Ads 468x60px

.

පිස්සුද පුතා... මට මගේ ජීවිතේ නැතිකරගන්න බෑ, ජනතාවගේ ප්‍රශ්න මට වැදගත් නෑ - චන්ද්‍රසිරි



අනාවැකිය වැරදුණ පසු ගිය සතියේ මාධ්‍ය මග හරිමින් සිටි චන්ද්‍රසිරි බණ්ඩාර එක් පුවත්පතකට පමණක් කියා සිටියේ තමා ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ නැවත ජයග්‍රහණයට පත්වන බව කිව්වේ ජනතාවට උනන්දුවක් ඇති කිරීමට මිස ඇත්තට නොවන බවකි.

පසුගියදා රූපවාහිනී නාලිකාවකින් ජ්‍යොතිෂ්‍ය අනාවැකියක් ලෙස කී දේ වැරදුණොත් ප්‍රසිද්ධියේ වෙඩිතබාගන්නා බවද කියා සිටියා. පසුගිය සති අන්ත පුවත්පතකට නැවත ඒ ගැන අදහස් දක්වන ඔහු ඊටත් වෙනස්
හේතුවක් එයට සපයනවා. 

ඔහු දැන් කියන්නේ තමා ජ්‍යොතිෂය බාල්දු කර අනාවැකි කිව්වේ පුද්ගලික තර්ජන නිසා බවයි. ඒ සම්බන්දයෙන් ඉරිදා මව්බිම පුවත්පතට ඔහු සැපයූ සම්මුඛ සාකච්ඡාව පහත පරිදිය.

දිනනව කියල පරාද වුණාම දැන් මොකද කියන්නෙ?
මම කිව්වනෙ හේතු තිබුණා කියලා. මැතිවරණයට කලින් මම ලොකු පීඩනයක හිටියෙ.

වගකීමක් නැතිව ඇයි ජ්‍යොතිෂ අනාවැකි කියන්නේ?
වගකීමක් නැතිව නොවෙයි. මගේ දරුවො මට වටිනවා. එක සැරයක් වීරයෙක් වගේ අනාවැකි කියන්න ගිහින් මැරෙන්න ගියා. ඉතිං වගකීම කියල මම කොහොමද ඒ වළටම ආපහු වැටෙන්නෙ.

එහෙනම් ඔබ ඔබේ පෞද්ගලික හේතුවක් උඩ මුළු රටක්ම ඇන්දුවා?
දැන් මට කවුරු මොනව කියන්න ආවත් එදා මට උදවු කළේ කවුද? ඔය කෑගහන එකෙක්වත් ආවෙ නෑ. මම ජනතාවට 2015දී නොකිව්වට 2009දීම කිව්ව මහින්දව ආයෙ ගේන්න එපා කියලා. ඒ කියල මගේ ගෙදර අයට කන්න බොන්න ටික ගෙනත් දෙන්න ලොකු වෙහෙසක් ගන්න වුණා. ඒ වගේ කරදරයක මම මොකටද ආයෙ වැටෙන්නෙ.

ඒ දේවල් නිසා ජනතාව මුළා කිරීම සාධාරණද?
ඔයාට ඒ ප්‍රශ්නය වැදගත් වුණාට මට ඒක වැදගත් නෑ.

මාර කතාවක්නෙ. එතකොට ඔබේ ජ්‍යොතිෂය විශ්වාස කරපු මිනිස්සුන්ට මොකද කියන්නෙ?
මම මිනිස්සුන්ට ජ්‍යොතිෂය කළේ නෑ. මම ජ්‍යොතිෂයෙන් හම්බ කළෙත් නෑ. මම ජ්‍යොතිෂ උපදේශකයෙක් විතරයි.

ජ්‍යොතිෂ උපදේශකයන් ඉතිං හම්බ කිරීම කරන්නෙ කොහොමද?
ඒක මම කරන විදිහ නෙවෙයි වැදගත්. කවුරුවත් මාව අමාරුවෙ වැටුණම මගේ වෙනුවෙන් ඉදිරිපත් නොවෙන එකයි මට වැදගත්.

එහෙනම් ඔබ කිව්වෙ හිටපු ජනාධිපතිතුමා දිනනවට කැමැත්තෙන් හිටියෙ කියලා?
ඒක මම කිව්වා මගේ පණ බේරගන්න ඕන නිසා.

