Ads 468x60px

.

එක්කෙනෙක් නිසා හැමෝම එකම මට්ටමින් මනින එක වැරදියි - නදිනි

එයාව හම්බවුණේ මගේ යාළුවෙක්ගේ ගෙදරදි...
ඊට ටික දවසක් යනකොට එයා මගෙන් ඇහුවා...
 

වර්තමානය වනවිට ලාංකික ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත්ව සිටින ඇය නදිනි ප්‍රේමදාසයි.සෑම විටම තම ගායන කෞෂල්‍ය තුළින් තාරුණ්‍යයේ හදවත් දිනා සිටින නදිනි සමග අප කතාබහක නිර වූයේ ඇයගේ සොදුරු කැඳැල්ලේදීය.




නදිනි මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල මගේ දෙවනි ඇල්බම් එකේ කටයුතු කරගෙන යනවා. තාම පටන් ගත්තා විතරයි. දැන් සති දෙකකට විතර කලින් රේඩියෝවලින් අලුත් ගීතයක් එළි දැක්වුවා. "ඔයා දිනන්නේ නැහැ ආදරේ මගේ" තමයි ඒ ගීතයේ නම.



නව ගීත එකතුවට නමක් දැම්මද?
තාම නමක් නම් දැම්මේ නැහැ. මේ දවස්වල සින්දු 3ක් ඉවර කරලා තියෙන්නේ. මේ අවුරුද්දේ අන්තිම තමයි නව ගීත ඇල්බමය එළි දක්වන්න මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසන් අවුරුද්ද.


නව ගීතයට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවද?
ඔව්.වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නේ. මේ දවස්වල ඒක සැලසුම් කරගෙන යනවා. තව මාස එකහමාරක් විතර යනකොට වීඩියෝ එකත් එළි දක්වන්න හිතාගෙන ඉන්නේ.


අලුත් වීඩියෝ එකේ ප්‍රධාන චරිතයට ගන්න හිතාගෙන ඉන්නේ කවුද?
තාම කවුද කියලා හරියටම තෝරගෙන නැහැ. මේ දවස්වල වීඩියෝ ඩිරෙක්ටර් එක්ක පිටපත තමයි ලියාගෙන යන්නේ. ඒකෙත් තාම මුල් හරියේ ඉන්නේ.


නදිනි සිරස සුපර් ස්ටාර් ගැන කතා කළොත්?
මම ආවේ සුපර් ස්ටාර් සීසන් 2 එකෙන්. ඉතින් ඇත්තටම සිරස සුපර් ස්ටාර් තමයි ලංකාවේ මං හිතන්නේ රියැලටි කියන වැඩසටහන්වලින් උපරිම තලයකට ආපු ආධුනිකයින්ට හොද තැනක් ලැබිච්ච තරගය. මං හිතන්නේ වෙන නාලිකා කොච්චර කළත් සිරස සුපර් ස්ටාර් තමයි මූලාරම්භය වෙන්නේ. ඉතින් හරිම සතුටුයි සුපර් ස්ටාර් දෙවනි එකෙන් ඇවිල්ලා ගොඩක් ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ වගේම මං හිතන්නේ දෙවනි එකේම 12දෙනාම ගොඩක් වාසනාවන්තයි. 


ඒ වගේම අනිත් තරගත් එක්ක බලනකොට ගායික ගායිකාවන් බොහෝමයක් බිහි කරපු තරගාවලියක් තමයි සුපර් ස්ටාර්. මාවත් හඳුනාගත්තේ ඒ තුළින් ඇත්තටම සුපර් ස්ටාර් ආධුනිකයින්ට හොද තැනක්. ඇත්තටම සුපර් ස්ටාර් වැඩසටහන ළගට එන්න වෙනත් කිසිම වැඩසටහනකට බැරි වුණා.



