Ads 468x60px

.

රන්ජන් සමඟ එක්ක ඇතිවුණු කතා බහෙන් ප්‍රයෝජන ගත්තේ ඕපාදූප සොයන වෙබ්අඩවි - අනර්කලී

එහෙම දෙයක් සිදුවීම ගැන මට හරිම කනගාටුයි...
ඒ සිදුවුණේ නොසිදුවිය යුතු දෙයක්... 

ඒ ගැන නැවතත් කතා කරන්න මම කැමැති නෑ... 
ඔවුන් ඒ සිදුවීම පළකළේ වෙනස් වෙනස් විදිවලට... ඕපාදූප වෙබ් අඩවි මා සමඟ කතා කළේ නෑ...

සමාජයේ බොහෝ දෙනකුගේ ආකර්ෂණය දිනාගත් කලා කාරිණියකි අනර්කලී ආකර්ෂා. කවුරුත් දන්නා පරිදි ඇය රංගන ශිල්පිනියක් පමණක් නොවේ. 

ඇය නිවේදිකාවකි, ගායිකාවකි. එසේම ඇය දකුණු පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරියකි.මෙම සෑම ක්ෂේත්‍රයක් තුළම පුවත් මවන්නියක ලෙසද අනර්කලී ප්‍රකටය.

කොහොමද අනර්කලී මොනවගේ වැඩකටයුතුවලද මේ දවස්වල යෙදිල ඉන්නෙ...?

”පළාත් සභා මන්ත්‍රීවරියක් හැටියට මේ දවස්වල දේශපාලන කටයුතුවල වැඩියෙන් යෙදෙනව. ඊට අමතරව කලා කටයුතු කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නව. නාලක වෙදමුනි ස්වර්ණවාහිනි ආයතනය වෙනුවෙන් නිර්මාණය කරන “ඉටි මල්” ටෙලිනාට්‍යයේ රූපගතකිරීම්වලට මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නව දිගටම. ඒ වගේම ඉදිරි මාස දෙක තුන තුළදී රූපගතකිරීම් ආරම්භ වන චිත්‍රපට දෙකක තිරපිටපත් කියවමිනුයි මේ දවස්වල ඉන්නෙ.”

“ඉටි මල්” ඔබට අලුත් අත්දැකීමක් ද?
”ඉටි මල් ටෙලිනාට්‍යයේ මගේ චරිතය පූජා කියන නිළියගේ චරිතය. ඇය පොහොසත් පවුලක යුවතියක්. ඇය සතු පොහොසත්කම් ගැන නොසිතන තමන්ගේ හැකියාවන් ගැන හිතන හරිම සංවේදී හිතක් තිබෙන යුවතියක් තමයි පූජා. එය මෙහි ප්‍රධාන චරිතය. පූජා සිනාසෙන බව සමාජයට පෙනුනත් ඇය සිතින් ගොඩක් වෙලාවට හඬන කෙනෙක්. 

පූජා ගොඩක් ආදරණීය චරිතයක්. පූජා අදිත්‍යයට ආදරය කරනවා. මම හිතනව ප්‍රේක්ෂකයින් මේ චරිතයට ගොඩක් ආදරය කරාවි කියල. ඒ මොකද සමාජයේ ආදරය ලබාගත හැකි ලක්‍ෂණ සහ ගතිගුණ පූජාට තිබෙන නිසා. මම මේ චරිතය රඟපෑවේ හරිම කැමැත්තෙන්. ඒ චරිතය රඟපානවිට මටත් හරිම ආදරයක් දැනෙනව.”

”ඉටි මල්” මෙගා වර්ගයේ ටෙලිනාට්‍යයක් නේද? ඇයි ඔබ මෙගා ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ?
”අද හැදෙන ගොඩක් මෙගා වර්ගයේ ටෙලිනාට්‍ය ඒකාකාරී ඒවා. ඒ බොහොමයක් කතා තේමාවලට වඩා “ඉටිමල්” ටෙලිනාට්‍යයේ කතාව වෙනස්. මෙහි පිටපත සම්පූර්ණයෙන් ම ලියල අවසන්. මේ ටෙලිනාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නෙ හොඳ දක්ෂ පිරිසක්. මෙහි පූජාගෙ චරිතය තුළින් ප්‍රේක්ෂකයින්ට දැනෙන රංගනයක් ඉදිරිපත් කරන්න මට පුළුවන් වෙයි කියල හිතුණ නිසයි මම මේ ටෙලිනාට්‍ය භාර ගත්තේ.”

”ඉටිමල්” දර්ශන තලයේදී රන්ජන් රාමනායක සමඟ ඔබ කිසියම් කතාබහක් ඇතිවුණු බව වෙබ් අඩවි කීපයකම පළවුණා. එය සත්‍යයක් ද? ඇත්තටම මොකද වුණේ...?
” ’ඉටි මල්’ දර්ශන තලයේදී රන්ජන් සමඟ කිසියම් කතාබහක් ඇතිවුණු බව ඇත්ත. එහෙම දෙයක් සිදුවීම ගැන මට හරිම කනගාටුයි. ඒ සිදුවුණේ නොසිදුවිය යුතු දෙයක්. ඒ ගැන නැවතත් කතා කරන්න මම කැමැති නෑ. ඒ වගේම එවැනි දෙයක් සිදුවීම හරිම අපරාධයක්. ඒ සිදුවීමෙන් ප්‍රයෝජන ගත්තේ ඕපාදූප සොයන වෙබ්අඩවි. ඔවුන් ඒ සිදුවීම පළකළේ වෙනස් වෙනස් විදිවලට. ඕපාදූප වෙබ් අඩවි මා සමඟ කතා කළේ නෑ.”

