Ads 468x60px

.

තත්පරයට හැට ගණනේ අපරාධ සිදුවන රටක්‌ වන ලංකාව මරණ දණ්‌ඩනය දීමට ඇඹරෙන්නේ ඇයි?


සවුදි රජය අලුගෝසුවන් හතරදෙනකු බඳවා ගැනීම සඳහා ඉල්ලුම් පත් කැඳවා ඇතැයි ඊයේ (20 දා) අප වෙත වාර්තා වුනා. සවුදි නීතිය අනුව අපරාධකාරයා නො එල්ලන අතර, ඔහුගේ අත් පිටුපසට කර බැඳ බිම දණ ගස්‌වා ඉතා තියුණු කඩු පහරක්‌ දී ගෙල සිඳලනු ලැබේ. 

එය 'වන්ෂොට්‌' ප්‍රහාරයකි. සවුදි රජය ඉතා පුළුල් මට්‌ටමින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට තීරණය කර ඇත්තේ පසුගිය මාස තුන හතර තුළ, එරට සාමාන්‍යයෙන් සිදුවන මිනීමැරුම්වලට වැඩියෙන් ඝාතන දෙක
තුනක්‌ සිදුවූ නිසා ය. 

අලුත් අලුගෝසුවන් දෙතුන්දෙනකු වැඩට ගන්නා බව සවුදි ආණ්‌ඩුව ප්‍රසිද්ධ කරන්නේ තියුණු කඩුවක්‌ අතින් ගෙන සිටින පළපුරුදු අලුගෝසුවකුගේ පින්තූරයක්‌ ද සහිතවය· 

මානව අයිතිවාසිකම් සුරකින සංවිධාන මොනවා කීවද, මරණ දණ්‌ඩනය යනු අපරාධ සිදුවන රටකට අත්‍යවශ්‍ය ක්‍රමවේදයකි. තත්පරයට හැට ගණනක්‌ අපරාධ සිදුවන රටක්‌ වන ලංකාව මරණ දණ්‌ඩනය දීමට මෙතරම් ඇඹරෙන්නේ ඇයි?

ත්‍රස්‌තවාදයට සහ බෙදුම්වාදයට යළි හිස ඔසවන්නට ඉඩ නොදෙමැයි මාතරදී පැවැති රණවිරු සැමරුම් උළෙලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇතැයි ඊයේ (20 දා) පුවත්පත්වල පළ විය. 


මේ රටේ ත්‍රස්‌තවාදය අවසන් ය. එය අවසන් කරන ලද්දේ වසර 2009 දී උතුරේ පැවැති මහා සංග්‍රාමයෙන් පසුව ය. එහෙත් ත්‍රස්‌තවාදය අවසන් වූයේ යෑයි කියා බෙදුම්වාදය අවසන් වීද? නැත. 

බෙදුම්වාදය යනු සංකල්පයකි. මානසික මට්‌ටමකි. එය පවතින්නේ සාමාන්‍ය ජනයාගේ හදවතෙහිය. එය නඩත්තු කරගෙන යන්නේ දේශපාලනඥයන් ය. 

උදාහරණයක්‌ වශයෙන් අයර්ලන්ත බෙදුම්වාදී ව්‍යාපාරය ගනිමු. මෙයට අවුරුදු සිය ගණනකට පෙර අයර්ලන්තය මහා බ්‍රිතාන්‍යයෙන් වෙන් කර දෙන ලෙස ඉල්ලා අයර්ලන්ත ජාතිකයන් පිරිසක්‌ සටන් කරන්නට පටන් ගත් විට ඔවුන් අතේ ආයුධ වශයෙන් තිබුණේ දුනු ඊතල සහ හෙල්ල ය. 

(අද ඔවුන් අතේ තිබෙන්නේ නවීන බෝම්බ ය.) අයර්ලන්ත බෙදුම්වාදී සංවිධානයේ නම IRA ය. ඔවුන් විසින් මුදා හරින බෙදුම්වාදී ප්‍රචණ්‌ඩත් වය පවත්වා ගෙන යන්නේ අයර්ලන්තයේ දේශපාලන පක්‍ෂ මගින් ය. 

අද වන විට ලෝකයේ තිබෙන සෑම බෙදුම්වාදී ව්‍යාපාරයකටම දේශ පාලන අංශයක්‌ ද තිබේ. එය ප්‍රජාතන්ත්‍රවාදී ස්‌වරූපයෙන් දේශපාලනය කරන අතර බෙදුම්වාදී කණ්‌ඩායම වෙනම යුද්ධයක්‌ පවත්වාගෙන යයි. 

දේශපාලනය කරන කොටස දේශපාලන ක්‍රමවේදය හරහා රටෙන් කැබැල්ලක්‌ කඩා ගන්නට උත්සාහ කරන අතර, සටන්කාමී කණ්‌ඩායම් ත්‍රස්‌තවාදය යොදාගෙන එම කැබැල්ල කඩා ගැනීමට තැත් කරයි. 

මේ දෙගොල්ල වෙන වෙනම මෙන්ම එකට ද ක්‍රියා කරති. ප්‍රභාකරන් උතුර වෙනම රටක්‌ ලෙස කඩාගැනීමට සටන පටන් ගත් මුල් කාලයේදී ඔහුගේ දේශපාලන නියෝජිතයා වූ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණය. 

පසු කාලයේදී එම තැනට පත් වූයේ දෙමළ ජාතික සන්ධානය ය. මෙය අද ද ඒ ආකාරයෙන් ම සිදුවෙමින් පවතී. මේ නිසා මේ රටේ ජන වාර්ගික ප්‍රශ්නය විසඳීමේදී ආණ්‌ඩුව දෙමළ ජාතික සන්ධානය සමඟ ක්‍රමවත් සංවාදයක්‌ ගොඩනංවා ගැනීමට උත්සාහ කළ යුතු බව අපි විශ්වාස කරමු.

ත්‍රස්‌තවාදය තාවකාලිකව යටපත් කළ හැකි වුව ද බෙදුම්වාදය තවදුරටත් නඩත්තු වීමට පටන් ගතහොත් ත්‍රස්‌තවාදය යළි හිස එස එසවීම ද වැළැක්‌ වීමට බැරිය. ත්‍රස්‌තවාදයට සහ බෙදුම්වාදයට යළි හිස ඔසවන්නට නොදෙමි යනුවෙන් ජනාධිපතිතුමා කළ කතාව ගැන අපගේ හැඟීම ඕකය.
 
Related Posts with Thumbnails