Ads 468x60px

.

මට දැන් හිතෙනවා එවැනි තීන්දුවක් නොගත්ත නම් හොඳයි කියලා - තිස්ස අත්තනායක


ඔබ 1989 සිට මේ දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් එජාපය තුළ ලොකු බරක් ඇද්දා. ඒත් පසුගිය ජනාධිපතිවරණයේ ජය පෙනි පෙනී ඇයි හිටපු  ජනාධිපතිතුමා සමග එකතු වුණේ?

ඒ කාලය තුළ පක්ෂය තුළ  පැවැති මත ගැටුම්  හා ඒ නිසා මා තුළ ඇති වූ කලකිරීම නිසයි මම එවැනි අමිහිරි තීන්දුවක් ගන්න පෙළඹුණේ. ඇත්තෙ න්ම මගේ පැත්තෙන් බලන කොට ඒ තීරණය නිවැරදි කියල කියන්න  පුළුවන් වගේම තවත් අයගේ  පැත්තෙන් බලන කොට ඒක වැරදි තීන්දු

වක් හැටියට කියන්න පුළුවන් බවත් මම දන්නවා. ඒත් දැන් මම ඒ තීන්දුව අරගෙන ඉවරයි.

ඒත් ඔබ පක්ෂයේ මහ ‍ලේකම්ධුරයෙන් ඉවත් ව හිටපු ජනාධිපතිතුමා සමග යන මොහොත වන විට එතෙක් වීරසක වී සිටි  පක්ෂයේ ප්‍රබලයන් අතර සමගි සමාදානයක් ඇති වී පක්ෂයේ ජයග්‍රහණය පෙනී පෙනී තිබුණා?


ඔව්, පක්ෂයේ නායකයන් අතර එවැනි සමගියක් ඇතිකිරීමට මුල් වුණෙත් මමයි. මට ඒ සඳහා සෑහෙන උත්සාහයක් දරන්න සිද්ධ වුණා. මගේ එම උත්සාහය සාර්ථක වී පක්ෂයේ  නායකයන් අද එක්සත්ව සිටීම ගැන මම අවංකවම සතුටු වෙනවා. පක්ෂය තුළ  අද ඇතිවී  තිබෙන සමගිය  තහවුරු කිරීම සඳහා මම ලොකු කැපවීමක් කෙරුවා. 

ඔබ පක්ෂය තුළ තමන්ට සිදුවෙමින්  පවතින අමිහිරි තත්ත්වය ගැන හිටපු  ජනාධිපතිතුමාට කිව්වද?


පක්ෂය තුළ මට එරෙහිව ඇති වූ කැපිලි කෙටිලි නිසා මා තුළ ඇති වූ කලකිරීම උත්සන්නව පැවැති මොහොතක හදිසියේම එතුමා මට කතා කර තමන්ගේ පැත්තට පැමිණෙන ලෙස ආරාධනාවක්  කෙරුවා.  


ඒ මොහොතේ මා තුළ ඇතිවී තිබුණ පීඩනය කොතරම්  දැඩි එකක් වුණාදැයි කිව්වොත් මටත් සිද්ධ වුණෘ මා වසර 26 ක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දැරූ පක්ෂය අතහැර දමා යන්න.

හිටපු  ජනාධිපතිතුමා ඔබට අගමැතිධුරය හෝ එවැනි උසස් තනතුරක් දීමට යෝජනා කළාද?


නෑ කොහෙත්ම නෑ. එතුමා මට කිව්වේ එජාපයේ ඉන්න බැරි නං අපේ පැත්තට එන්න කියලා විතරයි. 

ඔබට ඒ සඳහා යම් මුදලක් ලැබුණද? මා එහෙම  අහන්නේ රුපියල් කෝටි 20  ක් වැනි මුදලකට ඔබ විකිණී ඇති බවට ජනතාව අතර ලොකු රාවයක්  පැතිරී තිබුණ නිසයි.


ඒක තමයි මගේ ජීවිතයේ මා ඇසූ අප්‍රසන්නම කතාව. හිටපු ජනාධිපතිවරයා මට ලොකු තනතුරක්  දෙන්න හැදුවෙත් නෑ. මා  මුදල්වලට ගන්න උත්සාහ කෙරුවෙත් නෑ.

එතකොට එජාපය තුළ ඔබට ඇතිවී තිබුණු පීඩනය ගැන හිටපු ජනාධිපතිතුමා  කොහොමද දැනගත්තේ. ඔබ එතුමා සමග කිව්වද?


මම කිව්වේ නෑ. සමහර විට බුද්ධි අංශ නිලධාරීන් ගෙන් ඒ තොරතුරු ලැබෙන්න ඇති.

