Ads 468x60px

.

ෂෙරිල්ගෙන් මේ දවස්වල ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නය


ෂෙරිල් ඩෙකර් අන්තිම වතාවට පුංචි තිරයෙන් අපේ ආලින්දයට ගොඩවැදුණේ “වරාමලී” ටෙලි නාට්‍යය තුළින්. පුංචි තිරයේ ජනප්‍රිය නවක නිළි පරපුරේ සිටින ඇය වරාමලීගෙන් පසු කිසිම ටෙලි නාට්‍යයකට දායක වුණේම නැහැ. 

ෂෙරිල් රඟපෑමෙන් ඉවත්වෙලාද කියලා බොහෝ අය විමසන්න පටන් ගත්තේ ඇගේ මේ නිහැඩියාව හින්දමයි. ෂෙරිල්ට කතා කරලා ඒ ගැන
විමසන්න අපි හිතුවෙත් ඒ හින්දමයි. සුපුරුදු ලෙන්ගතුකමින් ෂෙරිල් අපේ කතාබහට එකතුවුණා.

ඉතින් කොහොමද ෂෙරිල්?

 
(හිනැහී) වෙනද වගේම සතුටින් ජීවත් වෙනවා.


ෂෙරිල් දැන් රඟපෑමෙන් ඉවත් වෙලාද?

 
(හිනැහී) මේ දවස්වල ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඔය. මම රඟපෑමෙන් ඉවත්වෙලා නැහැ. ඒත් ළඟඳී රඟපෑමකට එකතුවුණේ නැහැ.


ඇයි ඒ?

 
මම “අමා” ටෙලි නාට්‍යය කරන කාලෙදිත් ආරාධනා ගොඩක් ආවා. ඒත් ඒ දවස්වලත් මම ඒ හැම එකක්ම භාරගත්තේ නැහැ. අදත් ඒ වගේම තමයි තෝරා බේරාගෙන රඟපාන්නේ. ඒ හින්දයි අලුත් නිර්මාණයකට එකතු වුණේ නැත්තේ.


වරාමලීගෙන් පසුව ටෙලි නාට්‍ය කීයකට ආරාධනා ලැබුණාද?

 
ටෙලි නාට්‍ය තුනකට ආරාධනා ලැබුණා. ඒ ටෙලි නාට්‍ය තුනම ප්‍රතික්‍ෂේප කරන්න වුණා.


ඇයි ඒ?

 
එකක් දුර බැහැර රූගත කරන ටෙලි නාට්‍යයක්. ඒ හින්දා ඒ ටෙලි නාට්‍යය ප්‍රතික්‍ෂේප කළා. අනෙක් ටෙලි නාට්‍ය දෙක විදෙස් සංචාර හින්දා ප්‍රතික්‍ෂේප කරන්න වුණා.


ෂෙරිල් තෝරාගන්නේ කොළඹ අවට රූගත කිරීම් කරන නිර්මාණ විතරද?

 
ඔව්. දවස් ගණන් දුර පළාත්වල ඉන්න මම කැමති නැහැ.


ඔබට ඉහළම ජනප්‍රියත්වය ලබා දුන් “අමා” වගේ අහිංසක යුවතියකගේ ගැමි චරිතයක් ඇතුළත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණොත් ඒ නාට්‍යය ඈත ගමක රූගත කෙරුණොත් ඒ නාට්‍යයත් ප්‍රතික්‍ෂේප කරනවාද?

 
කොයි තරම් ටෙලි නාට්‍ය කළත් ‘අමාගෙ’ චරිතයට මම තවමත් ආදරෙයි. ඒ වගේ චරිතයක්් ආයෙම ලැබුණොත් ඒක ලොකු දෙයක් . ඒත් දුර බැහැර ඉන්න නම් බැහැ. හැබැයි ඉතින් අද ගොඩක් ටෙලි නාට්‍යවල ගම් පළාත් විදියට බණ්ඩාරගම වගෙ ප්‍රදේශ යොදා ගන්නවානේ. 


ඒ හින්දා ඈත ගමකට යන්නම අවශ්‍ය නැහැ.  ඒ වගෙ පසුබිමක් මත කෙරෙනවා නම් ඔය කියන විදියේ චරිතයක් තියෙනවා නම් ඒ ටෙලි නාට්‍යය ඉතා සතුටින් භාරගන්නවා.

ෂෙරිල් දුර බැහැර රූගත කිරීම්වලට නොයන්නේ රුවන්ගේ තහංචි නිසාද?

 
මම දුර බැහැර ගියොත් රුවනුත් මාත් එක්ක එනවා. අපි දෙන්න ගොඩක් වෙලාවට ගමන් බිමන් යන්නේ එකට. ඒ වුණත් මමම තමයි දුර පළාත්වල රූගත කිරීම් නොකර ඉන්න තීරණය කරල තියෙන්නේ.


රුවන් සංදර්ශනවලට යද්දිත් ෂෙරිල් ඔහු සමග යනවාද?

 
විදෙස් සංචාරවලට නම් අපි දෙන්නටමයි ආරාධනා ලැබෙන්නේ. ලංකාවේ ප්‍රසංගවලට යද්දී මමත් ඉතින් එනවා යනවා.


දුර පළාත්වලත් ප්‍රසංග පැවැත්වෙනවා. ඒ වෙලාවට ආයෙම ගෙදර එන්න වෙන්නේ රෑ මැද?

 
ඒ හින්දම තමයි මමත් යන්නේ. මාව තනියම ගෙදර තියලා ගියොත් රුවන් ආයෙම එනතුරු ඒ ගැනම හිතනවා. වාහනේ පදින්න කෙනෙක් හිටියට රුවන්ගෙ තනියට මම ඉන්න ඕන ඉතින් මම කෑම හදාගෙන රුවන් එක්ක යනවා. එයා සින්දු කියලා එනකල් වාහනේට වෙලා ඉන්නවා.


විදෙස් ප්‍රසංගවලට දෙදෙනාම ගියාම ෂෙරිල් ගී ගායනයටත් එකතු වනවාද?

 
(හිනැහී) නැහැ නැහැ...... මම බැරිවැඩ කරන්න යන්නේ නැහැ. මට ගායන හැකියාවක් නැහැ. මම යන්නේ නර්තනයේ යෙදෙන්න.


හැමදේම බෙදා හදාගෙන කරන ඔය දෙන්න ගේ දොර කටයුතුත් බෙදා හදාගෙනද කරන්නේ?

 
ඔව්.


උයන පිහන කටයුතුවලටත් රුවන් එකතු වෙනවාද?

 
මට බොහොම රසට උයන්න පුළුවනි. අනික අත් උදව්වට කෙනෙක් ඉන්නවා රුවන් උයන පිහන වැඩට එකතු කරගන්නෙ නැහැ.


මොනවාද ජීවිතේ ඉදිරි  සැලසුම්?

 
ලබන මාසේ 5 වැනිදාට අපි විවාහවෙලා අවුරුදු දෙකයි. එදාට පුංචි උත්සවයක් ගන්න තමයි සැලසුම් කරගෙන යන්නේ. ඊට අමතරව ඉතින් පුරුදු විදියට මගේ රූපලාවන්‍ය කටයුතු හා රුවන්ගේ සංගීත කටයුතු ගැන සැලසුම් තියෙනවා. ලබන වසරේදී හොඳ නිර්මාණයක රඟපාන්නත් හිතාගෙන ඉන්නවා.
 
Related Posts with Thumbnails