Ads 468x60px

.

ඒ ජනපති සහ මේ ජනපති - ජනතාව තාමත් ඇත්ත පිලිගැනීමට අකමැති ඇයි..?


ලෝකයේ 'දුප්පත්ම රාජ්‍ය නායකයා' ලෙසින් උරුගුවේ ජනාධිපති පදවිය හෙබ වූ හොසේ මොහිකා කලෙක හැඳින්විණි. 'කලෙක' යැයි ලීවේ ඔහු අද ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ලබා සුපුරුදු පරිදි සිය පෞද්ගලික ගොවිපළේ වැඩකටයුතුවල නිරත වෙමින් සිටින නිසාය. 

'සුපුරුදු පරිදි' යැයි කීවේ මොහිකා ජනාධිපති ධුරය දරද්දීත් සිය ගොවිපොළේ වැඩකටයුතුවල නිරත වූ නිසාය.

සිය ආදරණීය බිරිය හා සුරතල් බල්ලා සමඟ ගොවිපොළේ පිහිටි කුඩා නිවෙසේ ජීවත් වූ මොහිකා ජනාධිපති නිල නිවෙසට ගියේ රාජකාරි කට යුතු සඳහා පමණි. ඒ සිය පැරැණි මෝටර් රිය පදවා ගෙනය. ජනවරමෙන්

දෙවරක් උරුගුවේ ජනාධිපති පදවියට පත්වූ හොසේ මොහිකා ජනාධිපති පුටුවෙන් පමණක් නොව සිය පක්‍ෂයේ නායක ධුරයෙන්ද සමුගත්තේය.

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාද උරුගුවේ හිටපු ජනාධිපති හොසෙ මොහිකාට සමානය. ඒ වත්පොහොසත්කම් වලින් නොව, ක්‍රියා පිළිවෙළිනි. ජනවරමින් ජනාධිපති ධුරයට පත්වූ මැන්ඩෙලා ට එක්වරක් නොව දිවි ඇතිතුරා ජනාධිපති පුටුව දැරීමට ඕනෑතරම් ඉඩකඩ තිබිණි. 


ඒ අන්කිසිවක් නිසා නොව වර්ණභේද වාදයෙන් රට නිදහස් කරගත් විමුක්ති අරගලයේ නියමුවා මැන්ඩෙලා වීම නිසාය. එහෙත් ඔහු ජනාධිපති ධුරයේ නොව සිය පක්‍ෂයේ නායක පුටුවේ රැඳී සිටීමද ප්‍රතික්‍ෂේප කළේය. පක්‍ෂය අලුත් නායකයකුට භාරදී ජනාධිපති ධුරයෙන් ඉවත්ව ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගත්තේය.

මෙවැනි ආදර්ශවත් රාජ්‍ය නායකයන් ලෝකයේ හිඟ නැත. අඩු වැඩි වශයෙන් බටහිර රටවල බොහෝ රාජ්‍ය නායකයෝ ආදර්ශවත්ව කටයුතු කරති. පෞද්ගලික රුචි අරුචිකම් පොදු සමාජ අරමුණු වෙනුවෙන් කැප කරනවා හැර විකල්පයන් ඔවුන්ට නැති බැවිනි. සිවිල් සමාජය සමඟ ඇති ගිවිසුම කඩ වුවහොත් මේ නායකයන්ට දෙවරක් නොසිතා වේදිකාවෙන් බැස යෑමට සිදුවේ. 


ආසියාවට, අප්‍රිකාවට හා ලතින් ඇමෙරිකාවට අයත් රටවල තත්ත්වය යුරෝපයට සමාන නොවුණද හොසේ මොහිකා, නෙල්සන් මැන්ඩෙලා වැනි රාජ්‍ය නායකයෝ ඒ රටවලින්ද බිහිවෙති. අසල්වාසි ඉන්දියාවේ මහත්මා ගාන්ධි, ශ්‍රී නේරු, ජෝති බාසු වැනි නායකයන් අයත් වන්නේ ඒ කුලකයටය. 