ඔබ සුපර් ස්ටාර් සීසන් 2 එකට ඉල්ලුම් කළේ ඇයි?
ඇත්තටසුපර් ස්ටාර් එකට ඇත්තටම ඉල්ලුම් කළේ මම නෙවෙයි. ඒක මම නොදැනුවත්ව වෙච්ච දෙයක්. ඇත්තටම මගේ අම්මා තමයි ඉල්ලුම් කළේ. මොකද මම එච්චර තරගවලට සහභාගිවෙන්න කැමතිම කෙනෙක් නෙමෙයි. ඉතින් අපේ අම්ම ඇප්ලිකේෂන් එක දාලා ආවටත් පස්සේ තමයි මට කිව්වේ. ඇප්ලිකේෂන් දැම්මා. 


දැන් එන්න කියලා තියෙන්නේ යමුද කියලා? ඒ වෙලාවේ මං පොඩ්ඩක් ප්‍රතිකෂේප කළා. නමුත් ඊට පස්සේ මම ගියා. පළවෙනි රවුන්ඩ් එක ගියාට පස්සේ මම හරි ආසාවෙන් සහභාගි වුණා. මම පළවෙනි රවුන්ඩ් එකට ගියේ දඹුල්ලේ. දඹුල්ල ක්‍රීඩාංගණය පිරෙන්න තරගකරුවන් ඇවිල්ලා හිටියා. එදා පළවෙනි රවුන්ඩ් එකෙන් තේරුණාට පස්සෙත් මට ලොකු බලාපොරොත්තුවනක් තිබුණේ නැහැ. 

මොකද 51,000ක් ඇවිල්ලා හිටියා. කොහොම හරි මම අනිතිම 100ට තේරුණාට පස්සේ තමයි මං ගොඩාක් බලාපොරොත්තු තියා ගත්තේ. එතකම් මම තරගයේ මොනවා වුණත් කමක් නැහැ කියලා හිටියේ. නමුත් අවසන් 100දෙනාගේ ඉදලා ලොකු ඉලක්කයක් තිබුණා. ඉතින් අවසානයේ අන්තිම පස්දෙනා වෙනක්ම් ආවා.

නදිනි ඔබ සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ නැත්නම් අද කොහොද ඉන්නේ?
සංගීත ක්ෂේත්‍රයට එන්නේ නැතුව ඉන්න විදියක් නැහැ මොකද මම පොඩි කාලේ ඉදලා සංගීතය හැදෑරුවා. හැබැයි ප්‍රසිද්ධිය නැතිවෙන්න තිබුණා. දැන් මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉන්නේ. ඉතින් මම සංගීතයට සම්බන්ධ වෙලා ඉදියි. හැබැයි ඒ මාර්ගයය ඔස්සේ නැති වුණත් මොකක් හරි ක්‍රමයකින් මම සමහරවිට ජනප්‍රිය වෙලා ඉන්න ඉඩ තිබ්බා


සුපර් ස්ටාර් සීසන් 2 එකෙන් පසුව තවත් කණ්ඩායම් දෙකක් ආවා ඒ කණ්ඩායම් සමග මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ?
මං හිතන්නේ සීසන් 3 එකේ නම් ගොඩක්ම සහභාගි වුණේ සීසන් 2 එකේ හිටපු කට්ටිය. ඇත්තටම ඒ සම්බන්ධය තවමත් ඒ විදිහටම තියෙනවා. මොකද ජෙනරේෂන් 4 එකත් එක්ක ගොඩාක් සමීප සම්බන්ධතාවක් පවත්වන්න ලැබුණු අවස්ථාව ගොඩාක් අඩුයි. නමුත් ළඟදි අපේ සිරස මෙගා සංගීත් වැඩසටහන තිබ්බා. ඒ හින්දා සීසන් 1,2,3 තුන්ගොල්ලම එකතු වුණා. ඒ වැඩසටහනෙදිත් අවුරුද්දක් පමණ අපි සුන්දර කාලයක් ගත කළා.


