Ads 468x60px

.

පටන් ගන්න කොටම අනුර කුමාරට එහෙම හිතෙනව නම් අපට කොහොම හිතෙයිද..?

ඊයේ වනවිට 8 වැනි පාර්ලිමේන්තුවේ, අලුත් ආණ්‌ඩුවේ ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දුන්හ. ඒ අනුව ඇමැති ධුර 48 ක්‌, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු 45 දෙනකුත් අලුත් ආණ්‌ඩුව වෙනුවෙන් පත්වීම් ලදහ. 

19 වැනි සංශෝධනයෙන් ඇමැති ධුර සංඛ්‍යාව තීරණය කර තිබුණේ 30 ක්‌ වශයෙනි. ඒ ජාතික ආණ්‌ඩුව නොවන මට්‌ටමිනි. පසුගිය 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් පසු, යෝජනා වූ ජාතික ආණ්‌ඩු සංකල්පයත් සමගම ඇමැති ධුර සඳහා "රහසිගත ගැටුම්" මතු විය. 

ඇමැති ධුර සඳහා බොහෝ දෙනෙක්‌ පොරට වැටී සිටියද, එය රටට හෙළිවී නැතැයි බොහෝ දෙනෙක්‌ සිතා සිටි බවක්‌ පෙනෙන්නට තිබිණි. එහෙත් මහ මැතිවරණයෙන් පසුව සති දෙකක්‌ ඉක්‌ම යනතුරුත් අමාත්‍ය මණ්‌ඩලය තීරණය නොකර සිටින විට රටේ ජනතාව ඇත්ත කතාව
අවබෝධ කරගෙන තිබිණි. 

ඇමැති මණ්‌ඩලය 30 දෙනකුට වඩා වැඩි කළ යුතුයි යන්න තීරණය වුණේ ඉන් පසුවය. එහෙත් 19 වැනි සංශෝධනයට අනුව අමාත්‍යවරු වැඩි කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතුව තිබිණි. ඇමැති මණ්‌ඩලය 48 දක්‌වා වැඩිවන්නේ ඒ අනුවය.

ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇමැති ධුර ගැන පාර්ලිමේන්තුවේදී කතා කළේය. "ඇමැති ධුර 48, කත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 45 කත් බර මේ රටේ ජනතාවට දැරිය නොහැක. ආණ්‌ඩුවේ වචන ලස්‌සන වුණාට ක්‍රියාව ලස්‌සන නැත."

පටන් ගන්නා විටම අනුර කුමාරට එහෙම හිතෙන විට රටේ ජනතාවට කොහොම හිතෙනවාදැයි, රටේ ජනතාව මේ බර කොහොම දරන්නේ දැයි අපට සිතේ. අලුත් ආණ්‌ඩුවකින් ජනතාව බලාපොරොත්තු වූ දේවල් බොහෝමයකි. 


ඒ බලාපොරොත්තු අතර, "කිසිදු කමකට නැති" ඇමැති පට්‌ටම් (ඒ වචනය අපි භාවිත කරන්නේ අතිශය වගකීමෙනි.) සහ "ඇමැති බර" අඩු කිරීම ප්‍රධාන තැනක්‌ ගත්තේය. ඒ බලාපොරොත්තුවල නිල්, කොළ, රතු වශයෙන් පාට තිබුණේ නැත. 

එය පොදු අවශ්‍යතාවක්‌ බවට පත්ව තිබිණි. 2015 ජනවාරියේ පත් කරගත් ජනාධිපතිවරයා ද 2015 අගෝස්‌තුවේ පත්කරගත් අලුත් ආණ්‌ඩුවද ජනතාව "ඇමැති බර" අඩු කිරීමේ කාරණයට වැඩි බරක්‌ තබනු ඇතැයි ජනතාව අපේක්‌ෂා කළහ. 

ප්‍රතිපත්ති ප්‍රකාශනවල සිට 19 වැනි සංශෝධනයට ඇතුළත් කිරීම දක්‌වා ඒ බලාපොරොත්තුවට ඉඩක්‌ ලැබිණි. එහෙත් දැන් සිදුවන්නේ දකුණට 'සිග්නල්' දමා වමට හැරවීමකි. ජනතාව ගණන් හිලව් දැන සිටින්නේ පූරුවේ වාසනාවටය.

