Ads 468x60px

.

ඔබලාට ලේ අවශ්‍ය නම් මාගේ ලේ දෙන්නම් - පූජකට මර්වින්ගෙන් වාග් සංග්‍රහයක්

තමා  මිනිස්‌ ලොව තුළ ජීවත් වන තුරු කිසිම බිලි පූජාවකට ඉඩ නොදෙන බවත්තුන්වරක්‌ බුදුන් වැඩිය ශ්‍රී ලංකා භූමිය අහිංසක සතුන්ගේ ලේවලින් අපවිත්‍ර කිරීමට තමා කිසිවකුටත් ඉඩ නොදෙන බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටී.


කතරගම, විෂ්ණු, විභීෂණ, සුමනසමන් දෙවියන් ඇතුළු සියලුම සම්‍යක්‌දෘෂ්ඨික දෙවි දේවතාවන් වැඩ සිටින මේ රටේ,  අයුක්‌තියට අසාධාරණයට එරෙහිව කවදත් නැගී සිටින තමා රුහුණු පුරවරයේ සිට ඩී. ඒ. රාජපක්‍ෂ පවුලේ දරුවන් සමඟ කොළඹට පැමිණි බවත්, තමා  කිසි විටෙක කාලි දේවාලයේ ප්‍රධාන කපු මහතා විසින් කරන ලද වගකීමෙන් තොර ශාපලත් ප්‍රකාශ සඳහා බිය නොවන බවද ඇමැතිවරයාගේ එම නිවේදනයේ සදහන්වේ.

ඇමැතිවරයා මේ නිවේදනය නිකුත් කර ඇත්තේ ''මර්වින්ට සහ ගෝලයන්ට කාලි මැණියන්ගේ ශාපය වැදුණා '' මැයෙන් කාලි දේවාලයේ පූජකතුමන් විසින් සිදු කළ ප්‍රකාශයට පිළිතුරක් ලෙසටය.

එම නිවේදනයේ මෙසේද සදහන්වේ.

මර්වින්ට සහ ගෝලයන්ට කාලි මෑණියන්ගේ ශාපය වැදුණා යන මැයෙන් ඊයේ (12 ) දින මාධ්‍යය  කිහිපයක කාලි දේවාලයේ පූජකතුමා විසින් ප්‍රකාශ කර තිබූ වගකීමකින් තොර ප්‍රකාශ මා දුටුවෙමි. සතුන් මරණ ලේ තැවරුණු අපිරිසිදු ස්‌ථානවලට දෙවියන් පැමිණෙන බවට හිංදු ආගමේ කිසිම තැනක සඳහන් වී නොමැති අතර, සත්ත්ව බිලි පූජා පවත්වන්නන්ට දේව ආශිර්වාදය ලැබෙන බවට මා කිසි විටෙකත් විශ්වාස නොකරමි. බිලි පූජාවන්ගෙන් සතුන් බේරා ගැනීමට කැප වී කටයුතු කරන පුද්ගලයන් හට දේව ශාපය වදින බවට මා කිසිදු ආගමකින් හෝ දර්ශනයකින් දැනුවත් වී නැත.

මා විසින් ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් අනුරාධපුර රාජධානියේ රුවන්වැලිසෑය, මිරිසවැටිය, ථූපාරාමය, ලංකාරාමය යන චතුර්සෑයන් සහ කැලණි විහාරය සුදු හුණු පිරියම් කර කොත්වහන්සේ රන් ආලේප කරන ලදී. ඉන් නොනැවතී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට උතුම් වූ පැන් පූජා කිරීම සඳහා නිම කරන ලද ජල නල නිමැයුම් සහ කැලණිය ශ්‍රී උත්පලවන්නා මහා විෂ්ණු දේවාලය මා සහ මගේ යහළුවන් සමඟ කරන ලද ශාසනික මෙහෙවරයන් කිහිපයකි.

කාලි දේවාලයේ හිටපු ප්‍රධාන පූජකතුමා වන කාලිමුත්තු පූජකතුමා කරදරවලට මුහුණ දුන් අවස්‌ථාවලදී කතරගම දෙවියන් ඇතුළු වෙනත් දෙවිවරුන්ගෙන් ආශිර්වාදය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මා විසින් සම්පාදනය කර දෙන ලදී. කාලිමුත්තු පූජකතුමාගේ මස්‌සිනා වන දැනට කාලි දේවාලයේ පූජකතුමා තමන්ගේ කාර්ය නිසියාකාරව ඉටු නොකර කුමන්ත්‍රණකරුවන් සමඟ සම්බන්ධ වී මෙවැනි ප්‍රකාශ නිකුත් කළමා හට කිසිදු ශාපයක්‌ වැදී නොමැති අතර මා නිරන්තරයෙන් ප්‍රධාන ආගම්වලට ගරු කරන බව කැලණියේ ඇතුළු රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණකි.  

ඔබලාට ලේ අවශ්‍ය නම් මාගේ ලේ දෙන්නම්. ඔබලාට ශරීරය අවශ්‍ය නම් මාගේ ශරීරය දෙන්නම්. ඔබලාට මරණය අවශ්‍ය නම් සතුන්ගේ ජීවිත වෙනුවෙන් මම මරණයට කැපවෙන බව දන්වා සිටින අතර තුන්වරක්‌ බුදුන් වැඩිය භූමිය අහිංසක සතුන්ගේ ලේ වලින් අපවිත්‍ර කිරීමට මා කිසිවකුට ඉඩ නොදෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිමි.මහා භද්‍රකාලී දේව මෑණියනි, ඔබ වහන්සේට සතුන්ගේ ලේ වුවමනා නැත. මේ පූජකයන්ගේ බඩ වඩා ගැනීම සඳහා කරන කාර්යයන් පමණි. මීට වඩා කිසිවක්‌ ප්‍රකාශ කළ යුතු නැත.
 
Related Posts with Thumbnails