විවාහය ගැන මොකද හිතන්නේ?
විවාහය කියන දේට මං කැමතියි. මොකද මම ආදරය කරලා විවාහ වෙච්ච කෙනෙක්. මං හිතන්නේ මම ගොඩක් විවාහය පහු කළෙත් නෑ. මම මගේ සැමියව දැනගෙන මාස 5ක් වගේ කාලයත් තුළ මගේ විවාහය සිදුවුණා. මම විවාහ වෙනකොට මට අවුරුදු 23යි. දැන් මම විවාහ වෙලා මාස 9කට වැඩි කාලයත් ගතවුණා. ඇත්තටම මට විවාහය කිසිම බාධාවක් නැහැ


ඔබේ ප්‍රේම කතාව විස්තර කරන්න කැමතිද?
(සිනාසෙමින් )...ඔව් මගේ ප්‍රේම කතාව ගැන කතා කියනවනම් මට එයාව හම්බවුණේ මගේ යාළුවෙක්ගේ ගෙදරදි. ඉතින් අපි එහෙම දැන හැදිනගෙන මිතුරන් විදිහට හිටියා. ඊට ටික දවසක් යනකොට එයා මගෙන් ඇහුවා. (සිනාසෙමින්)....එතකොට මම කෙලින්ම අපේ අම්මටයි තාත්තටයි තමයි කෙළින්ම යොමු කළේ මොකද ඒ දේවල් මම දෙමව්පියන්ට භාරදීල තිබුණු නිසා. ඇත්තටම මගෙත් කිසිම අකමැත්තක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් දෙපැත්තෙන්ම කට්ටිය කැමති වෙලා විවාහ වුණා මාස 5ක් වගේ හරිම පොඩි කාලයකින්.


නදිනි ඔබගේ විවාහ උත්සවය බීබීසී සේවය හරහා මුළු ලෝකයටම විකාශය කළා. එම අවස්ථාව උදා කරගත්තේ කොහොමද?
බීබීසි එක හරහා සෑහෙන ප්‍රසිද්ධියක් ලැබුණා. මං හිතන්නේ ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම අය නරඹලා තිබුණා. මම එය නරඹන අවස්ථාවේ හිටියේ මාලදිවයිනේ. ඉතින් බීබීසි එක මගේ වෙඩින්එක තියෙනවා කියලා දැනගෙන මගේ වෙඩින්එක සැලසුම් කරපු ඉමාන්ට දුරකථන ඇමතුමක් දීලා අහල තිබුණා මගේ වෙඩින් එකට ඇවිල්ලා රූපගත කිරීම් කරන්න පුළුවන්ද කියලා. 


ඉතින් ඒ වෙලාවේ ඉමාන් මගෙන් ඇහුවා බීබීසී එක කෝල් කළා කියලා. ඉතින් මම කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ එන්න, හැබැයි වෙඩින් එකට කරදරයක් නොවෙන ඕනම දෙයක් කරලා යන්න මගෙන් වොයිස් කට් ගන්නත් එපා මම ඒකට කැමති නෑ. ඒ වගේ දේවල් නැතුව වෙඩින් එක කවර් කරගන්න කියලා කිව්වා.ඉතින් බීබීසි එක ලොකු සහයෝගයක් දුන්නා.

පුංචි කැදැල්ලට අලුත් සාමාජිකයෙක් එකතු කරගන්න බලාපොරොත්තුවක් නැද්ද?
(සිනාසෙමින්)...දැන්මම නැහැ. මගේ උපාධියේ වැඩ තියෙනවා. ඒක ඉවරවෙලා ඒ ගැන බලාපොරොත්තුවෙනවා

 
ක්ෂේත්‍රයේ අමතක නොවන සිදුවීම ගැන මතක් කළොත්?
ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 4ක් වෙනවා. ඒ අවුරුදු 4තුළ කොච්චර දේවල්වලට සහභාගි වුණත් ක්ෂේත්‍රයට එන්න කලින් අපි අවුරුද්දක්ම වෙහෙසුණා සුපර් ස්ටාර් තරගයේදි. ඒකෙදි අපි ගොඩාක් කාලයක් කැප කළා. කටුක අත්දැකීම් වින්දා. මං හිතන්නේ මේ හැමදේම සුපර් ස්ටාර් හරහා තමයි තියෙන්නේ. අනිත් ඒ ලැබිච්ච ප්‍රේක්ෂක ප්‍රතිචාරය. අදටත් ඒ ගැන හැම ගායික ගායිකාවක්ම කතා කරනවා. ඉතින් ඒ සීසන් එක ගොඩාක් මතක හිටිනවා. ඒ වගේම හරිම විනෝදයෙන් ගත කරපු කාලයක්.


