Ads 468x60px

.

මවට එහෙම කරන්නට හොඳ නැත


මස්‌ කඩේ මුදලාලිගේ වාර්ෂික දන්සල, තැබෑරුම් මුදලාලිගේ වෙසක්‌ තොරණ ගැන සතුටුවන සමාජ වටපිටාවක්‌ වේ. කුඩු මුදලාලිගේ හෝටල යෙන් පෙට්‌ටියක්‌ තුළ සුරක්‍ෂිත කළ බත් මුලෙන් වේලක්‌ පිරිමසා ගත හැකිය. ගුරුවරයා, වරදක්‌ කළ සිසුවකුට දඬුවමක්‌ කළොත්, පියා
දරුවකුට දඬුවමක්‌ කළොත් මානව අයිතිවාසිකම් කඩකිරීමේ චෝදනාවට මුහුණ දෙන්නට වෙයි.

දෙමහල් තෙමහල් ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමේදී ගොඩනැඟිල්ලේ ශක්‌තිය තහවුරු කරනු පිණිස එයට යකඩ, කළුගල්, සිමෙන්ති, වැලි සහ වතුර මිශ්‍ර කළ යුතු වේ. එකී ද්‍රව්‍යවල පවත්නා ශක්‌ති සමූහය විසින් එම ගොඩනැඟිල්ල ශතවර්ෂ ගණනාවක්‌ වුවද නොනැසී පවතී.

යකඩ වෙනුවට උණබට පතුරුත් කළුගල් වෙනුවට, මෝඩ ගලුත් සිමෙන්ති වෙනුවට කිරි මැටිත් වැලි වෙනුවට, දහයියාත් සමග වතුර මිශ්‍ර කර කොන්ක්‍රීට්‌ එක දැමුවොත් ඒ ගොඩනැඟිල්ලේ පැවැත්ම ගැන කතා කළ යුතු නැත.

දැවැන්ත කොන්ක්‍රීට්‌ එකක්‌ දැමීම සඳහා ගනු ලබන ද්‍රව්‍ය සමූහය අතර ඇති ඉතාම කුඩා සාධකය වැලි ඇටය. දැවැන්ත යකඩ ගොඩක්‌ ඔසවාගෙන යන ලොරියක එම මුළු බර උසුලාගෙන සිටින්නේ ටයරය තුළ ඇති හුළං ටික විසිනි.

කුඩාම දෙයක වුවද වටිනාකමක්‌ හෙවත් ශක්‌තියක්‌ ඇති බවට දැක්‌වූ නිදසුනකි. ඒ සුදුස්‌සාට සුදුසු තැන දිය යුතු බවටත් එය නිදසුනකි. ඕනෑම දෙයක පැවැත්ම තිරසාර වන්නේ එවිටය.

නුග ඇටය ඉතා කුඩාය. කොස්‌ ඇටයද පුවක්‌ ගෙඩියක්‌ තරම් ලොකු නැත. එහෙත් ඒ නුග ඇටය තුළ, කොස්‌ ඇටය තුළ දැවැන්ත වෘක්‍ෂයක සවිය සැඟවී ඇත.

අපට පෙනෙන බොහෝ දේවල් තුළ නොපෙනෙන දෙයක්‌ ද ඇත. දැකීමත් පෙනීමත්, දෙයාකාරය. අපට බොහෝ දේ පෙනෙයි. ඒත් හරියට දැක්‌මක්‌ නැතිවා විය හැකිය. අප දහස්‌ ගණන් කපුටන් දැක ඇත. ඒත් ඒ සතාගේ පාදයේ ඇඟිලි කීයක්‌ වෙත්දැයි ඇසුවොත් පිළිතුරු දීම අපහසු විය හැකිය. එහෙම වන්නේ හරිහැටි නුදුටු නිසාය.

ගුරුවරයා, ගුරුකමට පොහෝනාකමක්‌ නැති කෙනකු වෙතොත් ගෝලයා අතරමං වෙයි. නීතිඥයා ඒ පදවියට නොපොහොසත් කෙනකු වෙතොත් නඩුව පැරදෙයි. වෛද්‍යවරයා ඒ තැනට නුසුදුසු කෙනකු වෙතොත් රෝගියා මියයයි. ඒ නිසා හැම කාර්යයකටම සුදුසු පොහෝනාකමක්‌ වේදැයි පූර්ව විමැසීමක යෙදිය යුතුය.

රියෑදුරන් අතින් බොහෝ විට භයානක අනතුරු සිදුවෙයි. බොහෝ අනතුරුවලට හේතුව ඔහු රිය පැදවීමේ ශිල්පයට අමතරව මානව දයාව, දෙවැන්නා කෙරෙහි සැලකිලිමත් වීම, ඉවැසීම වැනි, රියෑදුරුකමට අදාළ අනෙක්‌ ගුණධර්ම නොමැති නිසාය.

