Ads 468x60px

.

ෆෝන් එක ස්මාර්ට් වුණාට මදි. තමනුත් ස්මාර්ට් වෙන්න ඕන - මේ කියන්නේ සෙල්ෆි ගැනයි.


ඔහු තවමත් දහ නව හැවිරිදි සිසුවෙකි. ඉගෙනුම ලබමින් සිටින්නේ මාතර තෙලිජ්ජවිල පාසලකය. මාතර නූපේ ප්‍රදේශයට එම සිසුවා සති අන්තයේ පැමිණෙන්නේ උපකාරක පන්තිවලට සහභාගි වීමටය. 

තවම උසස් පෙළ පන්තියේ සිටින සිසුන් බොහොමයකගේ අත තිබෙන්නාක් මෙන් මොහුගේ අතේද ජංගම දුරකථනයකි. එය නිකම්ම නිකම් ජංගම දුරකථනයක් නොවේ. අන්තර්ජාල පහසුකම් ඇති කැමරා පහසුකම් ඇති ස්මාර්ට් ෆෝන් වර්ගයේ ජංගම දුරකථනයකි.

තවත් මිතුරන් පිරිසක් සමග උපකාරක පන්තියට යන අතරවාරයේදී දුම්රියක් එනු ඔහු දුටුවේ මේ අතරදීය. ඉදිරියට යන දුම්රියක් පසුබිම් කරගෙන සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ඔහුට අවශ්‍ය විය. තමන්ගේ මිතුරන්ද කැටිව සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට සූදානම් වන විටම මහනුවර සිට මාතර

බලා ධාවනය වන දුම්රිය ඔවුන් අසලින් ගමන් කළේ මේ අතරය. 

දුම්රිය තමන් දෙසට පැමිණෙනු දුටු මිතුරෝ දුම්රිය මාර්ගය අසලින් එහාට පැනගත්තෝය. එහෙත් එම සිසුවාට දුම්රිය අසලින් ඉවත්වීමට නොහැකි විය. දුම්රිය සමග සෙල්ෆි ගන්නට ගිය එම සිසුවාට අවසානයේදී සිදුවූයේ බරපතළ තුවාල ලබා රෝහල්ගත වීමටය.

සෙල්ෆි ගන්නට ගොස් අකරතැබ්බයක් සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ. මෑත කාලයේ මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබුණු  ආසන්නතම සිදුවීම මාතර සිසුවාගේ සිද්ධිය වුවත් ලෝකයේ තැනින් තැන සෙල්ෆි ගන්නට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අවස්ථාවන් ගැන හතර වටින් වාර්තාවිය. 


ඉන්දියාවේ ටජ්මහල නැරඹීමට යමින් සිටි ඉන්දියාවේ විශ්වවිද්‍යාල සිසුන් සිව් දෙනෙක් රේල්පාරක් අසල වාහනය නතර කළේ තමන්ගේ ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමටය. ඒ පසුබිමෙන් ඇදී එන දුම්රියක් සමගය. 

දුම්රියක් සමග සෙල්ෆි ගැනීමට ගිය සිසුන් සිව් දෙනාගෙන් තිදෙනෙක්ම එම දුම්රියටම බිලි වූහ. ජීවතුන් අතර සිටි  විශ්වවිද්‍යාල සිසුවා තමන්ගේ යහළුවන් තිදෙනාගේ මරණයේ ජීවමාන එකම සාක්ෂිකරුවා විය.

සෙල්ෆි උන්මාදය කොතරම් දරුණුවට පැතිර ගොස් තිබුණේද කියතොත් මීට වසරකට පෙර දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි ගුවන් යානයක් අනතුරට ලක්වීමට හේතුව ලෙස සැක කළේද ගුවන් නියමුවා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමයි.


