Ads 468x60px

.

ආතල් එකක් දී මුළු පර්ස් එකම සුද්ද කරන අපේ රටේ නයිට් ක්ලබ් කෙල්ලෝ


නයිට්‌ ක්‌ලබ් හෙවත් රාත්‍රී සමාජ ශාලා කියූ විට අපගේ සිතට ඇති වන්නේ සල්ලිකාර නොසන්ඩාලයින් ගැවසෙන සමාජ ශාලාවක්‌ ලෙසිනි. නයිට්‌ ක්‌ලබ් ගියොත් විනාශයි. මුළු සේසතම නැති කරගත්තට පස්‌සෙ තමයි නයිට්‌ ක්‌ලබ් යන එක නතර වෙන්නෙ. 

සමහරු නයිට්‌ ක්‌ලබ් යැම ගැන පවසති. පසුගිය කාලයේ ජනප්‍රිය දේශපාලනඥයන්ගේ පුත්‍රයන් කොළඹ නගරයේ පිහිටි නයිට්‌ ක්‌ලබ් වෙත ගොස්‌ කළ අශෝභන ක්‍රියා ගැනද අසන්නට ලැබුණි.

නයිට්‌ ක්‌ලබ් හෙවත් රාත්‍රී සමාජශාලා මේ තරම් තරුණ පිරිස අතර ජනප්‍රිය සහ සමාජයේ ඇතැම් පිරිස්‌ මීට එරෙහිව කතා කරන්නේ ඇයි දැයි

කියා දැන ගැනීමට පසුගිය දිනෙක අපි කොළඹ නගරයේ පිහිටි ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවකට ගොඩ වැදුණෙමු.

එම රාත්‍රී සමාජ ශාලාව සඳහා දේශීය පුද්ගලයකුට ඇතුළුවීමේ ගාස්‌තු රුපියල් හත්සිය පනහකි. විදේශිකයකුගෙන් රුපියල් දෙදහසක්‌ අය කරනු ලබයි.

රාත්‍රී සමාජ ශාලාවට ඇතුළුවන දොරටුව අසල කලු පැහැති ඇඳුමින් සැරසුණ හැඩිදැඩි තරුණයන් දෙදෙනෙක්‌ ආරක්‍ෂක රැකවලෙහි සිටිති. ඔවුන් රාත්‍රී සමාජ ශාලාව වෙත ඇතුළුවන පුද්ගලයන් දෙස බලන්නේ මරාගෙන මැරෙන බෝම්බයක්‌ ශරීරයේ බැඳගෙන යන ත්‍රස්‌තවාදියකු දෙස සැක සහිතව බලන අයුරිනි. ඔවුන්ගේ මුවෙහි සිනහවක්‌ නැත.

රාත්‍රී සමාජ ශාලාවට අප ඇතුළු වූ වහාම යාන්තම් විලි වසාගත් සරාගී යුවතියන් රැසක්‌ ගොදුරක්‌ ඩැහැ ගන්නට පොරකන කොටි රැලක්‌ සේ අප වෙත දිව ආහ. හායි... ඩාර්ලින්... කොහොමද ඔයා තමයි අද මගේ ෆර්ස්‌ට්‌ කස්‌ටර්මර්. 


අපි එන්ජෝයි කරමු නේද කියා ඇය මගේ අතින් අල්ලාගෙන අඩ අඳුරේ ඇති සමාජ ශාලාවේ අසුනක්‌ වෙත රැගෙන යන්නට උත්සාහ ගත්තාය. මා සමග ගිය මාගේ රාත්‍රී සමාජ ශාලා හුරුපුරුදු මිත්‍රයා ඇයට මා නවකයකු බව පැහැදිලි කළාය.

ඒක තමයි. මම මෙයාව මීට කලින් දැකලා නැහැ. කමක්‌ නැහැ. මීට පස්‌සෙ ඔයා එනවනේ මාව බලන්න නේද? කියමින් ඇය සරාගී ලෙසින් තෙපලුවාය.

අපි ඩි්‍රන්ක්‌ එකක්‌ ගමු කියමින් ඇය මාහට බියර් බෝතලයකුත් ඇයට ඉස්‌තරම්ම වර්ගයේ විදේශීය මත්පැන් වීදුරුවකුත් ඇනවුම් කළේ මාගේ කිසිදු අවසරයකින් තොරවය.

ඇයගේ ඇනවුමට අනුව ක්‌ෂණිකව සේවකයකු බියර් බෝතලයක්‌ සහ ඉස්‌තරම් වර්ගයේ විදේශීය බීම වීදුරුවක්‌ සහ ශක්‌තිජනක පානයක්‌ රැගෙන ආවේය.