රුපියල් ශත පිළිබඳ අපේක්‍ෂාව ඔස්‌සේ හඹා යන මිනිසුන් ජීවත්වන සමාජයක අරගල වැඩිය. ගැටුම් වැඩිය. අසාධාරණ වුවත් තමාගේ වාසියට අර්ථකථනය කරන පිරිසක්‌ම එබදු සමාජයකදී හමු වේ.

ඒ නිසා අල්ලස රජ කරයි. සාරධර්ම දෙපයින් පාගා ගෙන අලුත් මත ගොඩනඟයි. පුතා විසින් තාත්තාට පහර දෙන ලදැයි පුවතක්‌ පළවෙතොත්, පියා විසින් කුමන හෝ වරදක්‌ සිදුවන්නට ඇතැයි කෙනෙක්‌ එය සාධාරණීයකරණය කරති. 


එතැනදී සමාජ සම්මත සාරධර්ම බිඳ, වැටෙයි ශිෂ්‍යයා විසින් ගුරුවරයාට පහර දෙන ලදැයි කෙනකු කීවොත්, හරියට ඉගැන්නුවේ නැති නිසා එය හැකි යෑයි අසන්නා එය සාධාරණීකරණය කරයි. 

සමස්‌ත සමාජයම එතැනට වැටී ඇත. දහස්‌ ගණන් පාසල් වෙතත්, ලක්‍ෂ ගණන් ගුරුවරුන් වෙතත් සමස්‌ත සමාජයම දඩබ්බර ය. තමා ගැන මිසෙක අනුන් ගැන සිතීමක්‌ නැත.

ආයතනයක සේවකයෙක්‌ තම ස්‌වාමියාගේ දැත ශක්‌තිමත් කිරීමට ඇප කැප වීමක්‌ නැත. වැඩි දෙනකුගේ උනන්දුව දැත ඔත්පල කිරීමටය. ඒ නිසා බොහෝ ආයතන - විශේෂයෙන් ව්‍යාපාර බිඳ වැටේ. 


තමා සමෘද්ධිමත් වන්නේ ව්‍යාපාරයත්, ව්‍යාපාර හිමියාත් ශක්‌තිමත් වූවොත් පමණකි යන හැඟීම සේවකයා අතර නැත. පාරිභෝගිකයට දක්‌වන සෙනෙහෙබරකම හෙවත් කාරුණිකත්වය නැති සේවකයන් නිසාත් ව්‍යාපාර පිරිහෙමින් පවතී. මේ පරිහානිය නිසා සමස්‌ත රටටම පාඩුවකි.

ගෙදරක ඇතිදැඩි කරන සුනඛයා කිසි දිනෙක තම ස්‌වාමියාට එරෙහි නැත. හපාකන්නට පනින්නේ නැත. ඒ බලු පිළිවෙත මිනිසුන් ඉදිරියේ නොවේ. දිවෙන් දිව ගාගෙන සිටිමින් පෙනය සඟවා ගෙන හිනැහෙයි. අවස්‌ථාවක්‌ උදා වූ සැනින් දෂ්ට කරයි. මේ පිළිවෙත වඩාත් දක්‌නට ලැබෙන්නේ දේශපාලන සමාජය තුළය. කුමන්ත්‍රණ රජ කරන්නේ එතැනය.

බොහෝ මිනිසුන්ගේ සිත් තුළ පවිත්‍ර අදහස්‌ නැත. ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් වෛරයෙන් කිළිටි වී ඇත. එක වැට මායිම අද්දර පිහිටි පවුල් දෙකක්‌ ඔවුනොවුන්ට සතුරුය. කොතැනක හෝ අසාධාරණයක්‌ පවතී.

ගෙදරක ඉඳුල් වතුර, අල්ලපුවත්ත හරහා ගලා යන්නට හරවයි. මේ ගෙදර කුණු ටික අල්ලපු වත්තට විසිකරයි. මෙබඳු ක්‍රියා නිසා ජාතික සමගියක්‌ නැත. පොදු වැඩකදී දේශපාලනය පාට අනුව ක්‍රියා කරයි.

රට ඉදිරියට ගෙන යන්නේ ගොවියාය. ගුරුවරයාය, වෙද මහතාය. භික්‍ෂූන් වහන්සේය, කලාකරුවාය. මේ පංච ශක්‌තිය දැවැන්ත සමාජය දරා සිටින කුලුනු පංචකය වේ. එය දුර්වල වෙතොත් සමාජ සංස්‌ථාවම බිඳ වැටේ.

මේ නාමාවලියට දේශපාලනඥයාගේ නම ඇතුළත් කළේ නැත. එය සඳහන් නොකළේ වඩාත් අපරාධවලට, අගතියට එම තනතුර දායක වී ඇති බවට චෝදනා නැගෙන නිසාය. බොහෝ අපරාධ පසුබිමේ දේශපාලනඥයකුගේ නමක්‌ සම්බන්ධ වී ඇත. හැම කෙනකුම නොවේ. නුසුදුසු තැනකට රිංගාගෙන සිටින අය කෙරෙන්ය.