ඔබ මෙතෙක් දායක වුණු හොදම සහ නරකම නිර්මාණය මොකක්ද?
මම කවදාවත් මම කරපු නිර්මාණයක් හෙලා දකින්නේ නැහැ. නමුත් ගොඩාක් ජනප්‍රිය වෙච්ච සිංදුවක් තමයි සපු කුසුමේ කියන ගීතය. ඒ වගේම මම ගොඩාක් ආදරය කරනවා ශිහාන් මිහිරංගත් එක්ක ගායනා කරපු සිත ආදරේ සොයා කියන ගීතයට. ඒ සින්දු දෙක ගොඩාක් ජනප්‍රිය වුණා. අදටත් මම සපු කුසුමේ සින්දුවට ගොඩාක් ආදරේ කරනවා.


ඔබේ රූපයේ වෙනස් කර ගන්න අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්නේ?
(සිනාසෙමින්)....මට ලැබිච්ච රූපෙට මං කැමතියි. නමුත් දැන් මං දුක් වෙනවා මොකද මට ගොඩාක් ලොකු කොණ්ඩයක් තිබ්බා. දැන් ඒ කොණ්ඩේ ගොඩක් නැති වෙලා. සුපර් ස්ටාර් තරගයට එද්දි මට ඉනෙන් පල්ලෙහාට විතර කොණ්ඩයක් තිබ්බා. ඉතින් මට නැතිවෙච්ච කොණ්ඩේ ආයි ලැබෙනවානම් කැමතියි. 


නදිනි ඇලඩින්ගේ පුදුම පහන ඔයාට ලැබිලා ප්‍රාර්ථනා තුනක් කරන්න කිව්වොත් මොනවද කරන්නේ??
ඇත්තටම මට ඉල්ලන්න දෙයක් නැහැ. මට හැමදේම කොහොම හරි ලැබෙනවා. ඉතින් ඒක නිසා ඉල්ලන්න කියලා විශේෂ දෙයක් නැහැ. නමුත් මම හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමතියි


නදිනි ප්‍රේමදාස කියන නමින් ක්ෂේත්‍රයට පිවිසෙනකොට ඔබ දේශපාලනයට සම්බන්ධ පවුලකින් පැවත එන කෙනෙක්ද කියලා විවිධ පුද්ගලයින් ප්‍රශ්න කළාද?
මට දේශපාලනයට සම්බන්ද කතා නම් මට ආවේ නැහැ නමුත් මගේ වාසගම ප්‍රේමදාස නිසා ගොඩාක් එක එක ව්‍යාපාර ප්‍රේමදාස නමින් තියෙන ව්‍යාපාර හැමදේකටම වගේ හවුල් වුණා. නමුත් ඒ කිසි දෙයක් මගේ තාත්තගේ නෙමෙයි. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් තමයි. නමුත් ඔහු කරන්නේ කන්ස්ට්‍රක්ෂන් වැඩ. මං හිතන්නේ තරගයක ඉන්න කොට ඒකෙන් ඉදිරියට යනකොට ඒ තිබ්බ උණුසුමත් එක්ක ඒ කාලේ හැමදෙනාටම වගේ මොකක් හරි දෙයක් තිබ්බා. 


