Ads 468x60px

.

මම මේ කියන්නේ හරියට මුදලක් ලැබෙනවා වගේ ඕපාදූප හොයන ඔහේ කියවන අයටයි – සමිතා


ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වයෙන් සමිතා මුදුන්කොටුවට අසාධ්‍ය වුණා කියලා ආරංචි වුණා. ඒ ගැන අහන්න සහ ඇගේ කලා ජීවිතයේ තොරතුරු විමසන්න සංගීත ක්ෂේත්‍රයේ ලයාන්විත හඬ වූ සමිතාව අපි එකතු කරගත්තා. මේ සමිතා ගැන තොරතුරුයි.

සමිතා ඉන්ෆ්ලුවෙන්සා H1N1 රෝගයෙන් අසාධ්‍ය වුණා කියලා ආරංචියි. දැන් අසනීප තත්ත්වය කොහොමද?


දැන් නම් අසනීප තත්ත්වය හුඟක් දුරට හොඳයි. අසනීප වුණු ගමන්ම ප්‍රතිකාර සඳහා යොමුවුණා. ඒ නිසයි ඉක්මනට සුව වෙන්න ලැබුණේ.

ඔබ දෙවැනි වතාවටත් දෙරණ ඩී්‍රම්ස්ටාර් වේදිකාවේ විනිශ්චය මණ්ඩලයේ වාඩිවුණා. තරුණ අයගේ දක්ෂතා ඔබ දකින්නේ කොයි විදිහටද?


තරුණ දක්ෂ ළමයි දකිනවා. හුඟක් වෙලාවට මම දක්ෂයින් අගයන කෙනෙක්. හොඳ නරක පෙන්නලා දෙනවා විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන කෙනෙක් හැටියට. ඒ වගේම අලුත් පරපුරේ කාගේ හරි ලස්සන සින්දුවක් ඇහුණොත් මම ඒ අයව අගය කරන්න අමතක කරන්නෙත් නැහැ. 

විවේකයක් තියෙන වෙලාවට අඩු තරමින් ඒ හ¾ෙඩ් අයිති කාරයාට කෝල් කරලා හරි මම සුබ පතනවා. අලුත් අය සංගීත ක්ෂේත්‍රය ට බිහිවෙන්න ඕන. ඒ අයට අපි ගරහලා තේරුමක් නැහැ. මම ප්‍රවීණයන්ටත් ගරු කරනවා.

කාලයකින් සමිතාගෙන් අලුත් ගීතයක් අහන්න ලැබුණේ නැහැ. අලුත් ගීත සංගීත ක්ෂේත්‍රයට එකතු කරන්න අදහසක් නැද්ද?


පහුගිය කා‍ලේ ගීත කීපයක් කළා. ඒ එක ගීතයකට රූප රචනයකුත් නිර්මාණය කළා.මේ ගීත ටික ළඟදීම මාධ්‍ය ඔස්සේ රසිකයන්ට සමීප කරන්න බලා‍පොරොත්තු වෙනවා.

මේ දිනවල සංගීත ප්‍රසංග එක්ක සමිතා කාර්යබහුල වෙලාද?


විදෙස් ප්‍රසංගවලට ආරාධනා ලැබුණොත් සහභාගි වෙනවා. ඊට අමතරව මට පහසු දුරක තියෙන සංගීත ප්‍රසංගවලටත් සහභාගි වෙනවා. සංගීත ප්‍රසංග එක්ක කාර්යබහුල වෙලා නැහැ. හැම සංගීත කටයුත්තක්ම කරන්නේ කාලය කළමනාකරණය කරගෙනයි. එතකොට හිතන තරම් කාර්යබහුල වෙන්නේ නැහැ.

ඒ කියන්නේ දරුවන් එක්ක කාලය බෙදාගන්න සමිතා හොඳ ගෘහණියක්, හොඳ අම්මා කෙනෙක්?


ඔව්. මම හැමදේම කරන්නේ මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන්. ඒ අයව මම සතුටින් තියන්න උපරිම දේ කරනවා. මගේ ශක්තිය මගේ දරුවෝ දෙන්නා. කාවින්ධ්‍යා දුව නම් උසස් පෙළ හදාරලා ඉවරයි. 

පුතා ෂේන් පාස‍ලේ 7 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා. මගේ වැඩි කාලයක් ගවෛන්නේ පුතාගේ අධ්‍යාපන වැඩවලට. මගේ දුව මට හරියට අම්මා කෙනෙක් වගේ. මගේ යාළුවත්, දුවත් එයාමයි. මගේ හිත සැහැල්ලුවෙන් තියන්න ඒ දෙන්නා මහන්සි ගන්නවා.