ඔබ කියන්නේ රජයේ බුද්ධි අංශ නිලධාරීන් එජාපය තුළත්  සිටින්න ඇති බවද?


ඔව්, මම හිතනවා එහෙම වෙන්න ඇතියි කියලා. ආණ්ඩුවක්  ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂවල තොරතුරු සොයන්න ජාතික රහස්  තොරතුරු  කාර්යාංශයේ  නිලධාරීන් යෙදවීම සාමාන්‍ය සිද්ධියක්. 

ඉතින් ඔබ එතුමා කතා කරපු ගමන්ම එන්න කැමති වුණාද?


නෑ මම මුලින් අකමැති වුණා. ඒත් දෙසැම්බර් මාසයේ 6 දා සිරිකොත මූලස්ථානයේ පැවැති එජාප සමුළුව අවස්ථාවේ යම් කණ්ඩායමක් මට එරෙහිව විරෝධයක් පළ කරන්න සූදානම් වී  සිටියා. මට ඒ ගැන කිව්වෙත් නායකතුමාගේ ආරක්ෂක අංශ නිලධාරියෙක්. 


ඊට පස්සේ  මම ඒ ගැන නායකතුමාට පැමිණිලි කෙරුවම එතුමත් ඒ ගැන සොයා බලා එහෙම දේවල් කරන්න එපායි කියලා ඒ අයට අවවාද  කෙරුවා. ඒ අනුව සිද්ධිය නතර වුණත් ඒ ගැන මා තුළ ඇති වූ  දැඩි කලකිරීම තමයි මට මෙවැනි  අමිහිරි තීන්දුවක් ගැනීමට මුල පිරුණේ. 

හොඳයි කුමන හේතුවක් නිසා හෝ ඔබ එදාගත් අමිහිරි තීන්දුව ගැන අද ඔබ පසුතැවිලි වෙනවද?


මම කිසිම අවස්ථාවක මුලින් ගත්තු තීන්දුවක් ගැන පසුතැවිලි වෙන්නෙ නෑ. ඒත් දැන් මට  හිතෙනවා එදා  එවැනි තීරණයක් නොගත්තනං හොඳයි කියලා.

දැන් ඔබේ දේශපාලන අනාගතය විසඳා ගැනීමට යන්නේ කුමන ආකාරයකටද?


මම තවමත් එජාපයේ මන්ත්‍රීවරයෙක්. මොනම අවස්ථාවකදීවත් මම ශ්‍රීල නිපයට එකතු වෙලා නෑ. හිටපු ජනාධිපතිතුමා මට කිව්වා ශ්‍රී ලනිපයට බැඳෙන්න කියලා. ඒත් මම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුවා.  


මම ඒ ආණ්ඩුවේ  ඇමැතිකමක් භාර ගැනීම තමයි මම කරපු  එකම වරද. හැබැයි මම එපයි කියල එජාපය තීන්දු කරනවා නං මගේ  දේශපාලන අනාගතය පිළිබඳව තවත් සති කීපයක් තුළ මට තීරණයක් ගන්න සිද්ධ වෙනවා.

ඒත් ඔබ සන්ධාන වේදිකාවල කියා හිටියා තමන් ආණ්ඩුවට ආවේ එජාපය මැතිවරණ ව්‍යාපාරයේ ස්විච් එක ඕෆ් කරලයි කියලා. ඒක පක්ෂයට කරපු බරපතළ හානියක් නේද?


ඔව්. එහෙම දේශපාලන කතා මැතිවරණ වේදිකාවල කියනවා.  එජාප සාමාජිකයන්ට මෙදා සැරේ ඡන්දයේ දී අලියා ලකුණ නොමැති වීම ගැනයි මම එතෙන්දී  අවධාරණය කෙරුවේ. ඒ කියන්නේ  එජාප සංවිධානය බිඳ වැටිලයි කියන එක.

ඊළඟට ඔබ රහස් ගිවිසුමක් ගැන කිව්වා, විතරක්  නෙවි ඒ සම්බන්ධ ලියවිල්ලක් පවා ඉදිරිපත් කෙරුවා ඒත් ඒක ව්‍යාජ ලියවිල්ලක්  නේද?


මම සෞඛ්‍ය ඇමැතිවරයා හැටියට වැඩ භාරගත් දවසේ බොහෝ දෙනා විවිධ කරුණු කාරණා මුල්කර ගෙන මට ලියුම් දුන්නා. ඒ අතරේ තමයි ඔය කියන ලියවිල්ලත් තිබුණේ. ඉතින් ඒ ලිපිය බලපු  මට හිතුණා ඒක රටේ ජාතික ආරක්ෂාවට අදාළ වැදගත් ලියවිල්ලක් කියලා. 


