Ads 468x60px

.

නිරුවතින් නාන්න කී නිසා ශ්‍රී ලාංකික කාන්තාවක් නාන කාමරයෙන් පොලොවට පැනලා

ශ්‍රී ලාංකික කාන්තාවකට සිදුවූ අකරතැබ්බයක් දැනුම් නොදීම නිසා බහරේනයේ මෑන් පවර් රැකියා ඒජන්සියක් තහනම් කිරීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

තුෂාරි පල්කහේරත් නමැති 27 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාව පසුගිය මාසයේ දිනක ඇය සේවය කළ නිවසේ දෙවන මහලේ නාන කාමරයෙන් පැන සියදිවි නසාගන්නට තැත් කර තිබේ.

එහෙත් ඇයගේ කකුල්,ඉඟටිය සහ කොඳු ඇට පෙළට බලවත් හානි සිදුවීමෙන් පසු ඇගේ ජීවිතය ගැලවී ඇති බවත්,පොලීසිය විසින් මේ පිළිබඳ දැනුම් දෙන තුරු තමන් ඒ ගැන කිසිවක් නොදැන සිටි බව බහරේනයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරල් පී.බී හිග්ගොඩ මහතා Gulf Daily News මාධ්‍යයට පවසා ඇත.

මෙම ශ්‍රී ලාංකික කාන්තාව සේවය කළ නිවසේ ස්වාමි දියණිය විසින් නිවසේ ජල නල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පැමිණි කාර්මිකයින් පිරිසකට පෙනෙන සේ සියලු ඇඳුම් උනා ස්නානය කරන ලෙස අණ කර ඇති බවත්,පසුව ඇය නාන කාමරයේ සිටියදී එහි දොර ජනෙල් හැරදමා යතුරු රැගෙන පිටතට ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීමෙන් සිත් තැවුලට පත් ශ්‍රී ලාංකික තරුණිය නාන කාමරයේ ජනේලයෙන් පැනීමේදී බිත්තියක ගැටී අසල්වැසියාගේ මිදුලට වැටී ඇති බවත්,ඉන්පසුව පොලීසිය පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත්,තුවාල ලැබූ ඇය රෝහල් ගත කර ඇති බවත් Gulf Daily News කියා සිටියි.

මාස 18 ක් තිස්සේ තමන් මෙම නිවසේ සේවය කරන බවත් මීට පෙරාතුව ‍මේ අයුරින් කිසිදු අකරතැබ්බයකට තමන්ට මුහුණ දෙන්නට සිදුනොවූ බවත් තුෂාරි පල්කහේරත් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

තමන් මෙම සිදුවීමේ සත්‍ය අසත්‍යතාව නොදන්නා නමුත් ඇය විසින් තමාටත් පොලීසියටත් කියා ඇත්තේ එකම කතාවක් බවත්,තමන් පොලීසිය මාර්ගයෙන් මෙම සිදුවීම දැනගත් පසු ඇයගේ සුව දුක් බැලීමට රෝහලට ගිය බවත්,එහිදී ඇය යම් සාංකාමය තත්ත්වයකින් පෙලෙන බව තමන්ට දැනගැනීමට ලැබුණු බවත් බහරේනයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරල් පී.බී හිග්ගොඩ මහතා පවසා ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීම කොන්සල් ජනරල් කාර්යාලයට වාර්තා නොකිරීමෙන් අදාළ රැකියා ඒජන්සිය වරදක් කර ඇතැයිද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගනු ඇතැයිද Gulf Daily News අද(17)වාර්තා කර තිබේ.
 
Related Posts with Thumbnails