Ads 468x60px

.

එල්ල වන නින්දා, අපහාස, කොන් කිරීම් මැද හිටපු ජනපති එවූ අලූත්ම ලිපිය



ඇතුළතින් සහ පිටතින් එල්ල වන නින්දා, අපහාස, කොන් කිරීම් ද ඉවසා දරා ගැනීමේ හැකියාව තමාට ඇති බවත් නව නායකත්වයට සුබ පතන බවත් දක්වා ඇති මහින්ද රාජපක්ෂ මහතා විසින් යොමුකර තිබු සම්පුර්ණ ලිපිය පහත පළවේ.

2015.02.11

ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා
ප්‍රධාන ලේකම්,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,
301, ටී.බී. ජයා මාවත,
කොළඹ 10.

හිතවත් ප්‍රධාන ලේකම්තුමනි,

විධායක සභා රැස්වීම.

(2015 පෙබරවාරි මස 14 වැනි දින සවස 02.00 ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී.)

උක්ත මැයෙන් ඔබ විසින් මා වෙත එවන ලද 2015.01.29 දිනැති ලිපිය හා සම්බන්ධයෙනි.


2015 පෙබරවාරි මස 14 වැනි දින සවස 02.00 ට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමට සහභාගී වීමට මා හට ආරාධනා කිරීම සම්බන්ධයෙන්

ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙමි.

නමුත් එදින මා කලින් යොදාගෙන ඇති අවලංගු කල නොහැකි අත්‍යාවශ්‍ය කටයුතු කිහිපයක් සදහා හම්බන්තොට රැදී සිටිය යුතු බැවින් මේ සදහා සහභාගීවීමට නොහැකිවීම සම්බන්ධයෙන් අතිශයින් කනගාටුවෙමි.

එබැවින් පහත දැක්වෙන මාගේ සුභපැතුම් පණිවිඩය මෙම අවස්ථාවට ඉදිරිපත් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලමි.

වසර 47 ක් මාගේ මුළු දේශපාලන ජීවිතයම කැප කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා හා සමස්ථ ලංකා කාරක සභා අවස්ථාවට සුබ පතන්නේ ඉමහත් ආඩම්භරයෙනි.

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා සමග මා පියාණන්ද ඇතුළු එදා සිටි නායකයින් සමග එක්ව 1951 දී පිහිටු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල ජන බලයක් ද විවිධ ප්‍රගතිශීලී පක්ෂ හා කණ්ඩායම් වල සහායද ගෞරවයද දිනාගත් පක්ෂයකි.

1951 සිට මේ දක්වා ගත වූ දේශපාලන ඉතිහාසයේ අවස්ථා ගණනාවක දීම ඉතා තීරණාත්මක මෙහෙවරක් ඉටු කල ආණ්ඩු පිහිටුවාලීමට නායකත්වය දීමට අප පක්ෂයට හැකි විය.

30 වසරක් පැවති ලොව දරුණුම ත්‍රස්තවාදය නිසා හටගත් යුද්ධය සංසිදුවා ලංකාවට සාමය ගෙන ඒමට හැකි වීම ද 2/3 කට ආසන්න ජන බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට අපට හැකි වීම ද මා සිහිපත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපවූ සියළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ අභිමානය පිණිසය.

ඒ වැනි වු අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වූයේ පක්ෂයේ සමගිය බිදී ගිය අවස්ථාවන්වලය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිඛෙන ජන පදනම හා පොදු ජනතාවගේ දැවැන්ත විශ්වාසය ද බිදලිය නොහැකි වූ විට පක්ෂය තුල බේද වපුරුවා කුඩා කණ්ඩායම් හා කල්ලි මගින් පක්ෂය දුර්වල කර වු ආකාරය අතීත අත්දැකීම් තුලින් අප ඉගෙන ගත යුතුය.

1964 දී සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ රජය පෙරලීමට පිරිසක් පක්ෂය හැරයාම ද, 1975 දී පිරිසක් පක්ෂය කඩාගෙන හැරයාම ද, 1984 දී පක්ෂය කැඩීමද ද, 2001 දී පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර හැරයාම ද අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් කිරීමට හේතු විය.

කෙසේ වුවද පක්ෂයෙන් තාවකාලිකව ඉවත් වූ බොහො පිරිස් යලිත් අප පක්ෂයට එක් වීම ද අපට අළුත් අත්දැකීමක් නොවේ. එය අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය වර්ධනය කර ගැනීම සදහා භාවිතා කිරීම අප වගකීමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දීමට මා බාරගත් පසු පාර්ලිමෙන්තුවේ අපෙගේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඉහල නංවමින් මා හැමවිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිය වෙනුවෙන් කැපවුයෙමි. ඉතා දුෂ්කර අපහසු අවස්ථාවන් හි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට හැකි වීමේ පාඩම් බොහොමයක් පක්ෂ ඉතිහාසය තුල සටහන්ව ඇත.

අප පාක්ෂිකයින් දරුණු භීෂනයට හා මර්දනයට ලක් කල එක්සත් ජාතික පක්ෂ පාලන යුගයේ දී පාද යාත්‍රා, ජන ඝෝෂා වැනි මහජන විරෝධතා පවත්වා පක්ෂය නගා සිටුවීමට එදා මා හට හැකි විය. ඒ ශක්තිය අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වටහා ගත යුතුය.

ඛෙදුම් වාදය අත හැර අප පක්ෂය හා එක් වූ උතුරු නැගෙනහිර සියළු දේශපාලන නායකයින් අප ආරක්ෂා කර ගත යුතුය. එසේම අප හා එක්ව සිටි සියළු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුය.

දේශපාලනය කිරීම නිසාම අප පක්ෂයට ද පාක්ෂිකයන්ට ද එල්ල වී ඇති තර්ජන හා මර්දන හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිටිය යුතුය.

වර්ථමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සේම එයට නායකත්වය දෙන සියළු දෙනා පක්ෂය ද පාක්ෂිකයන් ද ආරක්ෂා කර ගැනීමේ වගකීම භාරගනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

ඇතුලතින් සේම පිටතින් මා වෙත එල්ල වෙන නින්දා අපහාස පරිභව සේම කොන් කිරීම් ද දරා ගැනීමේ ශක්තිය ලොව දරුණුම ත්‍රස්තවාදීන්ගේ ද ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන්ගේ ද පීඩනයන් උසුලා පුරුදු මට ඉවසා දරා ගත හැකිය.

කවර තත්වයක් යටතේ වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පාක්ෂිකයන් ද හැර නොයන බවද, පක්ෂය ද පාක්ෂිකයන් ද වෙනුවෙන් මේ මොහොතේ පොරොන්දු වෙමි. පක්ෂයෙන් මා හට ලැඛෙන දෙය නොව පක්ෂයට මාගෙන් ඉටු විය යුතු යුතුකම් පිළිබදව තවමත් මා කැප වන බවත් වැඩි දුරටත් සදහන් කරමි.

ඉදිරියේදී ද නැවත අප ජය ගත යුතුය. එය පක්ෂය වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් ද ඉටු කළ යුතුය. ඒ සදහා මගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට මා සුදානමින් සිටින බව ඔබ සැම වෙත සතුටින් දන්වනු කැමැත්තෙමි.

නව පක්ෂ නායකත්වයට මාගේ සුභ පැතුම් පිරිනැමීමට ද මෙය අවස්ථාවක් කොට ගනිමි.

ඔබ සැමට සුබ අනාගතයක්
තෙරුවන් සරණයි
 
Related Posts with Thumbnails