Ads 468x60px

.

පබා චන්දෙන් පැරදුනේ ජනතාවගේ අවාසනාවටලු


මේ දවස්වල ඔබ ඉන්නේ දුකෙන් කියලා ආරංචියි?

දුක, වේදනාව අපි කාටත් උරුම දෙයක්. ජීවිතේ හැමදාම සතුටින් තියෙන්නෙත් නෑ. දුකෙන් ගත වෙන්නෙත් නෑ. මට මේ දේවල් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මගේ අම්මා නම් අද දුක සඟවාගෙන සිනාසෙනවා.

පාර්ලිමේන්තුවට නැවත යාමට නොහැකි වීමද මේ කනගාටුවට හේතුව?

නැහැයි කියන්නත් බැහැ. පුංචි හිත් වේදනාවක් නැතුවාමත් නෙමේ.

ජනතාව මෙවර ඔබව ප්‍රතික්ෂේප කළේ ඇයි කියලා හිතෙන්නේ නැද්ද?

මම දන්නෑ ඊට හේතුව. හැබැයි මට ජනතාව වෙනුවෙන් සැලසුම් ගොඩක් තිබුණා. ඒවා ඉටුකර ගන්න බැරිවීම ගැන දුකක් තියෙනවා. හැබැයි

පාර්ලිමේන්තු යෑමට බැරිවීම ගැන මහා දුකක් නෑ. මම හිතනව මට පාර්ලිමේන්තු වරම් අහිමිවීම ජනතාවගේ අභාග්‍යයක් මිස මගේ අභාග්‍යයක් නමෛයි කියලා.

පාර්ලිමේන්තුවේ ඉන්න කා‍ලේ ඔබට ඔය හිතේ තිබුණු වැඩ කරන්න තිබුණනේ?

මට පුළුවන් දේවල් මම කළා. ඒවා දන්න අය දන්නවා. කෑකෝ ගහගෙන අනවශ්‍ය ප්‍රසිද්ධියක් මට ඕනේ වුණේ නැහැ.

දැන් ඉතින් දේශපාලනයෙන් සමුගන්නවාද? ඉදිරියටත් රැඳී සිටිනවාද?

ඒ ගැන හරියට උත්තරයක් දෙන්න දැන්ම පුළුවන්කමක් නැහැ. තව මහ කාලයක් ගියෙ නැහැනේ. මිශ්‍ර අදහස් මේ වෙනකොටත් එනවා.

ඒ කීවේ?

දිගටම දේශපාලනයේ රැඳී සිටින්න කියලා කියන අයත් ඉන්නවා, දේශපාලනයෙන් ඉවත් වෙලා යළි රංගන කටයුතු කරගෙන යන්න කියලා කියන අයත් ඉන්නවා.

දේශපාලනයට නොගිහින් රඟපෑම් වැඩ කරගෙන උන්නා නම් හොඳයි කියලා අද හිතෙන්නේ නැද්ද?

නෑ, එහෙම හිතෙන්නේ නෑ. ජීවිතයට ලැබුණු, නොලැබුණු මේ කිසිදෙයක් අපි හිතා මතා කරගත්තු දේවල් නෙමේනේ. කුවේට්වල ඉඳලා මම ලංකාවට එද්දී ජනප්‍රිය නිළියක් වෙයි කියලා හිතුවද? ඊටත් ටික කාලයකට පස්සේ දේශපාලනයට ඇවිත් මන්ත්‍රීවරියක් වෙයි කියලා හිතුවාද? අපි වටා ඇති යම් බලවේගයක් නිසා තමා මේ දේවල් මේ විදියට සිදුවෙන්නේ. මම දෙවියන් විශ්වාස කරනවා.

ඉතින් යළි රංගනයට ඔබ එනවාද?

අනිවාර්යයෙන්ම එනවා. නතර කරපු තැන ඉඳන් යළිත් මම මගේ නිළි ජීවිතය පටන් ගන්නවා. මේ දිනවල හොඳ නිර්මාණ භාරගන්නවා. පහුගිය කා‍ලේ කරපු ටෙලිනාට්‍ය හා චිත්‍රපට කිහිපයක්ම එන්නත් තියෙනවා. “සිහින සින්ඩරෙල්ලා”, “මායා”, “රශ්මි”, ම්.... තවත් කිහිපයක් නම් මතක නෑනේ.