ඇතැම් අවස්ථාවන්හිදී සෙල්ෆි ගැනීම උන්මාදයක් සේ පැතිර ගියේය. පසුගිය මාස කිහිපය තුළදී එසේ උන්මාදයක් සේ පැතිර ගියේ දඩ සෙල්ෆිය. දඩ සෙල්ෆි යනු ‍පොලීසිය විසින් වාහන වරදකට දඩයක් නියම කළ විට සෙල්ෆියක් ගෙන ෆේස්බුක් වබේ අඩවියට ඇතුළත් කිරීමය.
මේ ආකාරයට උන්මාදයක් සේ පැතිර ගිය සෙල්ෆි ඡායාරූප යනු තමන්ගේ ජංගම දුරකථනයේ ඉදිරිපස කැමරාවෙන් ගන්නා ඡායාරූපයි.


ස්මාර්ට් ෆෝන් ජනතාව අතර ප්‍රචලිත වීමත් සමගින් සෙල්ෆි ඡායාරූප ගෙන ඒවා සමාජ ජාල වබේ අඩවිවලට ඇතුළත් කිරීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වති. ෆේස්බුක් හා ට්විටර් වැනි සමාජ ජාල වබේ අඩවිවල ඇති ඡායාරූපවලින් බොහොමයක් සෙල්ෆි ඡායාරූපයි. 

තමන්ගේ මිතුරන් හමුවූ තැන් පටන් ආහාර ගන්නා තැන දක්වාම සෙල්ෆි ගන්නෝ සිටිති. සෙල්ෆි උන්මාදය කොතරම් උග්‍රවී ඇත්ද යතොත් ඇතැම් තරුණියෝ හෝටලයක වැසිකිළියකට ගිය විට පවා ගන්නා සෙල්ෆි ඡායාරූප සමාජ ජාල වබේ අඩවිවල ඇතුළත් කරති.

සාමාන්‍ය තරුණ තරුණියන් පමණක් නොව දේශපාලනඥයෝද සෙල්ෆි ඡායාරූප ගැනීමට අමතක නොකරති. මාධ්‍යවේදීන් සඳහා පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකදී අගමැති රනිල් වික්‍රමසිංහ සමග සෙල්ෆි ගැනීමට මාධ්‍යවේදීහු අමතක නොකළහ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් සෙල්ෆි ඡායාරූප ගැනීමට අකමැත්තක් නොදක්වන දේශපාලනඥයෙකි.


සුපිරි හෝටලයක් පැවැති විවාහ මංගල උත්සවයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග තරුණියක් ගත් සෙල්ෆි  ඡායාරූපයක් සමාජජාල වබේ අඩවිවල පළවූයේ එයට වෙනත් අර්ථකථනයක්ද එක් කරමිනි.

සෙල්ෆි  ඡායාරූප ගැන මෑත කාලයේ ජාත්‍යන්තර දේශපාලනය තුළ ආන්දෝලනයක් ඇතිවූයේ දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අවමඟුල් උත්සවයකදී ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හා ඩෙන්මාර්කගේ අගමැතිවරිය සමග ගත් සෙල්ෆි ඡායාරූපයයි. අවමඟුල් උත්සවයකදී සැහැල්ලුවෙන් සෙල්ෆි ඡායාරූප ගැනීම ගැන දැඩි විවේචනයක් එල්ලවිය.


ඇමරිකාවේ පමණක් නොව ලංකාවේ අවමඟුල් උත්සවලදී සෙල්ෆි ගැනීම් ගැන වාර්තාවෙයි. එපමණක් නොව එමගින් ලංකාව ලෝක වාර්තාවක්ද තබා තිබේ. ඒ ලෝක වාර්තාව වනාහි ලෝකයේ නරකම සෙල්ෆි දහය අතරට ලංකාවේ සෙල්ෆියක් ඇතුළත් වීමයි. 


ලංකාවේ තරුණයෙක් මෘත දේහයක් සමග ගත් සෙල්ෆියක් අන්තර්ජාලයට මුදාහැර තිබූ අතර එය ලෝකයේ නරකම සෙල්ෆි දහයෙන් එකක් සේ සැලකෙයි.


මෙතරම් අවදානමක් ඇතිව සෙල්ෆි ගැනීමට හේතුව කුමක්දැයි මේ වන තෙක් අනාවරණය කරගැනීමට සමාජ විද්‍යාඥයන් හෝ මනෝ විද්‍යාඥයන් සමත්ව නැත. 


