Ads 468x60px

.

අරවින්දගේ සේප්පුව විවෘත කර මුදල් හොරා ගත්තේ කෙසේද

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයට නොමැකෙන මතකයක්‌ එක්‌ කළ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් අතරින් අරවින්ද ද සිල්වාට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගත් අරවින්ද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයට සම්බන්ධ වුණේය. පසුව ඔහු ඒ සියල්ල අතහැර මේ වනවිට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු බවට පත්ව සිටින්නේය.

එහෙත් අපි මේ කියන්න යන්නේ අරවින්දගේ ක්‍රිකට්‌ ගැනවත් ඔහුගේ ව්‍යාපාර ගැනවත් නොව ඔහුට පසුගිය දිනක මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක්‌ ගැනය.

අරවින්ද පදිංචි අලුත්ම නිවහන ඉදිවුණේ මෑතකදීය. ඒ කොළඹ තර්ස්‌ටන් පාරේය. උපාලි විජයවර්ධන මහතාගේ නිවසට යාබදව ඉදිවූ

පුංචි මාලිගය සඳහා අරවින්ද විශාල ධනස්‌කන්ධයක්‌ වැය කළේය.

සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත වූ මේ නිවහන සඳහා ආරක්‍ෂාව සැපයීමට නවීනතම ආරක්‍ෂිත ක්‍රමවේදයන් කීපයක්‌ම යොදවා තිබිණි.

නිවසේ ආරක්‍ෂාව සඳහා සී.සී.ටී.වී. කැමරා සවි කෙරිණි. ආරක්‍ෂිත විදුලි පහන් මෙන්ම සංඥ පද්ධතියක්‌ද සවි කළේ නිවස සොර සතුරන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහාය.

සියලු ආරක්‍ෂිත ක්‍රම වේදයන් අනුගමනය කිරීම නිසා අරවින්ද පමණක්‌ නොව පවුලේ සාමාජිකයන් තුළ ද හොරසතුරු බියක්‌ ඇතිවී තිබුණේ නැත.

පසුගිය දා අරවින්ද සිය බිරිඳ සමඟ විදේශ සංචාරයක්‌ සඳහා පිටව ගියේය. විදේශ සංචාර අරවින්දට සාමාන්‍ය දෙයකි. නිවස මෙන්ම පවුලේ සාමාජිකයන් ගැන ද ඔහුට බියක්‌ සැකයක්‌ තිබුණේ නැත. ඒ තරමටම නිවස සුරක්‍ෂිතව තිබිණි.

අරවින්ද සිය බිරිඳ සමඟ විදේශගත වුවද දරුවන් දෙදෙනා සිටියේ තර්ස්‌ටන් පාරේ පිහිටි නිවසේය. දරුවන් බලා ගැනීමට මෙන්ම අනෙකුත් වැඩකටයුතු සඳහා සේවක සේවිකාවන් හත්දෙනකු මේ නිවසේ සිටියහ.

දින කීපයක විදේශ සංචාරයෙන් පසු අරවින්ද සිය බිරිඳ සමඟ නිවසට ආවේ පසුගිය 21 වැනිදා පෙරවරුවේය. කිසිදු විශේෂත්වයක්‌ නොමැතිව නිවසේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි කෙරෙමින් පැවතිණ.

අරවින්දගේ නිවසේ සේප්පුව තිබුණේ උඩුමහලේ නිදන කාමරයට යාබදව පිහිටි කාමරයකය.

අරවින්ද මහත් කලබලයට පත්වූයේ තම සේප්පුව පරීක්‍ෂා කරද්දීය. සේප්පුවේ තැන්පත් කර තිබූ මුදල් කිසිවක්‌ එහි නොවූ බව දැකීමෙන් අරවින්ද අන්දුන් කුන්දුන් වුණේය.

සේප්පුව විවෘත කිරීම සඳහා රහස්‍ය අංකයක්‌ භාවිත කළේය. ඒ අංකය දැන සිටියේ අරවින්ද ඔහුගේ බිරිඳ සහ මෑණියන් පමණි. සේප්පුව විවෘත කර තිබුණේ ඊට කිසිදු හානියක්‌ නොකර රහස්‍ය අංකය භාවිත කරමින් බව සොයාගන්නට අරවින්දට එතරම් අපහසු වුණේ නැත.

ඒ මොහොතේම මේ පිළිබඳව කොල්ලුපිටිය පොලිසිය වෙත පැමිණිලි කිරීමට ඔහු පියවර ගත්තේය. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල කොල්ලුපිටිය පොලිසියේ ස්‌ථානාධිපති වජිර සහ අපරාධ අංශයේ ස්‌ථානාධිපති කුලරත්න ඇතුළු නිලධාරින් අරවින්දගේ නිවසට පැමිණ සිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළහ.

සේප්පුව තුළ දේශීය මෙන්ම විදේශීය මුදල් තොගයක්‌ තිබිණි.