එම සිදුවීම අමතක කරල ඔබ දිගටම ටෙලිනාට්‍යයේ රඟපානවද?
”රඟපෑම මගේ වෘත්තිය. රඟපානවිට මට ඕනෑම කෙනෙක් එක්ක රඟපාන්න පුළුවනි. ඉටි මල් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ මම. ඉතින් මම නැතිව මේ ටෙලිනාට්‍ය කරන්න බැහැනෙ. මේවගේ ප්‍රශ්නයක් වුණා කියල මම චරිත අතහරින්නේ නෑ. එහෙම කරල නිෂ්පාදකවරු අධ්‍යක්‍ෂවරු අමාරුවෙ දමන කෙනෙක් නෙමෙයි මම.”

ඔබේ මුල්ම ටෙලිනාට්‍යය ඉටි පහන්. අද ඔබ ‘ඉටි මල්’ ටෙලිනාට්‍යයට දායක වෙලා ඉන්නව. “ඉටි පහන්” – “ඉටි මල්” රඟපෑ කාලයත් අතර නිර්මාණවල ඔබ දකින වෙනස කුමක්ද?
“ඉටි පහන්” වැනි ටෙලිනාට්‍යයකින් කලාවේ ගමන ආරම්භ කිරීමට ලැබීමම භාග්‍යයක්. “ඉටි මල්” වෙනකොට අවුරුදු ගණනාවක් ගතවෙලා මිනිසුන්ගේ රසවින්දනය සිතුම් පැතුම් වෙනස් වෙලා. ප්‍රේක්ෂකයින් නිර්මාණයකින් බලාපොරොත්තු වන දේවල් පවා වෙනස් වෙලා. හැබැයි අද සමාජයට ගැළපෙන විදියට ඉතාම නිර්මාණාත්මක විදියට ඉටි මල් ටෙලිනාට්‍ය නිර්මාණය කරනවා. “ඉටිපහන්” – “ඉටිමල්” කාලය තුළ ලංකාවේ හොඳම දැවැන්තම ටෙලිනිර්මාණ ගණනාවකටම දායක වෙන්න මට හැකිවෙලා තියෙනවා.”

වෙබ් අඩවිවල පළවන දේවල් ගැන ඔබ කනගාටුවෙන්ද?
”පළවන දේවල්වලට වඩා පළකරන අය ගැනයි කනගාටු. ඔවුන් මතුකරන්න උත්සහ කරන්නෙ මඩ. ඒ වෙබ් අඩවි පවත්වාගෙන යන අය සතුටු වෙන්නෙ ජීවත්වෙන්න අනෙක් අයට මඩ ගහලා.”

දේශපාලනඥවරියක ලෙස ඔබේ ඡන්දදායකයන්ට ඔබ යුතුකම් ඉටු කරනවා කියා ඔබ සිතනවද?
”මම කරන කලාවත් දේශපාලනයත් මම පටලවා ගන්නේ නෑ. මගේ පළාත් සභාවේ වැඩකටයුතුවලට මම මගේ උපරිම දායකත්වය ලබාදෙනවා.

ඔබ දේශපාලනඥවරියක් නිසා රඟපෑමේදී චරිත තෝරා බේරා ගෙනද රඟපාන්නේ?
”මම රංගනයට පිවිසුණේ දේශපාලනයට එන්න කලින්. මම වැඩිහිටියන්ට පමණක් සීමාවූ නිර්මාණ කිසිදිනෙක බාරගන්නේ නෑ. ඒ හැරෙන්න ඕනෑම චරිතයක් රඟපාන්න මම සූදානම්. දේශපාලනය කළා කියල මම චරිත තෝරා බේරා ගන්නේ නෑ.”

පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඔබට ආශාවක් තියෙනවද?
”දකුණු පළාත් සභාව තුළ මම උපරිම අයුරින් ජනතාවට සේවය කරන්න මම උත්සාහ කරනවා. වැරැද්දක් පෙන්වන්න බැරි වෙන විදියට මම වැඩ කරනව. ඒ අරමුණ ඉටුවුණාට පසුව රටටම වැඩකරන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන්න මට අවස්ථාව ලැබේවි කියල මම හිතනව. එම අවස්ථාව නොලැබුණත් මම සමාජයට සේවය කරන්න සැමදාම ඉදිරිපත් වෙනවා.”

ඔබ කවදාවත් ම විවාහ වෙන්නේ නෑ කියල පුවත්පතකට කියල තිබුණා නේද?
”ඔව් ඒක දැන් හැමෝම දන්න දෙයක්නේ.”

 
Related Posts with Thumbnails