ඒ ගැන නව මාධ්‍ය ප්‍රවණතාවන් පිළිබද ප්‍රාමාණිකයෙකු වන නාලක ගුණවර්ධන දක්වන්නේ මෙවන් අදහසකි.
සෙල්ෆි ඡායාරූප ගැනීමට හේතුව කුමක්දැයි යන්න මනෝ විද්‍යාඥයන් අතර තවමත් විවාදයට තුඩු දෙන කරුණක්. 


මමත්වය නිසා මේ ආකරයට සෙල්ෆි ඡායාරූප ගෙන සමාජ ජාල වබේ අඩවිවලට ඇතුළත් කරනවා යැයි ඇතැම් මනෝ විද්‍යාඥයන් පවසනවා. තමන් අනෙක් අයට වඩා ශක්තිමත්, අනෙක් අයට වඩා වැඩි පෞරුෂත්ව යක් තිබෙනවා යැයි පෙන්වීමට මෙවැනි දේ කරනවා විය හැකියි. 

වහලවල් උඩ නැගගෙන, ධාවනය වන දුම්රිය ඉදිරිපිට සිටගෙන, කාටවත් යා නොහැකි තැන්වලට වී සෙල්ෆි ගැනීමට උත්සාහ ගන්නේ මේ නිසයි නාලක ගුණවර්ධන පවසන්නේය.

සමාජ ජාල වබේ අඩවි ජනප්‍රිය වීමත් සමගින් සෙල්ෆි ඡායාරූපවලට තිබූ ඉල්ලුම ඉහළ ගිය බව ඔහුගේ අදහසයි. පසුගිය වසර දෙක තුන තුළ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන ජනප්‍රිය වීමත් සමගින් මේ තත්ත්වය තවත් ඉහළ ගිය බව ඔහු කියයි.


ඉස්සර ඩිජිටල් කැමරාවකින් ඡායාරූපයක් අරගෙන සමාජ ජාල වබේ අඩවියකට දාන්න ඕන. කැමරාවකින් ගන්නා ඡායාරූපයක් පරිගණකයට ඇතුළත් කරගෙන එය වබේ අඩවියට ඇතුළත් කළ යුතුයි. 


ඒකටත් විනාඩි කිහිපයක වෙලාවක් යනවා. ඒත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන ප්‍රචලිත වීමත් සමග ජංගම දුරකථනයෙන් ගන්නා ඡායාරූපය එසැණින් සමාජ ජාල වබේ අඩවිවලට ඇතුළත් කිරීමට පුළුවන්. 

මේ සමග සෙල්ෆි ඡායාරූප ප්‍රචලිත වෙන්න ගත්තා නාලක ගුණවර්ධන පවසයි. මේ ආකරයට ජනප්‍රිය වූ සෙල්ෆි ඡායාරූප ගැනීම අනතුරුදායක වන්නට ගැනීමත් සමග විවිධ රටවල ආරක්ෂිතව සෙල්ෆි ගැනීම් ගැන කතා කරන්නට විය. 

පසුගිය සති කිහිපය වන විට සෙල්ෆි ඡායාරූප ගැනීම ගැන විවේචන එල්ලවීමෙන් ඔබ්බට ගිය පියවරක් රුසියාවෙන් වාර්තා විය. ඒ අවදානම් සහගත සෙල්ෆි ඡායාරූප ගැනීම ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමය. වීඩියෝ හා අන්තර්ජාලය ඔස්සේ මේ දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක විය. 

ආදර්ශ මාර්ග සලකුණු මෙන් සකස් කර තිබූ අනතුරු හැඟවීමේ පුවරු  කාගෙත් අවධානයට යොමුව තිබුණේය. දුම්රිය අසල, බෝට්ටුවල සිට, සතුන් සමග, ගිනි අවි අතදරාගෙන, නිවෙස්වල වහල මත සිටගෙන, අවදානම් බෑවුම් මත සිට ගෙන සෙල්ෆි ගැනීම අවදානම් සහගත බව එම සංඥාවල සඳහන්ව තිබුණේය. 