ඉතින් ඒ වගේ ගෙතිච්ච කතා. හැබැයි ඒ තරගය ඉවර වෙනවාත් එක්කම ඒ දේවලුත් ඉවර වෙනවා. ඒ වගේම සමහර ප්‍රේක්ෂකයෝ කියනවා අපි ඔයාට එස්.එම්.එස්. කළේ නැහැ. නමුත් අපි දැන් ඔයාට ගොඩාක් ආදරෙයි. ඉතින් ඒ දේවල්ම ඇති මං හිතන්නේ. සාමාන්‍යෙයන් ඉතින් ඒ වගේ දේවල් හැදෙන එක සාමාන්‍යෙයන් ස්වභාවිකයි. ටික කාලයක් යනකොට ඉතින් ඇත්ත නැත්ත තේරෙනවා.

අවස්ථාවක් ලැබුණොත් දේශපාලනයට පිවිසෙනවද??
එහෙම නම් දැනට කැමැත්තක් නැහැ. මං දේශපාලනය කරන්න කැමති නැහැ. මං ව්‍යාපාර කටයුතුවලට පිවිසේවි.


කලාවේ රැඳි සිටිමින් දේශපාලනය කරන අය ගැන මොකද හිතන්නේ?
ඒක එක එක්කෙනාගේ කැමැත්ත. සමහර අය කලා ක්ෂේත්‍රයේ ඉන්නවා දේශපාලනය කරන්න පුළුවන් හා බැරි අය. ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත සහ වාසනාව. මං හිතනවා එක්කෙනෙක් එක ක්ෂේත්‍රයක හිටියොත් හොදයි කියලා. හැබැයි ඉතින් ඒක පෞද්ගලික කැමැත්ත

 
නදිනි ඔබ සම්මාන බලාගෙන වැඩ කරන කෙනෙක්ද?
මම කවදාවත් සම්මාන බලාගෙන වැඩ කරන්නේ නැහැ. මට ලැබෙන හොදම සම්මානය තමයි රසිකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාරය. ඒ වගේම හැමදාම රසිකයින් අතර ඉන්න පුළුවන් නම් තමයි ලැබෙන ලොකුම සම්මානය. සම්මාන නොලැබිලත් නැහැ . 


සම්මාන නම් ලැබිලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මගේ මුල්ම කාලයේදි. ඒ ඇරෙන්න මට එහෙම ගායිකාවක් වශයෙන් ගොඩක් සම්මාන ලැබිලා නැහැ. හැබැයි මම කවදාවත් සම්මාන බලාපොරොත්තුවෙන් වැඩ කරන්නේ නැහැ. මට සම්මාන නොලැබුණා කියලා දුකකුත් නැහැ.


නදිනි මෑත කාලයේදි කලා ක්ෂේත්‍රෙය් ඉන්න අය ගොඩක් වැරදි වැඩවලට යොමු වෙනවා කියලා දැන ගන්න ලැබෙනවා. එවැනි දේවල නිසා ක්ෂේත්‍රයට ඇතිවන බලපෑම ගැන ඔබ මොකද හිතන්නේ?
ඇතැමුන් එහෙම වෙන්න පුළුවන්. අපිට ඒක 100%ක් කියන්න බැහැ. නමුත් මං හිතනවා ඒ සමහර අය කරන දේවල් වලින් මුළු ක්ෂේත්‍රය දිහාම නරක විදිහට බලන එක හරි දෙයක් නෙමෙයි. ඉතින් කලාව කියන්නෙත් එතන තියෙන්න ඕන තැනක් නෙමෙයි. හැබැයි ඉතින් එක්කෙනෙක් නිසා හැමෝම එකම මට්ටමින් මනින එක වැරදියි. අපි කලා ක්ෂේත්‍රය අතහැරලා නිකන් සාමාන්‍ය සමාජය බැලුවොත් ඒ දේවල් නැතුව නෙවෙයි. මං හිතනවා පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒක වෙනස්. එකම මට්ටමෙන් හැමෝම බලන එක හොද දෙයක් නෙවෙයි.


