Ads 468x60px

.

කොතරම් පාඩු ලැබුවත්, පාඩු පිට පාඩු ලබමින් හොම්බෙන් ගියත් රාජ්‍ය ආයතන නොවැටිය යුතුය..


තවත් වචන 
මොකටද?

ඛනිජ තෙල් සංස්‌ථාව, ධීවර සංස්‌ථාව සහ මිහින් ලංකා සමාගම ගිය අවුරුද්දේ රුපියල් කෝටි 971 ඉක්‌මවන පාඩුවක්‌ ලබා ඇතැයි පෙරේදා (05 දා) පාර්ලිමේන්තුවේදී කතා වුණා.

මෙහිදී අඩුම පාඩුව ලබා ඇත්තේ ධීවර සංස්‌ථාවයි. ඒ ගණන රුපියල් කෝටි හතහමාරකි. එමෙන් පනස්‌ ගුණයක පාඩුවක්‌ මිහින් ලංකා ආයතනය ලබා ඇත. තෙල් සංස්‌ථාව ලැබූ පාඩුව ධීවර සංස්‌ථාවේ පාඩුව මෙන් සිය ගුණයකි. 

මේ අනුව දැනට පාඩු අංශයෙන් කප් එක අත්පත් කරගෙන සිටින්නේ ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවයි. ඒ තැනට එන්නට මිහින් ලංකා
ආයතනය දැන් කරනවාක්‌ මෙන් දෙගුණයක්‌ මහන්සිවී වැඩ කළ යුතුය.

කැපවීම සහ ආත්ම ධෛර්යය ඇතොත් ඛනිජ තෙල් සංස්‌ථාව සතු පාඩු කප් එක ගැනීමට මිහින් ලංකාවට බැරි වන්නේද නැත. මේ රටට සිදුවී තිබෙන ලොකුම පාඩුව වන්නේ පාඩු සිදුවී යයි කියා ඉහත සඳහන් ආයතන එකක්‌වත් වසා දමන්නට බැරි වීමය. 

කොතරම් පාඩු ලැබුවත්, පාඩු පිට පාඩු ලබමින් හොම්බෙන් ගියත් රාජ්‍ය ආයතන නොවැටිය යුතුය යන දේශානුරාගී, ජාතිකාභිමානී, රණකාමී, රාජ්‍ය සම්පත් සුරැකුම්වාදී (තවත් වචන මොකටද?) මතවාදයක්‌ මේ රටේ වෘත්තීය සමිති තුළ තිබේ. 

ඒ අනුව ධීවර සංස්‌ථාව හෝ ඛනිජ තෙල් සංස්‌ථාව වසන්නටම බැරිය. මිහින් ලංකාව වැසීම ගැන වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ එතරම් අවධානයක්‌ නැතත් කුමක්‌ හෝ රහසක්‌ නිසා ආණ්‌ඩුව එය වසා දමන්නේද නැත. 

ආණ්‌ඩුව කියන්නේ උපාසක අම්මලාට දඹදිව යන්නටත් දුප්පත් ගෘහ සේවිකාවනට ඩුබායි යන්නටත් මිහින් ලංකාව තිබිය යුතු බවය. එහෙත් තව අවුරුදු කිහිපයක්‌ ගත වන විට එකතුවන සුවිශාල පාඩුව මුදල් කරගත හැකිනම් ඒ මුදලින් දඹදිව සහ ඩුබායි යන දෙකම ලංකාවට ගෙන ඒමට පුළුවන. (මෙය නිකමට කියූ කතාවකි)

ඛනිජ තෙල් සංස්‌ථාව යනු මුළු ලංකාවටම සේවය කරන ආයතනයකි. මුළු රටම දුවන්නේ මේ ආයතනය මගින් සහනාධාර ක්‍රමයක්‌ යටතේ සපයන තෙල්වලින් ය. එහෙත් ඒ ආයතනය රුපියල් කෝටි හත්සියයක්‌ පාඩු ලබන විට මිහින් ලංකාව එයින් භාගයක්‌ම පාඩු ලබන්නේ කාට සේවය කරද? 


මේ සම්බන්ධයෙන් අප දන්නා උත්තරය මෙසේය. වගකිවයුතු ආණ්‌ඩුවක්‌ විසින් පටන් ගනු ලබන ගුවන් සේවයක්‌ අප හිතන තරම් ලේසියට වසා දමන්නට බැරිය. එය ලෝක ගුවන් සේවා කර්මාන්තය තුළ රට පිළිබඳ ගොඩනැඟී තිබෙන ප්‍රතිරූපය, මැලේසියානු ගුවන් යානය යුක්‌රේනයට කඩා වැටුණාක්‌ මෙන් කඩා වට්‌ටන්නකි. 

මේ නිසා කළ යුත්තේ පාඩු අවම කර ගැනීමය. එහෙත් පාඩු අවම කළ යුත්තේ ඩුබායි යන දුප්පත් ගැහැනුන්ට ගුවන් යානය තුළදී දෙන ආහාර වේල කපා හැරීමෙන් නොවේ. අපේ රටේ සම්මත ක්‍රමවේදවලට අනුව පාඩුවක්‌ කපා හරින්නේ ඒ විදියටය. 

මුලින්ම ආහාර වේල කපා හරී. දෙවනුව යානයේ කාර්ය මණ්‌ඩලය කපා හරී. තෙවනුව පයිලට්‌ව කපා හරී. සිව්වනුව යානයට සපයන තෙල් කපා හරී. පස්‌වනුව යානය කපා හරී. අන්තිමට සිදුවන්නේ මිහින් ලංකා යනුවෙන් බෝඩ් ලෑලි අතින් ගෙන ගෘහ සේවිකාවන්ට පයින්ම ඩුබායි යැමටය.

රට වටේ මහ මුහුද තිබියදීත් ධීවර සංස්‌ථාව පාඩු ලබන්නේ ඇයි? මුහුද තිබුණාට, ඒ මුහුදේ මාළු හිටියාට, ඒ මාළු ඇල්ලීමට වැයවන මෙහෙයුම් ගාස්‌තුව ඉතා ඉහළය. ධීවර බෝට්‌ටුවලට ගසන ඩීසල් මිල ඉහළය.


ධීවරයන්ගේ ජීවන වියදම ඉහළය. මේ නිසා ඔවුන්ට මාළු කෑමට වත්කමක්‌ නැති අතර මාළු විකුණන මුදලින් සෝයා මීට්‌ කෑමට සිදුව ඇත. ඒ අතර ඉන්දියානු මාළු බෝට්‌ටු පැමිණ දියඹේ සිටින මාළු ටික ශුද්ධ කරගෙන යති. මේ නිසා සාලයන් හැර අන් යමක්‌ අපට ඉතිරි වන්නේ නැත.

මේ කරුණු සලකා බලන විට මේ කොයි ආයතනයත් පාඩු ලැබීම සාධාරණ බව හැර අන් යමක්‌ කීමට අපට නම් බැරිය.
 
Related Posts with Thumbnails