Ads 468x60px

.

මියගිය අසරණයකුගේ බිරිය තරුණ නම් ඇය බලා ගැනීමට මුළු රටම සූදානම් බව


ශ්‍රී ලංකාවේ මහා මාර්ග යනු යුද පිටියකි. ත්‍රීවීලර්, ප්‍රයිවට්‌ බස්‌, මෝටර් සයිකල් සහ කාර් යනාදිය මේ යුද්ධ භූමියේ දිවෙන යුද ටැංකි වෙති. පාරේ යනෙන මඟීහු මෙම යුද ටැංකිවලට අත පය දන් දෙති, දිවි දෙති. 

අන්තිමට ඒ අසරණයන්ගේ පවුල් මහ පාරේය. මියගිය අසරණයකුගේ බිරිය තරුණ නම් ඇය බලා ගැනීමට මුළු රටම සූදානම් බවත්, එහෙත් ඒ පවුලේ දරුවන් මහ පාර දිගේ හිඟා කෑවත් කවුරුත් ඇහැක්‌ ඇර
නොබලන බවත් කියමින්, ඒ බව සනාථ කරන විවිධ සිදුවීම් ගැන ද මෙනෙහි කරමින් මේ වැකිය ආරම්භ කරනු ලැබේ.

මාර්ග නීති කඩකරන රියෑදුරන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීන්දු කර ඇතැයි යනුවෙන් පුවතක්‌ අපට අහන්නට ලැබී ඇත. මේ රටේ දැනට තිබෙන මාර්ග නීතිවලට අනුව මගී ප්‍රවාහන බස්‌ රිය සහ ත්‍රිරෝද රිය ගමන් කළ යුත්තේ මහා මාර්ගයේ වම් පස මං තීරුවෙහි ය. 


එහෙත් මේ නීතිය ක්‍රියාත්මක වන්නේ ඉතා දුර්වල ලෙස ය. ත්‍රිරෝද රථ රියෑදුරු පාරේ යන්නේම තමන්ට අභිමත මං තීරුවෙහි ය. පුද්ගලික බස්‌ රියෑදුරු ද එසේම ය. ලංගම බස්‌ මාර්ග නීති කැඩුවාට පොලිසිය ගණන් ගන්නේ නැත. මන්ද ඒවා ආණ්‌ඩුවේ බස්‌ නිසා ය. 

එසේම ලංගම රියෑදුරෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ගොස්‌ ඒ අය වැඩ වර්ජනය කළ විට එහි වගකීම භාරගෙන "ඉන්ටඩික්‌ට්‌" වීමට හෝ උසාවි ගානේ ගොස්‌ පරිප්පු කෑමට හෝ කිසිදු පොලිස්‌ නිලධාරියෙක්‌ සූදානම් නැත. පොලිසිය කරන්නේද රස්‌සාවකි. 

ඒ කවුරුත් හවසට ගෙදර ගොස්‌ තම දූ දරුවන් සමග නිදහසේ කල් ගත කිරීමටත් නිදහසේ නිදා ගැනීමටත්, මාසේ අන්තිමට වැටුප් ගැනීමටත් කැමැත්තා හ. ඒ නිසා හැමදෙනාම පාහේ සූදානමින් සිටින්නේ අශූචි බාල්දිවලින් ඈත් වී ජීවත්වීමට ය.

ප්‍රයිවට්‌ බස්‌කාරයන් සහ ත්‍රිරෝද රථ රියෑදුරන් පාරේ හැසිරෙන ත්‍රස්‌තවාදී ස්‌වරූපය ඉතාම අප්‍රියජනකය. මේ දෙගොල්ලම තමන්ට හිතුණ තැන රිය නවත්වා මඟීන් පටවා ගනිති. එවිට පිටුපසින් එන එකා වහා බ්‍රේක්‌ ගසා අනතුර වළක්‌වා ගත යුතුය. ප්‍රයිවට්‌ බස්‌ සහ ත්‍රිරෝද රථ බ්‍රේක්‌ ගසන්නේ අනතුරක්‌ නවතා ගත හැකි පරතරයක්‌ තුළ නොවේ. 


මේ නිසා තදබදය බහුල වේලාවල අනතුරු වළක්‌වා ගැනීම ඉතා දුෂ්කරය. එබඳු රිය ගැටුමකදී ඉස්‌සරහින් යන රියටත් පස්‌සෙන් යන රියටත් යන දෙකටම මහ පාරේ තපින්නට සිදු වේ. එබඳු අනතුරකදී හටගන්නා එක නිසා පාරේ හිරවන සෙසු වාහන අනතුරට පත් වාහන දෙකට හෙණ ඉල්ලමින් යන බව අප මතක තබා ගත යුතුය.

ප්‍රයිවට්‌ බස්‌ සම්බන්ධයෙන් තවත් භයානක අනතුරක්‌ තිබේ. ඒ වූ කලී ඔවුන් කරන වැරදිවලට එරෙහිව හඬක්‌ නැඟීමට සිවිල් වැසියන්ට ඉඩක්‌ නොවීම ය. එවැනි හඬක්‌ නැඟූ වහාම ඩ්‍රයිවර් සහ කොන්දොස්‌තර කුණුහරුපෙන් බැණ වැදී එම තර්ජනය යටපත් කරති. එයත් ප්‍රමාණවත් නැත්නම් ඔවුන්ගේ ඊළඟ පියවර වන්නේ වර්ජනයකට යැම ය. එවිට ඔවුන්ට විරුද්ධව හඬ නැඟූ අය අන්ත අසරණ වෙති.

පාරේ යන රියෑදුරන් මෙන්ම මඟීන්ට ද මහා මාර්ගය සම්බන්ධයෙන් වගකීමක්‌ තිබිය යුතු ය. කහ ඉරි පෙනි පෙනී වෙනත් තැන්වලින් පාර පනින අය මෙන්ම පාරේ වැරදි පැත්තෙන් යන අය ඕනෑ තරම් සිටිති. මේ දුර්ජනයන් බෙල්ලෙන් අල්ලා දඩ ගැසීමට බලය පොලිසියට දිය යුතුය. එය පගා ගැසීමට අවස්‌ථාවක්‌ නොකර ගැනීම පොලිසියේ වගකීම ය.
 
Related Posts with Thumbnails