ඒ නිසා මම දරුවන්ට හොඳ අම්මා කෙනෙක්. ඒ වගේම මට හොඳ දරුවෝ දෙන්නෙක් ලැබිලා තියෙනවා. මම හරිම වාසනාවන්තයි.

දුව කාවින්ධ්‍යා නම් ගායනයට ප්‍රසිද්ධයි. පුතා ෂේන්ව සංගීතයට යොමු කරන්නේ නැද්ද?


පුතාටත් ලස්සනට සින්දු කියන්න පුළුවන්. එයා නිතරම පරණ ගීත රසවිඳිනවා. ඒවා ගායනා කරනවා. ඒත් එයාට ගායකයෙක් වෙන්න ඕන කියලා අදහසක්, කැමැත්තක් නම් නැහැ. එයාගේ රසවින්දනය වෙනුවෙන් එයා ගීත ගායනා කරනවා. 

එයා හුඟක් ආසයි අමරදේව මාස්ටර්ගේ ‘අඩවන් වූ දෙනෙතින්’ කියන ගීතය ගායනා කරන්න. එයා කැමැති නම් සංගීතයට යොමු කරන්න මම උදව් කරනවා. එයා සංගීතයට යොමු වුණත් නැතත් මට දුකක් නැහැ. එයා හොඳ දරුවෙක් වුණොත් මට ඒ ඇති.

පුතා දැන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් නේද?


ඔව්. පුතා සනත් ජයසූරියගේ ක්‍රිකට් ඇකඩමියේ සාමාජිකයෙක්. පහුගිය කාලයේ ඇකඩමියෙන් ඉන්දියානු සංචාරයකටත් සහභාගි වුණා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න තමයි පුතා හුඟක් කැමති. දක්ෂ ක්‍රීඩකයෙක් වෙයි කියලා හිතෙනවා.


සමිතා මුදුන්කොටුව කියන්නේ සමාජයෙන් ගැරහුම් ලබන ගායිකාවක් වෙලාද?


කවුරු මොන දේ කළත් මට ආදරය කරන පිරිසක් මගේ වටේට ඉන්නවා. සියයට එකක් දෙකක් වැරදි හොයනවා. හරියට මම එයාලට වරදක් කරලා තියෙනවා වගේ. සමහර වෙලාවට මම ම කල්පනා කරනවා ඇයි මේ අය මෙහෙම මං ගැන කතා පතුරුවන්නේ කියලා. 

 
එහෙම කතා කරන මිනිස්සුන්ට මම වරදක් කරලත් නැහැනේ කියලා. ඒත් මම කවදාවත් ඒ ගැන කම්පා වෙන්නේ නැහැ. විශාල පිරිසක් මට ආදරය කරද්දී කෙනෙක් දෙන්නෙක් මං ගැන පතුරුවන ඕපාදූප වැදගත් නැහැ. මට විශ්වාසයි  මට ආදරය කරන මිනිස්සු මගේ ළඟින් හැමදාම ඉඳීවි කියලා. සමාජයම මට දොස් කියන්නේ නැහැ. 

මම සමාජයෙන් ගැරහුම් ලබන ගායිකාවකුත් ‍නෙවෙයි. ආදරය ලබන කෙනෙක් මිසක් කෙනෙක් දෙන්නෙක්ගේ නොහොබිනාකම් මට වැදගත් නැහැ. මට කියන්න තියෙන්නේ එච්චරයි.

සමිතා නොකියා කියන්නේ සමිතාට මඩ ගහන්නේ මාධ්‍ය කියලද?


කොහෙත්ම නැහැ. මම ගායිකාවක් විදිහට රැඳෙනවා නම් රැඳෙන්නේ මගේ ආදරණීය රසික රසිකාවියන්ගේ ප්‍රතිචාර හා මාධ්‍ය නිසයි. ඒ නිසා මඩ ගහන කොටසට හෝ දොස් කියන ගොඩට මාධ්‍යවත්, රසිකයන්වත් අයත් වෙන්නේ නැහැ. මොකුත් නොකරන හරියට මුදලක් ලැබෙනවා වගේ ඕපාදූප හොයන ඔහේ කියවන පිරිසටයි මම මේ කිව්වේ.
 
Related Posts with Thumbnails