අදටත් ජනප්‍රිය පබා වැනි මෙගා නාට්‍යයකට යළි ඇරයුම් ලැබුණොත්?

පබා කරපු කා‍ලේ වගේ නෙමේ අද මෙගා ටෙලිනාට්‍ය යන විදිහ හරිම අමුතුයි. අනික මේ පිටරටවල නාට්‍ය ලංකාවේ ජනප්‍රිය කරවීම කනගාටුදායකයි. හොඳ නාට්‍යයක් නම් ලැබුනොත් භාරගන්නවා. ඒක මෙගාද කියලා මට වැදගත් නෑ.

ප්‍රවේගය චිත්‍රපටයේ ඔබේ නර්තනය සෑහෙන්න ජනප්‍රිය වුණා නේද?

ගොඩාක් සතුටු වෙනවා ඒ ගැනත්. එම නර්තනයෙන් චිත්‍රපටයට ආලෝකයක් ලැබුණු බව හුඟාක් අය කීවා.

දේශපාලනය නිසා කලාවේ හිතවතුන් අමනාප වුණු අවස්ථා තියෙනවාද?

අ‍පොයි ඔව්. ලංකාවේ තරම් කුහක මිනිස්සු කොහේවත් නෑ. අපි වැඩක් කරන්න හදනකොට වැඩක් නොකර ඉන්න අය හරියට අකුල් හෙලනවා. බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ කියලයි කියන්න වෙන්නේ. ඊර්ෂ්‍යාව කියන එක ඇඟ පුරාම මිනිසුන්ගේ. මේ නිසා ඇතැම් කලාකරුවෝ ගැන හිත බිඳුණා.

ඔබ කොයිතරම් ජනප්‍රිය වුණත් එහෙම ලොකුවට සම්මාන වුණත් ලැබුණේ නෑ නේද?

ඔව්. එක සම්මානයයිනේ ලැබුණේ. ජනප්‍රිය නිළිය, හොඳම නිළියට නිර්දේශ වුණා. මම දේශපාලනයට ඒම නිසා ලොකු බලපෑමක් වුණා කියලා හිතෙනවා සම්මාන සඳහාත්.

ඔබ හිතන්නේ හිතා මතාම ඔබට සම්මාන නොදුන්නා කියලද?

අපි ඔය ගැන කතා නොකර ඉමු. හැකියාව විතරක් සම්මාන ලබන්න ප්‍රමාණවත් මදි. මම කාටවත් දොස් කියන්නේ නෑ. ලැබිමක් තිබිය යුතුයි කියලා හිතනවා.

කෝ ඔබ තුළ හිටපු සුන්දර නර්තනවේදිනිය?

(හිනාවෙමින්...) ඇය ඉන්නවා, ඉන්නවා. හැබැයි ඉස්සර වගේ නටන්න පුළුවන්ද කියලා දැන් ඇයට හිතෙනවා. ඇත්තටම සහජයෙන් ගෙනාපු හැකියාවට මං ආදරෙයි. (උපේක්ෂා ඒ ටික කීවේ හරිම ආදරණීයවමයි.)

පාර්ලිමේන්තුවෙන් ඔබ ඉවතට එද්දි ඇතුළට යන සහෝදර රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහට සුබ පැතුවේ නැද්ද?

තවම එහෙම කතා කළේ නැහැ.

යළි විවාහයකට යන්න හිතෙන්නේ නැද්ද?

හිතන් ඉන්නවා. හොඳ සැමියෙක් හා විවාහ වෙලා, දරුමල්ලන් හදාගෙන ගෙවන සුන්දර ජීවිතයක් ගැන මහමෙර තරම් බලා‍පොරොත්තුවක් හිතේ තියෙනවා. පෙර පවක් නිසා පළමු විවාහය බිඳුණා. ආදරෙයි කියලා මම දැක්ක ලෝකය කඳුළු සාගරයක් වුණා. හැමදේම වෙන්නේ හොඳට කියලා අද මට හොඳ පෙම්වතෙක් ලැබිලා ඉන්නවා.

ඔහු ගැන දැනගන්න ආසයි?

අනේ තරහා වෙන්න එපා. ඒ ගැන දැන්ම කියන්න බෑ. එයා හුඟාක් හොඳ මහත්තයෙක්. බොහෝ දුරට මේ අවුරුද්ද අවසානේ අපි විවාහ වේවි.
 
Related Posts with Thumbnails