපු ඔයාගේ අතේ කිසිම පැල්මක්‌ පේන්නෑ කියලා වෛද්‍යවරු මට කිව්වා. 

ආයෙමත් අත එක්‌ස්‌රේ කළත් අත ඒ වගේම හොඳට තිබුණා. මට ඒ වෙලාවෙදි හොඳටම තහවුරු වුණා. මුලින් මගේ නමට මැණික්‌ කටුව ළඟින් කැඩිලා ආපු එක්‌ස්‌රේ එක මගේ නෙවෙයි. ඒක වැරදිලා මට ඇවිත් කියලා.

මගේ ටිකට්‌ කපලා ගෙදර ආවාම මම ප්ලාස්‌ටරය ගලවලා ඉවත් කළා. මොකද ඒකදාගෙන තව දවස්‌ කීපයක්‌ හිටියනම් නොකැඩූ තැනත් ඇදවෙලා යයි. මම නියමිත දිනයට රෝහල් වෛද්‍ය සායනයට ගියා.

එතන රෝගීන් පරීක්‍ෂා කළේ මගේ අත ඔපරේෂන් කරපු වෛද්‍යවර යාමයි. සිදුවෙලා තියෙන සියලු දේ මම ඔහුට සාක්‍ෂි සහිතව පෙන්වලා දුන්නා. ඔහුට සිදුවෙලා තියෙන වැරැද්ද හොඳින් තේරුණා. 

ඔහු මට කිව්වා ඔයා යන්තම් බේරුණා. ඒත් මේ ඔයාට වැරදිලා ආපු එක්‌ස්‌රේ එකේ අයිතිකාරයට මොනවවෙලා ඇතිද කියලා. 

බැරි වෙලාවත් ඔපරේෂන් එකේදි මට ප්ලාස්‌ටර් එකක්‌ නොදා අත කපලා යකඩ ප්ලේට්‌ වලින් අත හදන්න වෛද්‍යවරු තීරණය කළා නම් මට හැමදාමත් නිකරුණේ විඳවන්න වෙනවා. එහෙම නොවී මේ විදියට වුණේ වාසනාවකට.

අද මට වුණ දේ හෙට මීට වඩා බරපතල විදියට වෙන කාට හරි වෙන්න පුළුවන්. ඉදිරියට වෙන්න තියෙන ලොකු විනාශයක්‌ නවත්තගන්නයි වගකිවයුතු අයට මේවා කියන්නේ. නාගොඩ රෝහලේ බොහෝ සේවක සේවිකාවන්ගේ කටයුතු ගැන කිසිම විදියකට සතුටු වෙන්න බෑ.

නොසැලකිලිමත්කම නිසා සිදුවන මෙවැනි වැරදීම් ඉදිරියේදි කිසිදු රෝගියකුට සිදු නොවන්නට රාජකාරිය පැහැර හරින සේවක සේවිකාව න්ට විනයානුකූලව කටයුතු කරන ලෙස මාධ්‍යවේදීහු රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
 
Related Posts with Thumbnails