රටේ මිනිසුන් දස දෙනකුට එකා බැගින් ඇමැතිවරු පත්කළද කිසිවෙකුත් දොස්‌ කියන්නේ නැත. එහෙත් ඇමැති මණ්‌ඩලයක්‌ නඩත්තු කරන්නට යන වියදමත්. රට හමුවේ ඇති මූල්‍ය අර්බුදය ගැනත් වරක්‌ දෙවරක්‌ නොව සිය දහස්‌ වරක්‌ කල්පනා කළ යුතුය.

බොහෝ කාලයක සිට ඇමැති පට්‌ටම් ලබා දුන්නේ වැඩිම මනාප ලැබූ මන්ත්‍රීවරයා සතුටු කරන්නටය. පිල් මාරු කළ අයට වරප්‍රසාද දෙන්නටය. නියමිත විෂයයන් තෝරා ඇමැති පට්‌ටම්, නියෝජ්‍ය ඇමැති පට්‌ටම් දීමේ ක්‍රමය අවසන්වී බොහෝ කල්ය. අලුත් ආණ්‌ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූයේ ඒ ගිලිහී ගිය ක්‍රමය නැවත ස්‌ථාපිත කිරීමය. 


එහෙත් අනුර දිසානායක මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදීම කී ආකාරයට මේ ඇමැතිධුර සංඛ්‍යාව 48 ක්‌ දක්‌වා වැඩි කරන්නේ ජාතික ආණ්‌ඩුවේ පක්‍ෂ දෙකට බෙදා ගන්නට මිස රටට වැඩ කිරීමට නොවේ. 

ඇත්ත වශයෙන්ම රට හදන්නට සැබෑ උවමනාවක්‌ ඇති අයෙක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ ලෙස පත්වන්නේ නම් ඔහුට හෝ ඇයට වැඩකරන්නට ඇමැති කට්‌ටක්‌ම වුවමනා නැති බව අපි විශ්වාස කරමු. 

නියමිත අමාත්‍යාංශ සඳහා ඒ ඒ විෂයය පිළිබඳව ප්‍රාමාණික දැනුමක්‌ ඇති සීමිත ඇමැති පිරිසක්‌ තෝරා ගැනීම කළ යුත්තකි. විෂය බද්ධ අමාත්‍යාංශ හා ඊට අදාළ විෂයය පථ එකිනෙක සම්බන්ධ වන ලෙස අමාත්‍යාංශ සම්බන්ධීකරණය කිරීමේදී ඇමැති ධුර සංඛ්‍යාව අවම කර ගැනීමට හැකියාව ලැබේ.

දශ ලක්‍ෂ 950 ක්‌ ඉක්‌මවා යන ජනගහනයක්‌ ඇති ඉන්දියාවේ ඇමැතිවරු ගණන 53 කි. දශ ලක්‍ෂ 180 ඉක්‌මවා ජනතාවක්‌ ඇති පාකිස්‌ථානයේ ඇමැතිවරු 16 දෙනෙකි. ඔස්‌ටේ්‍රලියාවේ අගමැති ඇතුළු ඇමැති මණ්‌ඩලය 9 කි. නියෝජ්‍ය ඇමැතිවරු 12 කි. දකුණු අප්‍රිකාවේ ඇමැති මණ්‌ඩලය ජනාධිපති හා නියෝජ්‍ය ජනාධිපතිවරයකුද සහිතව 36 කි. 


ලොව වැඩිම ජනගහනයක්‌ ඇති චීනයේ ජනාධිපතිවරයාද ඇතුළුව ඇමැති මණ්‌ඩලය 33 දෙනෙකි. එහෙත් කෝටි දෙක යන්තමින් ඉක්‌මවන අපේ රටේ කැබිනට්‌, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු මුළු සංඛ්‍යාව 93 දෙනකි.

මේ සියලුම ඇමැතිවරුන්ට සිය වැටුපට අමතරව දීමනා, වරප්‍රසාද රැසක්‌ හිමිවේ. ජනතාවට සේවය කිරීම උදෙසා පත්කර යවන ජනතා නියෝජිතයා සිය බදු මුදලින් නඩත්තු කිරීමට සිදුවන්නේද අවසානයේ මහජනතාවටමය. අලුත් ආණ්‌ඩුවෙන් ජනතාව ඉල්ලා සිටියේද ඒ ක්‍රමය වෙනස්‌ කරන ලෙස පමණය.
 
Related Posts with Thumbnails