Ads 468x60px

.

තනිව නිවසක ජීවත් වූ මවක සහ තරුණ දියණියක අභිරහස්‌ ලෙස මරා පුළුස්‌සලා...

විදුලිය කාන්දුවීමකින් සිදුවූයේ දැයි සැකයක්...

දියණිය නිවසේ එක්‌ කාමරයක ඇඳක්‌ මතත්. මවගේ සිරුර තවත් කාමරයක බිමත් පිළිස්‌සෙමින් තිබිලා...

ත්‍රිකුණාමලය, කින්නියා ආලම්පිල් ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ මවක සහ තරුණ දියණියක අභිරහස්‌ ලෙස නිවස තුළම මරා පුළුස්‌සා දමා තිබියදී ඊයේ (10 දා) පෙරවරුවේ කින්නියා පොලිසිය මගින් සොයාගෙන තිබේ.

ඝාතනය කර ඇති මව සහ දියණිය මචෝන්ද්‍රන් විජයරාණි (55) සහ මචෝන්ද්‍රන් ජනනී (22) බවට පොලිසිය හඳුනාගෙන ඇත. සොයාගන්නා අවස්‌ථාවේ දියණියගේ සිරුර සම්පූර්ණයෙන්ම දැවී අලු වී ගොස්‌ තිබූ බව පරීක්‍ෂණ පවත්වන කින්නියා පොලිසියේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

ඝාතනයට ලක්‌ව සිටින කාන්තාවගේ සැමියා මීට ටික කලකට ඉහත මරණයට පත්ව ඇත. එම පවුලේ පුතුන් තිදෙනකු ද සිට ඇති අතර ඔවුන් විවාහ වී ත්‍රිකුණාමලය නගරයේ පදිංචියට ගොස්‌ ඇත.

මෙම ඝාතන අභිරහස අනාවරණය කරගැනීම සඳහා පොලිස්‌ නිල සුනඛයන් ද සමඟ කණ්‌ඩායම් කිහිපයක්‌ යොදවා විමර්ශන ආරම්භ කළ බව ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර පොලිස්‌ අධිකාරි බන්දුල විඡේවර්ධන මහතා සඳහන් කළේය.

මළ සිරුරු දෙක පොලිසිය මගින් සොයා ගන්නා විට දියණියගේ සිරුර නිවසේ එක්‌ කාමරයක ඇඳක්‌ මතත් මවගේ සිරුර තවත් කාමරයක බිමත් පිළිස්‌සෙමින් තිබී ඇත.

මෙම මළසිරුරු පිළිස්‌සීමෙන් ඇති වූ ගින්නෙන් නිවසට ද හානි සිදුව ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොතිබූ අතර මළ සිරුරු පිළිබඳ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (10 දා) සවස පැවැත්වීමට නියමිතව තිබිණි.

ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර පොලිස්‌ අධිකාරි බන්දුල විඡේවර්ධන මහතාගේ උපදෙස්‌ මත කින්නියා පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අශෝක කෝට්‌ටගේ මහතා සමඟ කින්නියා පොලිසියේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ සහ තවත් පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ වැඩිදුර විමර්ශන සිදු කරති.

මෙම මරණ විදුලිය කාන්දුවීමකින් සිදුවූයේ ද යන්න පිළිබඳව ද පොලිසියට සැක මතු වී ඇත.

 
 
 
Related Posts with Thumbnails