ජීවිතේ කරපු දඟම වැඩේ මොකක්ද?
ඇතැමු(සිනාසෙමින්)..මං ඉස්කෝලේ ගොඩක් දග වැඩ කරපු කෙනෙක්. ඒ වගේම ඉස්කෝලේ හැමදේටම සහභාගි වුණා. දග වැඩ කියන්නේ පීරියඩ් කට් කරලා තමයි අහුවෙලා තියෙන්නේ. පීරියඩ් කට් කරා කියලා අම්මලාට කම්පේලේන් කරත් අම්මලාට කියන්න දෙයක් නැහැ මොකද මට තමයි ප්‍රයිසස් ටික තියෙන්නේ ඒලෙවල් පන්තියෙදි ඇවිල්ලා. ඉතින් ඒ වගේ දේවල් තිබ්බා. තව මිස්ලගෙන් පනිෂ් වෙලා තියෙනවා කෑ ගහල වැඩි වෙලා. ඒව තමයි මං කරපු දග වැඩ.



ජීවිතේ කරපු දඟම වැඩේ මොකක්ද?
මං හිතන්නේ සතුටින් ඉන්න එක තමයි මගේ එකම හීනය


නදිනි සහ මාධ්‍ය අතර තිබෙන සම්බන්ධතාවය ගැන කතා කළොත්?
ඇතැමු(මට මාධ්‍යත් එක්ක සෑහෙන්න හොද සම්බන්ධයක් තියෙනවා. තියෙන සෑම නාලිකාවක් එක්කම හොද සම්බන්ධතාවයක් තියෙනවා. එකම දේ මං හිතන්නේ හොද සම්බන්ධීකරණයක් තිබීම වෙන්න ඇති මං හිතන්නේ ඒකට හේතුව.


ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?
මගේ මහත්තයා මදුර අබේසිංහ එයා ව්‍යාපාරිකයෙක්, මගේ තාත්තා එයාත් ව්‍යාපාරිකයෙක් මගේ අම්මා මට අදටත් හැමදේටම සහයෝගය දෙනවා. එයා ගෘහණියක්. ඉතින් අම්මයි තාත්තගෙයි සහයෝගයෙන් තමයි මම මෙතෙන්ට ආවේ. විවාහ වෙන්න ප්‍රථම මගේ තාත්තා එයාගේ වැඩ රාජකාරි අතරතුර මගේ වැඩවලට මාව එක්කරගෙන ගියා. ඒ වගේම දැන් මගේ මහත්තයා හැමදේම කරනවා. එයා දවල් කාලයේදි ගොඩාක් වෙහෙසිලා ඇවිල්ලා රෑට මං නිසා නිදිත් මරණවා. ඉතින් ඒ කට්ටියගෙන් ලැබෙන සහයෝගය උපරිමයි. ඒ වගේම මට නංගි කෙනෙක් ඉන්නවා. රුවිනි ‍ප්‍රේමදාස එයා තාම පාසල් යනවා.


සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින නවකයින්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
ගොඩාක් දක්ෂතා තියෙන අය තමයි වැඩසටහන්වලින් එන්නේ. ඒ දක්ෂතා තියෙන අය ඒ දක්ෂතාවයත් එක්ක රැදිලා ඉන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. තමන්ගේ නිර්මාණ කරලා කිසියම් දෙයක් කරන්න පුළුවන් නම් ක්ෂේත්‍රෙය් රැඳි ඉන්න ගොඩාක් පුළුවන්. ඉතින් මං හිතන්නේ දැන් ආයේත් පැරණි සංගීතයට ගොඩාක් දෙනා ආදරය කරනවා. ඉතින් ඒ නිර්මාණත් එකතු කරගෙන ඒ නිර්මාණ වගේ අලුත් දෙයක් හොද දෙයක් කරන්න පුළුවන් නම් මං හිතන්නේ ක්ෂේත්‍රෙය් ඉන්න පුළුවන්. ක්ෂේත්‍රයේ රැඳි සිටීම තමයි මං හිතන්නේ ලොකුම ජයග්‍රහණය.
 
Related Posts with Thumbnails