Ads 468x60px

.

නියමුවා ජනාවාස මඟහැර රබර් වත්තකට යානය පහත් කළේ මරණය ස්‌ථිරවම දැන දැනද


කොතරම් කලාතුරෙකින් වුවත්, ගුවන් අනතුර නමැති අවාසනාව බොහෝ කලකට පසු ඉකුත් 12 වැනිදා උදේ වරුවේදී අතුරුගිරියේ රබර් වත්තකදී උදා විය. එයට අමතරව එදා ලොව කිසිදු තැනක කිසිදු ගුවන් අනතුරක්‌ සිදුවූයේ නැත. 

එහෙත් එයට පෙර දින, එනම් දෙසැම්බර් 11 වැනිදා ප්‍රංශයේදී මිලිටරි පුහුණු ගුවන් යානයක්‌ ආබාධිතයන් රඳවන ලද නිවාසයක්‌ මතට කඩා වැටිණ. යානය කඩාවැටෙන්නට පටන් ගත් වහාම නියමුවා සහ ගෝලයා යානයේ ආසන දෙකෙන් ඉල්පී පැරෂුට්‌ දිග හැරගෙන පණ ගලවා ගත්හ.

එහෙත් අතුරුගිරියට කඩාවැටුණ ඇන්ටොනොව් යානා සමඟ ඒ සෙල්ලම් හරියන්නේ නැත. මගී ප්‍රවාහන යානාවක්‌ වූ එහි නියමුවාට ආසනයත්
සමඟම ඉල්පී පැරෂුට්‌ මගින් සුරක්‍ෂිතව මහ පොළවට පහත් වී දිවි ගලවා ගැනීමට පහසුකම් නැත. 

අතුරුගිරියට කඩාවැටුණ Anatonov An 32 යානය සහසුද්දෙන්ම යුද්ධය පිණිසම සාදන ලද එන්ජින් දෙකේ භාණ්‌ඩයකි. එසේම මෙය අයහපත් කාලගුණයට ඉතා හොඳින් ඔරොත්තු දීම සඳහා සදන ලද්දකි. 

Anatonov 26 නමැති යානා වර්ගය තවදුරටත් නවීකරණය කර සැදූ Anatonov 32 1976 දී මුල්වරට වෙළෙඳ පොළට ඉදිරිපත් කළ යුක්‌රේනි යානු නිෂ්පාදකයා ඉන්දියාවටත් ඇන්ගෝලාවටත් ශ්‍රී ලංකාවටත් මේ යානා විශාල තොගයක්‌ අලෙවි කළේය. 

මේ රටවල් තුනේදී එම යානා සාර්ථක ප්‍රතිඵල ගෙනා නිසා බංග්ලාදේශය, ක්‍රොඒෂියාව, ඉක්‌වටෝරියල්, ගිනියාව යන රටවලට තවත් තොගයක්‌ විකුණන ලදී. එකල සෝවියට්‌ සංගමය කඩාවැටී නැත. Anatonov 32 යානා යුක්‌රේනයේ නිෂ්පාදනය කළද එකල ඒවා වෙළෙඳපාළට ආවේ සෝවියට්‌ බඩු ලෙස ය.

සෝවියට්‌ සංගමය බිඳ වැටීමෙන් පසු Anatonov යානා අමතර කොටස්‌ හෙවත් Spare parts ප්‍රශ්නයකට මුහුණදුන් බව දැනගන්නට ඇත. එහෙත් ලෝකයේ ඕනෑම ගුවන් යානාවක්‌ සඳහා අමතර කොටස්‌ දැන් 3 D ක්‍රමයට ලියවන්නට පුළුවන. 


ඒ නිසා අතුරුගිරියට කඩාවැටුණ යානය නිසි කොටස්‌ නැතිව අබලන් වූවක්‌ බව අපි විශ්වාස නො කරමු. ගුවන් යානයක්‌ කවදාවත් 'පරණ' වන්නේ නැත. නිසි කලට එය අලුත්වැඩියා කර Service කරන අතර නිසි කලට අමතර කොටස්‌ මාරු කරනු ලැබේ. 

මේ නිසා යානය සතු තාක්‍ෂණය මිස යානය පරණ වන්නේ නැත. එසේම අතුරුගිරියේදී කඩාවැටුණු යානය මීදුම නිසා මඟ සොයාගැනීමට බැරිව එම විපත්තියට පත් වූ බව සමහරු කියති. ගුවන් යානයක්‌ අහසේ යන්නේ බස්‌ එකක්‌ මෙන් සයිඩ් කණ්‌ණාඩි වලින් බල-බලා නොවේ. 

යානය තිබෙන උසට අනුව ගුවන් ගමන් පාලකයන් විසින් දෙනු ලබන ආනතියට (ඇලයට) යානය ඇල කර ගමන් කළ විට එය ගුවන් පථයට බැස්‌සවිය හැකි ය. යානය තිබෙන උස සහ එය ඇල කරන ආකාරය යානය තුළ තිබෙන මාපකවලින් පෙන්වයි. 

යානය තිබෙන උස අනුව එහි ආනතිය කවරක්‌ විය යුතුද යන්නත්, එම ආනතිය දිගේ ධාවන පථයට තිබෙන දුර දිගේ කොපමණ ගුවන් සැතපුම් ප්‍රමාණයක්‌ ගමන් කළ විට ධාවන පථය හමුවන්නේ ද යන්නත් ගැන පොළවේ තිබෙන පාලක මැදිරිය ගණන් හැදිය යුතු බව අපගේ කල්පනාව ය. 

කෙසේ වුවද මේ යානය පැදවූ විශිෂ්ට නියමුවා ජනාවාස මඟහැර රබර් වත්තකට යානය පහත් කිරීමෙන් අප්‍රමාණ වීරත්වයක්‌ පෙන්වා ඇත. ඔහු එසේ කරන්නේ මරණය ස්‌ථිරවම දැන දැන ය.
 
Related Posts with Thumbnails