Ads 468x60px

.

නිදියහනේම ඝාතනය කල බණ්‌ඩාරගම පොලිසියේ එස්‌. අයි.


බණ්‌ඩාරගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක රූබන් විජයපාල විජයවර්ධන පලිහවඩන මහතා පානදුරේ පිහිටි සිය නිවසේ නිදි යහනේදීම ඊයේ (06 වැනිදා) අලුයම කපා කොටා සාහසික අන්දමින් ඝාතනය කර ඇත.

ඝාතනයට ලක්‌වූ 53 හැවිරිදි පලිහවඩන මහතා දෙදරු පියෙකි. පළි ගැනීමේ අරමුණෙන් කිසියම් පුද්ගලයකු මෙම ඝාතනය කරන්නට ඇති

බවට පොලිසිය සැක පහළ කරයි. ඝාතනයට ලක්‌වූ උප පොලිස්‌ පරීක්‍ෂක පලිහවඩන මහතා වසර කීපයක සිට බණ්‌ඩාරගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති ලෙස සේවය කර තිබේ.

පානදුර බෙක්‌කේගම ප්‍රදේශයේ පිහිටි නිවසේ සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ඔහු පදිංචිව සිට ඇත. පලිහවඩන මහතාට අයත් වෙළෙඳසලක්‌ බෙක්‌කේගම ප්‍රදේශයේ පිහිටි අතර එහි වෙළෙඳාමේ කටයුතු කරගෙන ගොස්‌ ඇත්තේ බිරිඳ විසින්ය.

පෙරේදා රාත්‍රි 8.00 පමණ සේවය නිමකර වෙළෙඳසල වෙත පැමිණ ඇති පලිහවඩන මහතා එහි කටයුතු ද පරීක්‍ෂා කර බිරිඳ සමග නිවසට ගොස්‌ ඇත්තේ රාත්‍රි 10.30 ට පමණය.

දෙමහල් නිවසේ පහළ මාලයේ කාමරයක පලිහවඩන මහතා තනිවම නින්දට ගොස්‌ ඇති අතර බිරිඳ දරුවන් දෙදෙනා ද සමග වෙනත් කාමරයක නිදාගෙන ඇත.

රැකියාවට යැම සඳහා පලිහවඩන මහතා අලුයම 4.30 ට අවදිවීමට පුරුදුව සිට ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ. ඊයේ අලුයම 4.30 ට පමණ බිරිඳ පළිහවඩන මහතා අවදි කිරීම සඳහා කාමරයට පැමිණි අවස්‌ථාවේ ඔහු ඝාතනය කර සිටිනු දැක ඇත.

පසුව ඇය මේ පිළිබඳව පානදුර පොලිසිය වෙත දැනුම් දී තිබේ. ඝාතකයා පලිහවඩන මහතාගේ ගෙල ප්‍රදේශයට තියුණු ප්‍රහාරයක්‌ එල්ල කර ඇති අතර ඒ ප්‍රහාරයෙන් ඔහු එක්‌වරම මියයන්නට ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

නිවසේ පිටුපස දොර විවෘත කරගෙන ඝාතකයා එහි ඇතුළු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. පොලිස්‌ නිල සුනඛයන්ව යොදා පරීක්‍ෂා කිරීමේදී නිවස පිටුපස තිබී ඝාතනය සඳහා යොදාගත් බවට සැකකරන මන්නා පිහිය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

නිවසේ වටිනා කිසිවක්‌ සාහසිකයා රැගෙන ගොස්‌ නැති බවද පරීක්‍ෂණ වලින් හෙළිවී තිබේ. ඉන් පැහැදිලි වන්නේ ඝාතකයා නිවසට ඇතුළුවී ඇත්තේ පලිහවඩන මහතා ඝාතනය කිරීමේ අරමුණෙන්ම පමණක්‌ බව පොලිසිය පවසයි.

පලිහවඩන මහතාගේ දරුවන් දෙදෙනා අවුරුදු 11 සහ 13 වයස්‌ සීමාවල පසුවන පිරිමි දරුවන්ය. මීට වසර 10 කට උඩදී පානදුරේ පැවැති සංගීත ප්‍රසංගයකදී රාජකාරි සඳහා ගොස්‌ සිටි පලිහවඩන මහතා කිසියම් පිරිසකගේ ප්‍රහාරයකට ලක්‌වී තිබිණි.

එහිදී ද බරපතළ කැපුම් තුවාල ලැබූ පලිහවඩන මහතා මාස ගණනක්‌ තිස්‌සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලබා තිබිණි. මෙම ඝාතනය සහ මීට වසර 10 කට උඩදී සිදුවූ එම ප්‍රහාරය අතර සම්බන්ධයක්‌ තිබේද යන්න පොලිසිය සොයා බලාගෙන යයි.

ඝාතකයන් පිළිබඳව ඊයේ දහවල් වනතුරුත් කිසිදු තොරතුරක්‌ ලැබී නොතිබිණි. පානදුර මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා සිද්ධිය වූ ස්‌ථානය වෙත ඊයේ පෙරවරුවේ පැමිණ එය පරීක්‍ෂා කළේය.
 
Related Posts with Thumbnails