Ads 468x60px

.

මම බඳිනව කියලවත් බඳින්නෙ නැහැ කියලවත් කියන්නෙ නෑ - උපේක්ෂා

කවුරු හරි හොඳ කෙනෙක් මට හඳුනා ගන්න ලැබුණොත් ඉදිරියේ දී මම විවාහ වේවි...


ඇය උපේක්ෂා ස්වර්ණමාලි. කවුරුත් දන්නා පරිදි ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි; රංගන ශිල්පිනියකි; නර්තන ශිල්පිනියකි. එහෙත් මුළු රටම ඇයව හඳුනන්නේ ‘පබා’ ලෙස ය. ඒ මීට කලකට පෙර විකාශය වූ ‘පබා’ ටෙලිනාට්‍යයේ පබා ලෙස ඇය නිරූපණය කළ චරිතය නිසා ය. උපේක්ෂා මේ වනවිට දෙරණ නාලිකාවේ ‘උපේක්ෂායි ඔබයි මමයි’ වැඩසටහන ද ගෙන එන්නීය.




මොනවගේ වැඩකටයුතුවල ද ඔබ මේ දවස්වල වැඩියෙන් නිරත වෙලා ඉන්නෙ?
කලා ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තම චිත්‍රපට දෙකක වැඩ කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නව. පසුගිය දවස්වල මම රඟපෑ ඉනෝකා සත්‍යාංගනීගේ ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් වුණා.
බර්ට්‍රම් නිහාල්ගේ ‘අමරපුරය’ ෂර්ලි පී. දෙලංකාවලගේ ‘සත් කුළු පව්ව‘, කියන ටෙලිනාට්‍යවලටත් මම දායක වුණා. ඊට අමතරව මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසත් මගෙන් විය යුතු සේවය ජනතාව වෙත කරනවා. ඒ වගේ ම මගේ අධ්‍යාපනික කටයුතුවලට මම මේ දිනවල වැඩි ඉඩක් වේලාවක් ලබාදෙනවා.


ඉනෝකා සත්‍යාංගනීගේ ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටය ගැන කතා කරමු...?
එහි මම නිරූපණය කරන්නේ ඉෂංකාගේ චරිතය. මම හරිම ආශාවෙන් ඒ චරිතය රඟපෑවේ. ඉනෝකා කියන්නෙ අපේ රටේ ඉන්න දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරියක්. ඉෂංකාගේ චරිතය රඟපෑමේදී මට වැඩිපුර දෙයක් කරන්න තිබුණේ නෑ. ඒක මගේ පෞද්ගලික චරිතයට ගොඩක් සමීප චරිතයක්. ඉතාම සැහැල්ලුවෙනුයි මම ඒ චරිතය නිරූපණය කළේ. මේ චිත්‍රපටය රූපගත කිරීමේ දී සියලුම දෙනාගෙ සහයෝගය මට ලැබුණා.

දෙරණ නාළිකාවේ ‘උපේක්ෂයි ඔබයි මමයි’ වැඩසටහන ඉදිරිපත් කරන්න ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?
දෙරණ නාළිකාවෙන් මට මේ ගැන කියපු මුල් ම අවස්ථාවේ මම ඒක ප්‍රතික්ෂේප කළා.
ඒ මොකද නිවේදිකාවක් ලෙස මම වැඩ කරල නැති නිසා. ඔවුන් මට පහදල දුන්න මේ වැඩසටහන කළ යුත්තේ මම කතා බහ කරන ඉතාම සාමාන්‍ය ආකාරයෙන් කියල. ඉන් පසුව ටිකක් හිතල බලල මම මේ වැඩේ බාර ගත්තා.මේ වැඩසටහන මගේ ම නමින් හැඳින්වීම මම ඒක බාරගන්න තවත් හේතුවක් වුණා.