දැවැන්ත ගොඩනැඟිල්ලක්‌ සඳහා කළුගල් යොදා ගනී. එහෙත් බැම්ම ශක්‌තිමත් කෙරෙන්නේ සක්‌ක ගල් කෑල්ල නිසාය. සක්‌ක ගල සමාජයේ පුංචි මිනිහාට සමානය. පුංචි මිනිහා සමාජයට දැවැන්ත මෙහෙවරකට ඉදිරිපත් නොවුනත් සමාජයට කරදරයක්‌ නොවන අයුරින් ජීවත් වේ.


පොළොවට බරක්‌ නොවන අයුරින් ජීවත් වේ. ඒ අයගේ ජීවිත සුත මුදිත කිරීමට දායක වන කෙනෙක්‌ නැත. එවැන්නකු අසරණ වූ විට අන්තිමට ඔහුට ලැබෙන්නේ පොදු රෝහලේ ඇඳක්‌ හෝ ඉඩ මදි නම් ඇඳ යට සැතපෙන පහසුකම පමණි. නගරයකට තැබෑරුම් තුන හතරක්‌ වෙතත් පුස්‌තකාලයක්‌, නිදහස්‌ කියෑවීම් ශාලාවක්‌ නැති තරම්. 

තැබෑරුමේ තදබදයක්‌ වෙතත් පුස්‌තකාලයේ පුටු හිස්‌ය. පන්සල් ගණනට වඩා අප්‍රකට ගණිකා නිවාස ඇත. නගරයක්‌ පාසා ජංගම ගණිකා රථ ඇති බවත් වාර්තාවේ. ඒ පැත්තෙන් බලන විට සමාජය කුණු අඹ ගොඩක්‌ වැනිය.

සමස්‌ත සමාජයම අසංස්‌කෘතියේ සුනාමියට ගොදුරු වෙමින් පවතී. වැඩි දෙනෙක්‌ කළු සුද්දොය. බටහිර ඇඳුමෙන් යුතුව ගෙල පටි බැඳගෙන ජාතික ගීය ගායනා කරන තැනට පත්ව ඇත. 


ආප්ප කඩේ නාම පුවරුත් පර බසින් ලියා ඇත. සමාජයේ වැඩිම සංඛ්‍යාවකගේ අත්සන පර බසිනි. පන්සලේ හාමුදුරුවන් පමණක්‌ මව් බසින් අත්සන් කරන බව පෙනේ. ජාතියේ අනන්‍යතාවය බිඳ වැටීමත් සමග ජාතික සමගියද ඉරිතලා ඇත.

මස්‌ කඩේ මුදලාලිගේ වාර්ෂික දන්සල, තැබෑරුම් මුදලාලිගේ වෙසක්‌ තොරණ ගැන සතුටුවන සමාජ වටපිටාවක්‌ වේ. කුඩු මුදලාලිගේ හෝටල යෙන් පෙට්‌ටියක්‌ තුළ සුරක්‍ෂිත කළ බත් මුලෙන් වේලක්‌ පිරිමසා ගත හැකිය. 


ගුරුවරයා, වරදක්‌ කළ සිසුවකුට දඬුවමක්‌ කළොත්, පියා දරුවකුට දඬුවමක්‌ කළොත් මානව අයිතිවාසිකම් කඩකිරීමේ චෝදනාවට මුහුණ දෙන්නට වෙයි. ඔබත් මාත් ජීවත් වන්නේ එහෙව් සමාජයකය. ප්‍රපාතයට පෙරළමින් පවතින රථයක තිරිංගය තද කිරීමෙන් අනතුර වළක්‌වා ගැනීම අපහසුය.

අප සමග කතා කරමින් සිටි මධ්‍යම පාන්තික සමාජයට අයත් කාන්තාවක්‌ මෙසේ කීවාය. "අපේ ගෙදර සිංහලයෙන් කතා කරන්නේ නැහැ" ඒ ඇයිදැයි මම ඇසුවෙමි.

"තැනකට ගිය විට වැඩක්‌ හරියට කර ගන්න නම් ඉංගී්‍රසියෙන්ම කතා කරන්න ඕනෑ. සිංහලයෙන් කතා කළාම ගණන් ගන්නවා අඩුයි..."

ඇය කී කතාවේ ඇත්තක්‌ නැතුවා නොවේ. සමාජයම කළු සුද්දන්ගේ පාරාදීසයක්‌ව ඇති බවට ලකුණකි.

සිංහලය විවාහක බිරියක මෙන් ඉංග්‍රීසිය අනියම් බිරියක මෙනි. විවාහක බිරිය අතහැර අනියම් බිරියට තුරුළු වීමත් මව් බස පිළිකුල් කොට පර බසට මුල් තැන දීමත් දෙකම එකය.

රාජ්‍ය තාන්ත්‍රික වැඩක්‌ කිරීමේ දී ඉංග්‍රීසිය පෙරමුණට ගත්තත් ගෙදර ජීවිතයේදී මව්බස නොතකා හැරීම වැදූ මෑණියන්ට කරන අරියාදුවක්‌ මෙනි. මවට එහෙම කරන්නට හොඳ නැත.

- ආචාර්ය පියසේන රතුවිතාන
 
Related Posts with Thumbnails