ඔයා එනර්ජි ඩි්‍රන්ක්‌ එකක්‌ එක්‌කද මත්පැන් බොන්නෙ... මා ඇසූ පැනයට ඇය සිනහවකින් සංග්‍රහ කළාය.

ඇය ඇනවුම් කළ මත්පැන් වර්ගයේ ඇති මත්පැන් ප්‍රතිශතය අනුව මෙවැනි වීදුරු දෙකක්‌ පානය කළහොත් ඇය හොඳින් මත්වන බව මම දනිමි.

දවසකට මේ වගේ මත්පැන් වීදුරු කීයක්‌ විතර බොනවද? මම ඇගෙන් ඇසුවෙමි.

සමහරදාට මේ වගේ මත්පැන් බෝතල් දෙකක්‌ විතර බොනවා. ඇයගේ පිළිතුර හමුවේ මා තුළ ඇතිවූයේ සැකයකි. මෙවැනි වර්ගයේ මත්පැන් බෝතල් දෙකක්‌ පානය කර සිහි කල්පනාවෙන් සිටීමට හැකිනම් ඇය අපූරු චරිතයකි.

මම ඇයගේ මත්පැන් වීදුරුවෙන් ටිකක්‌ පානය කිරීමට ඉල්ලුවෙමි. නමුත් ඇය එය ප්‍රතික්‌ෂේප කළාය.

ඔයා ඔය බොන්නේ ශක්‌තිජනක පානය නේද? ඔතැන මත්පැන් නැහැනෙ... මගේ පැනය හමුවේ ඇය මඳක්‌ තැතිගත් බවක්‌ මට දැනුණි.

ඔයා... කවුද? ඇය මගේ පැනය හමුවේ සැකයෙන් විමසුවාය.

මම කියන දෙය ඇත්තනේ... ඇයගේ පැනය මඟහරිමින් මම කීවෙමි.

රාත්‍රී සමාජ ශාලාවක මෙවැනි මත්පැන් වීදුරුවක්‌ රුපියල් දෙදහසක්‌ පමණ වේ. නමුත් එහි සැබෑවටම ඇත්තේ මත්පැන් නොව ශක්‌තිජනක පානයකි.

බියර් බෝතලයක මිල රුපියල් දහසකි. කජු දීසියක්‌ රුපියල් දෙදහසකි.

අඩ නිරුවත් සුරූපී තරුණියෝ රාත්‍රී සමාජ ශාලාවට පැමිණෙන තරුණයන්ගේ සිරුරේ දැවටෙමින් ඔවුන්ගේ හැඟීම් ඉස්‌මතු කර මත්පැන් පානයට ආරාධනා කරති. මැත්පැන්වලින් බමන ලොව සැරිසරන ඇතැම් තරුණයන් රාත්‍රී සමාජ ශාලාවෙන් පිටව යන්නේ රුපියල් තිස්‌ හතළිස්‌ දහසක බිලක්‌ ගෙවමිනි. 


එහිදී ඔවුන් පානය කළ මත්පැන් සඳහා වැයවී ඇත්තේ රුපියල් දසදහසක පමණ මුදලකි. ඉතිරි මුදල වැයකර ඇත්තේ සුරූපී ලලනාවන්ටය. 

ඔවුන්ගේ රාජකාරිය වන්නේ සමාජ ශාලාවට පැමිණෙන පුද්ගලයන් වසඟ කරගෙන මත්පැනට යොමු කරවාගෙන ලොකු මුදලක්‌ වියදම් කරවීමය. එවැනි මුදලකින් ලැබෙන කොමිස්‌ මුදල මෙම ලලනාවන්ගේ දවසේ ආදායමය. අපට මත්පැන් පොවා ඔවුන් ශක්‌තිජනක පානය බී අපගේ මුදල් පසුම්බියට තට්‌ටු කිරීම මෙම සුරූපිනියන්ගේ රාජකාරියයි.

රාත්‍රී සමාජ ශාලාවට පැමිණෙන බොහෝ දෙනා මත්පැන් පානය කරමින් සංගීත රාවයට අනුව රංගනයේ යෙදෙමින් විනෝද වෙති. ඔවුන් ඒ සඳහා දිරි ගන්වන්නට මෙම අඩ නිරුවත් යුවතියෝ සැදී පැහැදී සිටිති.

මා හා පිළිසඳරේ යෙදුණු යුවතිය බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. විවාහවී ඇයට දරුවන් දෙදෙනකු සිටින බව කීවාය. නුගේගොඩ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටින ඇය රාත්‍රී සමාජ ශාලාවේ රැකියාවට පැමිණ දැන් වසර පහක්‌ පමණ වේ.

