Ads 468x60px

.

යක්‍ෂයා අවදි කරගන්නට ගියහොත් රටට අනාගතයක්‌ නැති බව වගකීමෙන් කියමු.


හැම මනුස්‌සයකු තුළම යකෙක්‌ සිටී. මිනිස්‌කම පරදා මේ යකා ඉස්‌මතු වන වේලාව මේ යෑයි කියා එම යකා සැඟව සිටින සිරුර අයත් වන මනුස්‌සයා ටවත් කියන්නට බැරිය. සාමාන්‍යයක්‌ වශයෙන් ගත් කල මිනිහකු බාගෙට මත්පැන් පානය කළ විට යකා එළියට එයි. 

මිනිහකු තුළ රාගය බුර බුරා දැල්වෙන්නට පටන් ගත් විටත් යකා එළියට බසී. එමතුදු නොව මිනිසකු තුළ බල ලෝභය ඉස්‌මතු වූ විටත් යකා පිටතට පැමිණ ඒ මිනිහා සමග එක මේසයෙහි වාඩි වී වැඩ පටන් ගනී. 

එසේම මිනිසකුට අනිසි ලෙස බලය ගිය විටත් යකා එබිකම් කිරීමට ලෑස්‌ති වෙයි. මහත් වූ ප්‍රයත්නයක්‌ යොදා නොවළකා ගත්තේ නම් ඒ
යකා එළියට එනවා විතරක්‌ නොව බලය අනිසි ලෙස පාවිච්චි කර සහෝදර ජනයාද අපහරණය කර මහත් වින්නැහියක්‌ කර තම අයිතිකාරයා වූ මනුෂ්‍යයා හිරේ විලංගුවේ යන තරමට දරුණු වැඩ කරයි. 

මේ සම්බන්ධයෙන් අපේ අත දිග තිබෙන හරියේම උදාහරණ විශාල ප්‍රමාණයක්‌ තිබේ. ළඟම උදාහරණය වන්නේ ගිය ආණ්‌ඩුවේ කට්‌ටිය යකා අවදි කර ගැනීම නිසා දැනට හිර කූඩුවල තැපීමය.

නවක වධය යනු ශිෂ්‍ය මට්‌ටමේදී යකා අවදිවීමකි. මෙයින් අප අදහස්‌ කරන්නේ යකා ශිෂ්‍යයකු ලෙස කල්ගත කිරීම නොව ශිෂ්‍යයා තුළ සිටින යක්‍ෂයා අවදි වීමය. අද අප ලියන්නේ එයට අදාළ කතාවකි.

රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්‌ත්‍ර සහ සමාජ විද්‍යා පීඨයේ නවක වධයට ලක්‌ වූ සිසුවියක්‌ සත්‍ය කරුණු හෙළිදරව් නොකිරීම නිසා නවක වධය මුදාහළ ශිෂ්‍යයන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට බැරි තත්ත්වයක්‌ උද්ගතව තිබෙන පුවතක් බව ඊයේ පළවිය. 


එම යකුන් හඳුනා ගතහොත් සරසවියෙන් නෙරපීමට සැලසුමක්‌ තිබිණි. රුහුණ සරසවියේ උපකුලපතිගේ අදහසට අනුව ශිෂ්‍යාවන් සත්‍ය හෙළි නොකරන්නේ නවක වධ යක්‌ෂයන්ගේ තර්ජනයට බියෙනි.

මෙය ඉතා නරක තත්ත්වයකි. වධයට ලක්‌ වූ අය ඒ ගැන කතා කිරීමට අකමැතිනම් හෝ තමන්ට වධ දුන් එකා මොකාදැයි හෙළි නොකරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කළ නොහැක. 


එවිට සිදුවන්නේ තවත් වසරක නවක සිසු සිසුවියනට වධදීම සඳහා මේ කාලකණ්‌ණින් විශ්ව විද්‍යාල දේහය තුළ ඉතිරිවීමය. ලංකාවේ විශ්ව විද්‍යාලවල නවක වධය භාරව මේ දිනවල සිටින්නේ කුමාර් ගුණරත්නම් ගේ පෙරටුගාමී පක්‍ෂය නමැති වාමාංශික දරමැස්‌සේ එල්ලී සිටින පනුවන් පමණි. 

මෙයට ඉස්‌සර ලංකාවේ නවක වධය භාරව සිටියේ ජනතා විමුක්‌ති පෙරමුණය. එහෙත් එම පක්‍ෂයෙන් කැබැල්ලක්‌ කැඩී පෙරටුගාමීන් බිහි වූ පසු නවක වධයේ භාරකරුවන් බවට ඔවුහු පත් වූහ. අද මේ රටේ සරසවිවල ඉගෙනීමට යන නවක ශිෂ්‍යාවන්ට දෙන වධ ඉතාම නීචය තුච්ඡය පාපතරය. 

පැරණි ශිෂ්‍යයන්ගේ මුත්‍රා බොන ලෙස ශිෂ්‍යාවන්ට බලකළ අවස්‌ථා පවා පසුගිය කාලයේදී වාර්තා විය. මේ කාලකණ්‌ණි හැතිකරය නවක වධය දෙන විට කියන කුණුහරුප අසා සිටීමට බැරිය. කුණුහරුපවල වුවද කිසියම් 'කොලිටියක්‌' තිබේ. මේ හැතිකරය කියන්නේ ඉතාම පහත් මට්‌ටමේ කුණුහරුපය.

නවක වධය දෙන වධකයන් අල්ලා සරසවිවලින් නෙරැපීමෙන් නොනැවතී හිරේ විලංගුවේ දැමිය යුතු බවය අපගේ වැටහීම. මේ රටේ තරුණ පරපුර තම ශිෂ්‍ය අවස්‌ථාවේදීම යක්‍ෂයා අවදි කරගන්නට ගියහොත් සෙස්‌සන්ට ඉගෙනුමක්‌ නැති බවත් රටට අනාගතයක්‌ නැති බවත් වගකීමෙන් කියමු.
 
Related Posts with Thumbnails