Ads 468x60px

.

විභාගය අසමත් වූවයි ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගත් ශිෂ්‍යාවෝ දෙදෙනා


මෙවර ප්‍රතිඵල නිකුත් වූ අ.පො. ස. (සා. පෙළ) විභාගය අසමත් වූවයි කළකිරුණු ශිෂ්‍යාවෝ දෙදෙනකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව මරණ පරීක්‍ෂණ දෙකකින් අනාවරණය වී තිබෙනවා.

මෙයින් එක්‌ මරණයක්‌ ගම්පොල පුස්‌සැල්ලාව ප්‍රදේශයෙනුත් අනෙක්‌ මරණය නාවලපිටිය ඉඟුරුඔය ප්‍රදේශයේත් වාර්තා වුණා.

මේ දෙදෙනාම නිවසේ කිසිවකුත් නොමැති අවස්‌ථාවක ජනෙල් දොරවල් වසා එක්‌ ශිෂ්‍යාවක්‌ මවගේ සාරියෙනුත් අනෙක්‌ ශිෂ්‍යාව හැඳ සිටි ඇඳුමේ

සෝල් එකෙනුත් මෙසේ එල්ලී සිය දිවි නසාගෙන ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

මියගොස්‌ ඇති පුස්‌සැල්ලාව බී. එෆ්. වත්තේ පදිංචි ජී. ලිදුෂා නමැති 17 හැවිරිදි ශිෂ්‍යාවගේ පියා විදුහල්පතිවරයෙක්‌ වන අතර මව ගුරුවරියෙකි. පවුලේ දෙවැනියා වන ඇයට වැඩිමහල් සහෝදරියක්‌ හා බාල සහෝදරයකු හා සහෝදරියක්‌ සිටී. 


ඇය 2013 වසරේදී පළමුවර සා. පෙළ විභාගය ලියා ගණිතය අසමත්ව ඇති අතර එම විෂය සමත් කර දෙන බවට පොරොන්දු පිට පාසල් අ.පො.ස. (උ. පෙළ) කලා විෂයයන් හදාරා තිබේ.

ඒ අනුව මෙවර අ. පො. ස (සා. පෙළ) විභාගයේ ගණිතය විෂය ලියා තිබුණ ද එය අසමත් බව අන්තර්ජාලයෙන් දැක දැඩි ලෙස කලකිරී මෙසේ සිය දිවි හානි කර ගෙන ඇති බව අනාවරණය වී ඇත.

ඇගේ මරණ පරීක්‍ෂණය කඳුකර ඉහළ කෝරළේ හදිසි මරණ පරීක්‍ෂක ආයුර්වේද වෛද්‍ය ඒ. ජී. ඩබ්ලිව්. දිඹුල්ගස්‌තැන්න මහතා විසින් පුස්‌සැල්ලාව වනුගපිටිය රෝහලේදී පැවැත්විණි.

එහිදී ඇය විසින් ලියා තිබූ ලිපියක්‌ද ඉදිරිපත් කෙරිණි. එහි සඳහන්ව ඇත්තේ මව හා පියා තමන්ට උගන්වන්න දැඩි වෙහෙසක්‌ ගන්නා බවත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි වූ නිසා දැඩි කලකිරීමට පත්ව මෙසේ සිය දිවි හානි කර ගන්නා බවත් ය. 


සා. පෙ. විභාගයේ ගණිතය අසමත් උසස්‌ පෙළ කිරීමට නොහැකි නිසා පාසල් යැමට නොහැකි වීම තමාට මහත් දුකක්‌ බවත් එහි සඳහන් කර තිබිණි. එහිදී ඇගේ මව වන රාමයියා ඥනේෂ්වරී පියා වන පොන්නයියා මහේෂ්වර් යන අයද සාක්‍ෂි දුන්නේය.

පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ පුස්‌සැල්ලාව වනුගපිටිය රෝහලේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී ආර් රාමචන්ද්‍රන් මහතා මෙය එල්ලීම නිසා ගෙල සිරවී සිදුවූ මරණයක්‌ බව නිගමනය කළේය.

මේ අතර නාවලපිටිය ඉඟුරුඔය ප්‍රදේශයේ මියගොස්‌ තිබුණේ නුර්ජාන් බේගම් නමැති ශිෂ්‍යාවකි. ඇය විභාග ප්‍රතිඵල බලා නිවසට පැමිණ තිබූ අතර මව හා අනෙකුත් කිසිවකු නොමැති අවස්‌ථාවක හැඳ සිටි සෝල් එක උපයෝගී කර ගනිමින් නිවස තුළ එල්ලී මියගොස්‌ තිබිණි. 


මේ පිළිබඳව පොලිස්‌ හදිසි ඇමැතුම් අංශයට පැමිණිලි කොට තිබූ නිසා එම ස්‌ථානයට ගිය නාවලපිටිය මහෙස්‌ත්‍රාත් එල්. කේ. මහින්ද මහතා මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණ පවත්වනු ලැබීය.

අනතුරුව දේහය නාවලපිටිය රෝහලට යවා එහිදී පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට දුන් නියෝග අනුව අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. බී. එම්. ෆයිසාල් මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා එල්ලී ගෙල සිරවීමෙන් සිදුවූ මරණයක්‌ බවට නිගමනය කළේය.
 
Related Posts with Thumbnails