අවාසනාවට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් අතර ආදර්ශවත් නායකයන් අතේ ඇඟිලි ගාණටත් අඩුය. 1948 නිදහසින් පසු රාජ්‍ය නායක ධුරය හෙබ වූවන් අතර හොඳ - නරක ගුණාංග අඩු වැඩි වශයෙන් තිබිණි. බොහෝ විට සිදුවූයේ රාජ්‍ය නායක ධුරය නිසා නායකයන් බැබළීම මිස ඔවුන් නිසා රාජ්‍ය නායක ධුරය බැබළීම නොවේ.

එදා මෙදාතුර මෙරට රාජ්‍ය නායක ධුරය දැරුවන් අතරින් වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැපී පෙනෙන්නේ අන් කිසිවක් නිසා නොව ඔහුගේ සරල, චාම් බව, අව්‍යාජ ක්‍රියා පිළිවෙත නිසාය. 


බලයෙන් මත් නොවී බලය අත්හැරීමට ඔහු තුළ ඇති අභිලාෂය මුල සිටම කැපී පෙනුණි. තමන් දුටු නිහතමානීම රාජ්‍ය නායකයා ලෙස පාප්තුමා ගෙන් සහතිකයක් ජනාධිපතිවරයාට ලැබුණේ එනිසාය.

ජනාධිපතිවරණයට තරග වදිමින් මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළ පරිදිම ජයග්‍රහණයෙන් පසු 'මන්දිරවල' පදිංචියට ගියේ නැත. වාහන පෙළපාළියකින් ගමන් කිරීම, විශාල ආරක්‍ෂකයන් පිරිසක් පිරිවරා ගෙන යෑම, ජනාධිපතිවරයා විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. 


අභ්‍යන්තර ගුවන් ගමනක් යොදා ගන්නේ අත්‍යවශ්‍යම රාජකාරි කටයුත්තක් සඳහා පමණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මාසික වියදම තුනෙන් දෙකකින් කපා දමා තිබේ. 

පවුලේ කිසිවකුට ජනාධිපති වරප්‍රසාද භුක්ති විඳීමට ඉඩදී නැත. සිය බිරිය ජනාධිපති ආර්යාවක ලෙස විශේෂයෙන් හඳුන්වාදීමට. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උත්සාහ නොකරයි. 

පිටරට සංචාරවලදී සියගණනක් පිරිවරා පිරිස් රැගෙන යන්නේද නැත. රජයේ තනතුරු සුදුසුකම් නැති ඥාති හිතමිත්‍රාදීන්ගෙන් පිරවීමට ජනාධිපතිවරයා කටයුතු නොකරයි.

ජනතා බදු මුදල් අනිසි ආකාරයට වියදම් නොකර සරල චාම් දිවි පෙවෙතක් ගත කරන බවට ජනාධිපතිවරණයට පෙර දුන් පොරොන්දුව අකුරටම ඉටු කිරීමටත්, ජනතා මුදල් කාබාසිනියා කළ වුන්ට දැඩි දඬුවම් දීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා මෙතෙක් කල් කළ කී දෙයින් පෙනේ.


සාමාන්‍ය වෙළෙඳසලකට සපත්තු ජෝඩුවක් මිලදී ගැනීමට ගොස් සපත්තු තෝරන ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් ඊයේ (04) දා සියලු පුවත් වෙබ් අඩවි වල මුල් පිටුවේ පළ විය. එය 'මාධ්‍ය සන්දර්ශනයක්' නොවන බව පැහැදිලිය. මෑත ඉතිහාසයේ රාජ්‍ය බලය හොබවූවන්ගේ දුටු විසූකදස්සන ගැන හිතන විට එය නෙතට රසඳුනකි සිතට සැනසිල්ලකි.
 
Related Posts with Thumbnails