ඊට හේතුව වූයේ විසි එක් හැවිරිදි තරුණියක් මොස්කව් නුවරදී ගිනි අවියක් සමගසෙල්ෆි ඡායරූපයක් ගැනීමට යාමේදී ගිනි අවිය පත්තු වීමෙන් අනතුරට ලක්වීමයි. ගිනි අවිය පත්තුවීමෙන් ඇගේ හිසට හානි සිදුවුවත් දිවි බේරාගැනීමට තරම් ඇය වාසනාවන්ත වී තිබුණාය.

රාජ්‍ය මට්ටමින් අවදානම් සහගත නොවන ලෙස සෙල්ෆි ගැනීමට රුසියානු රජය මැදිහත් වුවත් ලෝකයේ වෙනත් කිසිදු රටක ඊට රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමක් නොවීය. එහෙත් සමහර ආයතනික මට්ටමින් විවිධ පියවරන් අනුගමනය කිරීම් වාර්තා වෙයි. 


සිංගප්පූරුවේ සත්වෝද්‍යානයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ඉඩ නොදෙන්නේ ඇතැම් නරඹන්නන් සිංහයන්, කොටි, වලසුන් වැනි සතුන් සමග සෙල්ෆි ගැනීමට ගොස් ඔවුන් කලබලයට පත්වීම් වාර්තාවීම නිසාය.

ලෝකයේ ඇතැම් කලාගාරවලට හා කෞතුකාගාරවලට සෙල්ෆි ගැනීමට යොදාගන්නා සෙල්ෆි ස්ටික් ගෙන යන්නට දෙන්නේ නැත. ඒ සෙල්ෆි ස්ටික් යොදාගෙන ඡායාරූප ගන්නට ගොස් ඇතැම් කලා නිර්මාණවලට හානි සිදුවීම නිසාය. නැතිනම් කෞතුක භාණ්ඩවලට හානි වීම නිසාය. 


ඩිස්නි සමාගම විසින් පාලනය කරන විනෝද උද්‍යානවල සෙල්ෆි ගැනීම තහනම් කර ඇත්තේ ආරක්ෂිත පියවරක් ලෙසය. සෙල්ෆි ගැනීමේදී නීති පනවා නැතත් තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතු යැයි නාලක ගුණවර්ධන පවසන්නේය.

නීති පනවනවාට වඩා සෙල්ෆි  ගැනීමේදී තමන් තමන්ගේම ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. සැහැල්ලුවට විනෝදයට ගන්න දෙයක් නිසා සෙල්ෆි ගැනීම නීතියෙන් පාලනය කරන්න බෑ. ඒ නිසා තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි. අවදානම් තැන්වල සෙල්ෆි ගැනීමෙන් වළකින්න ඕන. 


ඒ වගේම ආරක්ෂාවක් තිබුණත් සෙල්ෆි ගත යුතු නැති තැන් තිබෙනවා. මළසිරුරක් අසල සිට සෙල්ෆි ගැනීම නොකළ යුතු දෙයක්. ඒ නිසා තමයි මළසිරුරක් අසල සිටගෙන තිබෙන සෙල්ෆිය ලෝකයේ නරකම සෙල්ෆියක් බවට පත්ව තිබෙන්නේ නාලක ගුණවර්ධන පැවැසුවේය.

ඔහු පවසන්නේ සෙල්ෆි ගැනීමේදී ස්වයං විනයක් ඇතිකරගත යුතු බවය. මාධ්‍ය තුළින් හා අධ්‍යාපනය තුළින් සෙල්ෆි ගැනීම් ගැන දැනුවත් කිරීම වැදගත් බවද ඔහු පවසයි. එය මාධ්‍යයේ වගකීමක් බව ඔහුගේ අදහසයි.


ෆෝන් එක ස්මාර්ට් වුණාට මදි. තමනුත් ස්මාර්ට් වෙන්න ඕන. ඒ වගේම සංවේදී වෙන්නත් ඕන ආරක්ෂිතව සෙල්ෆි ගැනීම ගැන පැහැදිලි කරන නාලක ගුණවර්ධන පැවැසුවේය.
 
Related Posts with Thumbnails