ප්‍රකට ජ්‍යෙතීර්වේදියකු වන පියසේන රතුවිතාන මහතාගේ පුත්‍රයා අරවින්දගේ සමීපතම මිතුරෙකි. ඔහු ඇතැම් අවස්‌ථාවල දී අරවින්දගේ නිවසේ නවාතැන් ගත්තේය.

රතුවිතාන මහතාගේ පුත්‍රයා ද ඔහුට අයත් මුදල් ආරක්‍ෂාව සඳහා තැන්පත් කරන්නේ අරවින්දගේ නිවසේ පිහිටි සේප්පුවේය.

හොරකම සිදුවන අවස්‌ථාවේ රතුවිතාන මහතාගේ පුත්‍රයාට අයත් ස්‌ටර්ලිං පවුම් තොගයක්‌ද සේප්පුවේ තිබිණි. ඒ මුදල් ද හොරුන් රැගෙන ගොස්‌ තිබූ බව පසුව හෙළිවිය.

"සර් මේ කාමරේට හයිකරලා තිබුණ සී.සී.ටී.වී. කැමරාව 17 වැනිදා උදේ බලද්දී වෙනත් පැත්තකට හරවලා තිබුණා." අරවින්දගේ නිවසේ සේවකයකුගෙන් ලැබුණේ එවැනි තොරතුරකි.

සී.සී.ටී.වී. කැමරාව පොලිසිය පරීක්‍ෂා කළද සේප්පුව විවෘත කරන පුද්ගලයා එහි සටහන්ව තිබුණේ නැත.

පොලිසිය මේ වනවිට උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිව සිටියි. නිවසට පිටස්‌තර පුද්ගලයන් කිසිවකු ඇතුළු වූ බවට කිසිදු හෝඩුවාවක්‌ නැත. නිවස වටා සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කළද සැකකටයුතු යමක්‌ සොයා ගැනීමට පොලිසිය සමත් වුණේ නැත.

නිවසේ ඒ වනවිට සේවිකාවන් දෙදෙනෙකු සහ සේවකයන් පස්‌ දෙනකු සේවය කරමින් සිටියහ. සේවිකාවන් දෙදෙනා සිටියේ මුළුතැන්ගෙයි ඉහුම් පිහුම් කටයුතු සඳහාය.

සේවකයන් ගෙවත්ත පිරිසිදු කිරීම සහ නිවසේ අනෙකුත් කටයුතු සඳහා යොදවා සිටියහ.

ඒ සේවකයන් අතර සිටි එක්‌ අයකු කොටහේන බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු දිවා කාලයේ සේවය කර සවසට නිවස බලා යන අයෙකි. අනෙක්‌ සේවකයන් යටියන්තොට සහ තවත් ප්‍රදේශ කීපයක පදිංචිකරුවන්ය.

පොලිසිය මේ සේවකයන් සියලු දෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න කළද වැදගත් සාක්‍ෂි කිසිවක්‌ සොයා ගැනීමට නොහැකි විය.

අරවින්දගේ සේප්පුව විවෘත කිරීමට රහස්‍ය අංකයට අමතරව තවත් යතුරක්‌ ද විය. එක්‌ යතුරක්‌ අරවින්ද සතුව තිබූ අතර අනෙක්‌ යතුර සේප්පුව නිෂ්පාදනය කළ සමාගම ප්‍රධාන කාර්යාලය භාරයේ තිබෙන බවද පොලිසිය සොයා ගත්තේය.

එහෙත් සිකුරාදා (24 වැනිදා) වනතුරුත් පොලිසිය අරවින්දගේ සේප්පුවේ මුදල් සොරාගත් පුද්ගලයා පිළිබඳව වැදගත් යමක්‌ හොයා ගැනීමට සමත්ව තිබුණේ නැත.

පිටස්‌තර පුද්ගලයකු ඇතුළු නොවූයේ නම් මෙම හොරකම සිදු කළේ නිවස තුළ සිටින පුද්ගලයකු විය යුතු බවට පොලිසිය සැකපහළ කරයි. එහෙත් සේවකයන්ගෙන් ප්‍රශ්න කළද කිසිදු තොරතුරක්‌ හමු නොවීම පොලිසිය ගැටලු රැසකට පත්කිරීමට සමත්ව තිබෙයි.

නිවස තුළ තිබූ වෙනත් වටිනා භාණ්‌ඩ කිසිවක්‌ අතුරුදන්ව නැත. හොරුන් රැගෙන ගොස්‌ තිබුණේ සේප්පුව තුළ තිබූ මුදල් පමණය. එසේනම් මේ හොරකම කළ යුත්තේ සේප්පුවේ මුදල් ගැන හොඳින් දන්නා පුද්ගලයකු බව සැකයක්‌ නැත.

මෙතරම් ආරක්‍ෂක ක්‍රමෝපායන් යොදා තිබුණද ඒ සියල්ල මඟහරිමින් හොරා සේප්පුව විවෘත කර මුදල් හොරා ගත්තේ කෙසේද යන්න හැමදෙනාටම මහා ප්‍රභේළිකාවකි.
 
Related Posts with Thumbnails