Ads 468x60px

.

බණ කියන, දැහැමි රටක්‌ ප්‍රාර්ථනය කරන මිනිසුන් සිටින රටක මේ සිදු වන්නේ කුමක්‌ද


පෙරේදා (01 වැනිදා) පුත්තලමේදී දැරියක්‌ පැහැරගෙන ගොස්‌ තිබියදී පොලිස්‌ හා ජනතා මෙහෙයුමකින් මුදාගත් බව පුවත්පත්වලත්, විද්යුත් මාධ්‍යවලත් ප්‍රමුඛතම පුවත බවට පත්ව තිබුණා. 

දරුවා පැහැරගත් අමනයා ද අත්අඩංගුවට ගෙන තිබුණා. දැන් කවුරුත් දන්නා පරිදි සිද්ධිය "රේප් කේස්‌" එකකි. පුවත්පතක බොහෝ විට "රේප්
කේස්‌වලින්" පිරුණු පිටු දැක ගත හැකි වීම අරුමයක්‌ නොවේ. දැන් රේප් කේස්‌ අතිශය බහුලය.

මෑතදී රටක්‌ කම්පාවට පත් කළ අති සංවේදී "රේප් කේස්‌" එක වූයේ යාපනයේ "විද්‍යා" සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමයි. දශක කිහිපයකට ඉහතදී "රේප් කේස්‌" මේ තරම් ප්‍රචණ්‌ඩකාරී බවක්‌ තිබුණේ නැත. 


ඒවා සාමාන්‍යයෙන් ශුද්ධ සිංහලෙන් "අතවර" කතාන්දරවලට පමණක්‌ ම සීමා වී තිබිණි. එහෙත් වර්තමානය වන විට "රේප් කේස්‌" අතිශය දරුණු ලිංගික වධහිංසාවල සිට ඝාතනය කිරීම දක්‌වා ගුණාත්මක වර්ධනයක්‌ පෙන්වයි.

මෙය අහඹු ක්‍රියාදාමයක්‌ නොවේ. මේ අත්හදා බලන්නේ අන්තර්ජාල පිවිසුමේ සිට ජංගම දුරකථනය දක්‌වා ඒ "වීඩියෝ ක්‌ලිප්" වල විකෘති ක්‍රියාදාමයන්ය. අන්තර්ජාලයට වැට බැඳීම හෝ "නීල චිත්‍රපට" නැරඹීම තහනම් කිරීම කළ නොහැක්‌කක්‌ යෑයි කියන්නට ඉක්‌මන් නොවන ලෙස බොහෝ බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

මේ අප ගෙවමින් සිටින්නේ නූතන තාක්‍ෂණයේ දියුණුතම අවධියක මූලාරම්භයයි. කලකට ඉහතදී "වැඩිහිටියන්ට පමණයි. චිත්‍රපටයක්‌ නරඹා ලැබූ සියුම් ආශ්වාදනීය අත්දැකීම වත්මනෙහි සුණුවිසුණුව යන්නේ නූතන තාක්‍ෂණයේ දියුණුව සමගමය. 


දැන් තමා අත ඇති දුරකථනයෙන් නරඹන්නේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට නොව තනිකර XXX ගණයේ චිත්‍රපටය. චිත්‍රපට යනුවෙන් හැඳින්වූවාට මේ කිසිවක කතාවක්‌ නැත. ඇත්තේ විකෘති වූ ලිංගික හැසිරීම් සහිත සිදුවීම් දාමයක්‌ පමණි. 

වර්තමාන 'Porn' වෙබ් අඩවියකට යමෙක්‌ පිවිසියහොත් පසුදින ඔහු විශෝධනය කළ යුතු මට්‌ටමේ පුද්ගලයකු බවට පත්වීම වැළැක්‌විය නොහැක. "රේප් කේස්‌" වලට අදාළ වන්නේ මෙවැනි පුද්ගල හැසිරීම්වල මනෝ භාවයන්ය.