කොහොමද මේ වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර...?
මම බලාපොරොත්තු වුණාටත් වැඩිය ඉහළ ප්‍රතිචාර ලැබුණා. මේ වැඩසටහන ඉදිරිපත් කරන මුල් දවස්වල ප්‍රේක්ෂකයින් හිතල තියෙනව ටෙලිනාට්‍යවල වගේ මම මේ වැඩසටහනේ දීත් රඟපානව කියල.
නමුත් කලක් ගත වනවිට ඔවුන්ට තේරුම් ගිහිල්ල තියෙනව මම මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ මගෙ නියම ස්වභාවයෙන් කියල. ජීවිතය විවිධ අයුරින් ජයගත් පුද්ගලයින් මම මේ වැඩසටහනේ දී හමුවෙනවා. ඒ නිසා හරිම තෘප්තියකින් මම මේ වැඩසටහන කරන්නේ.

ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විම කලා කටයුතුවලට බාධාවක් ද?
කිසියම් නිර්මාණයකට දායකවීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කියන එක මම බාධාවක් කරගන්නෙ නෑ. මම දායක වෙන්නෙ කිසියම් කලා නිර්මාණයකට කියන එක පමණයි මම හිතන්නෙ.නමුත් ඒ නිර්මාණයේ අන්තර්ගතය පිළිබඳව කිසියම් තෝරා බේරා ගැනීමක් කරන්න මට සිදුවෙනවා.

මොනවද ඔබ ඉගෙන ගන්නෙ?
මම නීතිය හදාරනව. University of London එකේ L.L.B  උපාධිය හදාරනව.

ඔබ කේන්දර විශ්වාස කරනවාද?
නැහැ. ඒ ගැන මගේ හිතේ උනන්දුවක් නෑ.

‘පබා’ ව ඔබට අමතක කරන්න පුළුවන්ද?
බැහැ කොහෙත්ම නැහැ. මාව රටම හඳුනාගන්නෙ; ප්‍රේක්ෂකයින් මට ආදරය කළේ පබා චරිතය නිසා. ‘පබා’ ටෙලිනාට්‍යයේ කොටස් 600 කට වඩා මම සිටියා. පබා ටෙලිනාට්‍යයේ තිබුණු සරලකම කතාව ගලාගෙන ගිය ආකාරයට ප්‍රේක්ෂකයින් පුදුම විදියට ආදරය කළා. අදත් මට ගොඩක් දෙනෙක් කතා කරන්නෙ ‘පබා’ කියල.

ජීවිතයේ වැරැදුණු තැන් ගැන ඔබට මොනවද හිතන්නෙ?
ජීවිතයේ වැරැදුණු තැන් මම සලකන්නේ අත්දැකීම් විදියට. ඒ සිදුවීම්වලින් මගේ ජීවිතය වඩාත් ශක්තිමත් කරගන්න මම උත්සාහ ගන්නවා.ජීවිතයේ වැරැදුණු තැන් කාටත් තියෙනවා. මේ ලෝකයේ කාටත් ඒක පොදුයි.වඩාත් වැදගත් වෙන්නේ. ඒ වැරැදුණු තැන්වලින් කිසියම් පාඩමක් ජීවිතයට ළඟාකර ගැනීමයි.

ජීවිතේ අලුතෙන් පටන් ගන්න ඔබට හිතෙන්නෙ නැති ද?
ඔය අහන්නෙ මම ආයෙ බඳින්නෙ නැතිද කියන එකනෙ. මම ඒ ගැන තවම හිතල නෑ. මම ළඟදී බඳිනව කියලවත් කවදාවත් බඳින්නෙ නැහැ කියලවත් මම කියන්නෙ නෑ. මම මේ කාලයේ මූලිකත්වය දෙන්නේ මගේ අධ්‍යාපනික කටයුතු වලට. කවුරු හරි හොඳ කෙනෙක් මට හඳුනා ගන්න ලැබුණොත් ඉදිරියේ දී මම විවාහ වේවි.

චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීම ගැන ඔබ සිතුවේ නැතිද?
ඇත්තටම ඒක මගේ හිතේ තියෙන අදහසක්. තව අවුරුද්දකින් දෙකකින් හෝ තුනකින් ඒ වැඩේ පටන්ගනී ද කියන්නම මට බැහැ. නමුත් හොඳ සිනමා නිර්මාණයක් කරන්න මගෙ හිතේ ආශාවක් තියෙනව. සමහර විට එහි මම රඟපාන එකක් නැති වෙන්නත් පුළුවනි. මට අවශ්‍ය හොඳ නිර්මාණයක් කිරීමයි.
 
Related Posts with Thumbnails