ඔවුන් සමාජ ශාලාව වෙත පැමිණෙන පුද්ගලයන් සිප ගනිමින් තම සිරුරු ස්‌පර්ශ කිරීමට ඉඩ සලසමින් අර්ධ ලිංගික හැසිරීමකට එක්‌වේ. ලිංගික හැසිරීමක්‌ සඳහා සමාජ ශාලාවේ අවසර නැත. ඒ සඳහා මෙම ලලනාවන් ගෙන්ද ඉඩක්‌ ලැබෙන්නේ නැත.

හෙට උදේ අපි කොහේ හරි යමු. මම ඔයාට මගේ ෆෝන් නම්බර් එක දෙන්නම්. තම සේවාදායකයන්ට පවසා බලාපොරොත්තු ඇති කිරීමට ඔවුන් ඉතා සූක්‍ෂමය.

රාත්‍රී සමාජ ශාලාව වෙත ඇබ්බැහි වන්නට බොහෝ තරුණයන්ට හේතු වී ඇත්තේ මෙවැනි සුරූපිනියන්ගේ චාටු වදන්ය.

මිදිපල ඩැහැ ගන්නට වෙහෙසෙන හිවලුන් මෙන් මෙම සමාජ ශාලා සුරූපිනියන්ගේ ඇසුර තුළින් ආශාවන් ඇති කරගෙන ඔවුන් හා යහන්ගත වන්නට සිහින දකින බොහෝ පුද්ගලයෝ දිනපතා හෝ සති අන්තයේ සමාජ ශාලා වෙත පැමිණෙති. එසේ පැමිණ පිටව යන්නේ රුපියල් දස දහස්‌ ගණනක්‌ වැය කිරීමෙන් පසුය. යහන් ගතවීමේ සිහිනය බාලගිරිදෝෂය මෙන් අද නොව හෙටය.

රාත්‍රී සමාජ ශාලාවක අති ඉස්‌තරම් වර්ගයේ මත්පැන්, අඩ අඳුර, සංගීත රාවය සහ සුරූපී ළඳුන්ගේ පහස විඳින විට කාලය ගතවනවා දැනෙන්නේ නැත.

ඇතැම් තරුණයෝ මත්පැන් පානය කරමින් සංගීත රිද්මයට නටති. තවත් තරුණයෝ සුරූපී ළඳුන් දෙතුන් දෙනා කැඳවාගෙන තම තුරුලේ තබාගෙන ඔවුන් හා මත්පැන් පානය කරති.

මේ සියල්ල දෙස උකුසු ඇසින් බලා සිටින රාත්‍රී සමාජ ශාලාවේ ආරක්‍ෂකයෝ පමණ ඉක්‌මවා යන අවස්‌ථා මතුවන විට එවැනි පුද්ගලයන් අසලට පැමිණ රැකවල් ලා සිටිති.

කොළඹ නගරයේ ඇති මෙවැනි රාත්‍රී සමාජ ශාලා රාත්‍රී දොළහින් පසු තරුණයන්ගෙන් පිරීයති. අලුයම එකට පමණ බමන මත්වූ තරුණයන් හා රංගනයට එක්‌වන්නට නළඟනක්‌ද සිටිති. ඔවුන්ගේ රංගනය අවසන් වන්නේ අලුයම තුන හතර පමණ වූ විටදීය.

සාමාන්‍යයෙන් සති අන්තයේ සෙනසුරාදාට අපේ රාත්‍රී සමාජ ශාලාව වහන්නේ උදේ හතට විතර. රෑ දොළහින් පස්‌සෙ තමයි කට්‌ටිය එන්නෙ. ඇවිල්ලා බොනවා. නටනවා. එච්චරයි. අනම් මනම් බැහැ. අපේ කෙල්ලෙක්‌ එක්‌ක නටන්න සිප වැළඳගන්න අවසර දෙනවා. ඊට වඩා දේවල්වලට ඉඩ දෙන්නෙ නැහැ. රාත්‍රී සමාජ ශාලාවේ ආරක්‍ෂකයකු මා හා පැවසීය.

රාත්‍රී සමාජ ශාලා යනු යහපත් සමාජයක්‌ අනුමත කරන ස්‌ථාන නොවේ. නමුත් මෙවැනි සමාජ ශාලා සඳහා රජයේ අනුමැතිය ලැබී ඇත. එනිසා ඊට එරෙහිව නැගී සිටීමෙන් ඇති පලක්‌ නැත. අප කළ යුත්තේ එවැනි ස්‌ථාන වෙත යැමෙන් වැළකී සිටීමය. එසේ වූදාට රාත්‍රී සමාජ ශාලා වැසීයනු ඇත. එය සිදු වන්නේ අද නොවේ හෙටද?





 
Related Posts with Thumbnails