ඉතින් මම හිතුවා ඒක වැදගත් කාරණයක්  නිසා මාධ්‍යයට හෙළි කරන්න. ඒ මිසක් ඒ ‍ලේඛනය ගැන වංහුං හොයන්න මම ගියේනෑ.

ඉතින් තමන්ට නිර්නාමික ලැබුණ එවැනි ‍ලේඛනයක සත්‍ය අසත්‍ය බව තහවුරු කර නොගෙන ඒක ප්‍රසිද්ධ කිරීම ලොකු වරදක් නේද?


වෙන්න පුළුවන්. ඒත් ඡන්ද ව්‍යාපාරයේ  යෙදෙන කොට එහෙම දේවල්  අනන්තවත් සිද්ධ වෙනවා. දැන් චම්පික රණවක ඇමැතිවරයා  කේ.පී. සහ හිටපු  ජනාධිතිවරයා වැළඳ ගෙන ඉන්න ඡායාරූපයක් මාධ්‍යයට ඉදිරිපත් කෙරුවා. 


ඒක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සහ හිටපු ජනාධිපතිතුමාගේ  ඡායාරූපයක්  පරිගණකයෙන් වෙනස් කරලා  හදපු එකක්. එතුමා ඒ ගැන පසුව කිව්වේ අන්තර්ජාලයෙන්  ඒ ඡායාරූපය ගත්තයි කියලයි. ඒ වගේ මටත් මේ  ලිපිය නිර්නාමිකව ලැබුණ එකක්.

ඔබ හිතන්නේ මෙදා සැරේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය අහම්බෙන්  ලැබුණු ජයක්  කියලද?


නෑ ඒකත් 1970, 1977 සහ 1994 දී රටේ ඇති වූ දේශපාලන රැල්ල වගේ එකක්.  හැබැයි මුලින්  ඒ ජනතා රැල්ල තිබුණෙ නෑ. ඒත්  අන්තිම සතියේ තමයි ඒ ජනතා රැල්ල  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පැත්තට හැරුණේ.

ඔබ හිතන හැටියට ඇයි එහෙම වුණේ?


සමහර විට සන්ධාන වේදිකාවෙන් ඇසුණ අනවශ්‍ය වහසි බස් සහ රාජ්‍ය මාධ්‍යයේ  පක්ෂග්‍රාහී හැසිරීමත් ඒ සඳහා මුල්වූ එක් හේතුවක් වෙන්න පුළුවන්.

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන ඔබ දකින්නේ කොහොමද?


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වගේම රනිල් වික්‍රමසිංහ අගමැති තුමාත් ජනාධිපතිවරණයට කලින් දින 100 වැඩ සටහන, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන බොහෝ දේ ප්‍රකාශ කර තිබුණා. 


ඉතින් ඒ ඡන්ද ‍පොරොන්දු ටික ඉෂ්ට කිරීමයි සිද්ධ වෙන්න ඕනෑ. මමත් හැකි සෑම අයුරකින්ම ඒ සඳහා සහයෝගය දෙනවා. 

රජයට බහුතරය අවශ්‍ය අවස්ථාවකදී ඔබ ඒ සඳහා සහයෝගය දෙනවාද?


අනිවාර්යයෙන්ම ඒ සඳහා සහයෝගය දෙනවා. මොකද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අපේ ඉල්ලීමක්.

සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීම් වලට ඔබ සහභාගි වෙනවද?


නෑ. මම ඒ රැස්වීම්වලට සහභාගි වෙන්න නෑ. මම දැන් ස්වාධීන මන්ත්‍රීවරයෙක්. මොකද මම තවමත් එජාපයේ  සාමාජිකයෙක්.

මෙදා සැරේ ඉදිරිපත් වන අතුරු අයවැය ඡන්දයේ දී ඔබ ඊට පක්ෂව සහාය දෙනවද?


එයින් ජනතාවට වැඩි මෙහෙවරක් සැලසෙනවා නං මම අනිවාර්යෙන්ම ඊට සහයෝගය දෙනවා.

ඊළඟ මහ මැතිවරණයේ දී ඔබ තරග කරනවාද?


ඔව් මම අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා. මට එජාපයෙන්  ඒ සඳහා අවස්ථාවක් නොලැබුණොත්  මම ඒ මොහොතෙදී සුදුසු තීන්දුවක් ගන්නවා. මොකද මම තවමත් එජාපයේ සාමාජිකයෙක්.


- නිහාල් ජගත්චන්ද්‍ර
 
Related Posts with Thumbnails