දැන් ඔබ ˜පණ බේරගත්ත˜ කියන වචනෙ පුල පුලා කිව්වට කලින් කිව්වෙ හෘදයාංගම කමට දිනනවට කැමැත්තෙන් කිව්ව කියලනෙ?
දිනනවට කැමති වුණා තමයි. ඒ අර හේතුව නිසා විතරයි.

එතකොට ඔබ වෙඩි තියාගන්නව කිව්වෙ ආතතියෙන් ඉන්නකොටද?
ඇත්තටම පාලක පක්ෂයේ බලපෑම්වලට අපිට යටත් වෙන්න වෙනවා. මොකද මම කලින් වුණු දේට තාමත් බයයි. එදා මගේ ගෙදරට හාල් මිටක්, සීනි කිලෝවක් දෙන්න කවුරුවත් හිටියෙ නෑ. 2009දිත් මට මෙහෙම වුණා නම් මට මුකුත් නැති වෙන්නෙ නෑ. ඒ වගේම එදා ප්‍රශ්නෙ නිසා මිනිස්සු මගෙ ළඟට කේන්දර බලාගන්න ආවෙ නෑ බයට.

ඔබට මොනවද නැති වුණේ අනාවැකි කියන්න ගිහින්?
ඇයි මගෙ කෝටි 5ක් විතර වටිනා ගේ. ඒක මම විකුණල මගේ ළඟ පරිගණක මෘදුකාංග හදපු ළමයි ටික රට යැව්වා. නැත්නම් මාව අත්අඩංගුවට ගත්ත වගේ ඒ දරුවන්ගෙනුත් පළිගන්න හදන නිසා. අන්තිමට මට මගේ ගේත් නැතිවුණානෙ.

ඒත් පස්සෙ ඒ දේවල් ආයෙ ජ්‍යොතිෂ නිසාම හොයා ගන්න ඇතිනෙ?
පිස්සුද පුතා... මම අදටත් ඉන්නෙ කුලී ගෙදරක. මට තව ඉස්සරහට මගේ දරුවො දෙන්න වෙනුවෙන් කරන්න දේවල් ගොඩක් තියෙනවා.

ලොකු විශ්වාසෙකින් වෙඩි තියාගන්නව කියල දැන් ඇයි මේ එක එක ඒව කියල පස්ස ගහන්නෙ?
මට දැන් මගේ ජීවිතේ නැතිකරගන්න බෑ. මගෙ චූටි දුවට මම උගන්නන්න ඕන. එයාලට හොඳ අනාගතයක් හදල දෙන්න ඕන. ඒක නිසයි මම මෙහෙම කියන්නෙ. පස්ස ගහනව නෙවෙයි. හැමෝම කියන ඒවා 100%ක් හරියන්නෙ නෑ.

ඔබේ මේ කතා නිසා ජ්‍යොතිෂය බාල්දු වෙනවා නේද?
කොහොමත් ලිබරල්වාදය තුළ ජ්‍යොතිෂය නින්දාවට පත්වුණු විෂයක්නෙ. ඒක මගේ ප්‍රකාශවලින් වුණු දෙයක් නොවෙයි.

ඇයි ඉතිං ඒක තව තවත් මේ වගේ කතා කිය කිය බාල්දු කරන්නෙ?
ඒක මෙහෙමයි. මරණ තර්ජන තියෙන මිනිහා පවුල රැකගන්න වැඩ කරන්නෙ. ජෝෂප් ස්ටාලින්ගෙ කාලෙත් ජ්‍යොතිෂවේදීන් මර්දනය කළා. ඉතිහාසයෙත් මේව තිබිල තියෙනවා. කවුරුත් ඉන්නෙ පණ බේරගන්න බලාගෙන. මටත් ඒක අර ශාස්ත්‍රය වෙනුවෙන් පෙනී ඉන්න අවශ්‍ය නෑ.

දැන් ඉතින් ඉදිරියටත් ජ්‍යොතිෂය කරනවද?
මම මගේ වැඩ නවත්තන්නෙ නෑ.

සාකච්ඡා සටහන - චාමිකා මුණසිංහ
 
Related Posts with Thumbnails