ඊට හොඳම නිදර්ශනය කොටකෙතන ඝාතන සිද්ධි දාමයේ එක්‌ නඩුවකදී සාක්‍ෂි වාර්තාවලින් දැක්‌විය හැකිය. එහිදී එක්‌ සැකකරුවකු පවසා තිබුණේ තවත් සැකකරුවකු අපරාධය සඳහා සම්බන්ධ කර ගැනීමට පෙර ඔහුට "නිල් චිත්‍රපට" රැසක්‌ බලන්නට සැලැස්‌වූ බවය. 


කොටකෙතන ඝාතන කවරකු විසින් සිදු කළ ද ඒවා "රේප් කේස්‌" වලින් ඔබ්බට ගිය අතිශය දරුණු ප්‍රචණ්‌ඩකාරී බවක්‌ ඉසිලීය. යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය ද එලෙසමය. පෙර කී ලෙස අපරාධයේ ගුණාත්මක බව කොතරම් ඉහළ ගොස්‌ ඇත්දැයි කිවහොත් විද්‍යාට අතවර කිරීම වීඩියෝ ගත කර පිටරටවලට අලෙවි කිරීමද සිදුවී තිබේ. 

එතරම් තිරිසන් බවක්‌ ආරෝපණය වීමට නම් යම් ප්‍රබල මානසික පෙළඹවීමක්‌, උත්තේජනයක්‌ අවශ්‍ය බව කිව යුතු නොවේ. වර්තමානයේ Porn අඩවි වීඩියෝ ක්‌ලිප් ඉටු කරමින් සිටින්නේ ඒ කාර්ය භාරයයි.

වර්තමානයේ ලැඟුම්හල් කේස්‌ බහුල වීමට ද හේතුව එයමය. ලැඟුම්හල් වලට රිංගන පොඩි කෙල්ලන් කොල්ලන්ගේ ජංගම දුරකථන පරීක්‍ෂා කර බලන කවරකු හට වුවද තත්ත්වය තේරුම් ගත හැකිය. 


එලෙස "කැමැත්තෙන් අතවර"වලට ලක්‌වන්නන් මෙන් නොව පුත්තල මේ සිද්ධියට අදාළ කටේ කිරි සුවඳ නොගිය දැරිවියන්ගේ "රේප් කේස්‌" කතාන්දර ඛේදජනකය. "නීල වීඩියෝ ක්‌ලිප්"වල පරිකල්පනය කරන ලද ෆැන්ටසිමය (විකෘති) කතාන්දර සැබෑ ජීවිතයේදී අත්හදා බලන්නට යැම කෙළවර වන්නේ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලිනි. 

අන්තර්ජාලයට වැට බැඳිය නොහැකි නම් අවම වශයෙන් රටේ තිබෙන නෙට්‌ කැෆේ සහ සයිබර් කඩ වසා දැමිය හැකි ක්‍රමයක්‌ සෙවීම බලධාරීන් ගේ යුතුකමය. මන්ද "XX", "XXX" නීල චිත්‍රපට මිටි ගණනින් නැරඹීමට මේ සයිබර් කඩ අවස්‌ථාව සලසා දෙන බැවිනි.

මේ අභාග්‍යසම්පන්න ඉරණමේ මුලින්ම සිටින්නේ අප රට පමණක්‌ නොවේ. අන්තර් ජාලය හරහා විවිධ සමාජ ජාල වෙබ් අඩවි මගින් දැන හඳුනාගෙන අතිශය දරුණු ලිංගික අපරාධ කිරීමට පෙළැඹී සිටින්නේ බොහෝ බටහිර රටවල විකෘති වූ කාම රෝගීහු ය.

එහෙත් ප්‍රශ්නය වී තිබෙන්නේ තුන් වේලට බණ අහන, බණ කියන, දැහැමි රටක්‌ ප්‍රාර්ථනය කරන මිනිසුන් සිටින රටක මේ සිදු වන්නේ කුමක්‌ද යන්නය.
 
Related Posts with Thumbnails