Ads 468x60px

.

අංකොක්කාවල සුනිල් හෙවත් රුවන්වැල්ලේ සෝභිතගේ කෙරුවාව මෙන්න...

මං බොන එක බෝතලක් රු. 4500 යි.

මගේ යාළුවො ඇවිත් සැපක් ගන්න ඕන කිව්වාම...
 
මගේ වත්තට තමයි මං යවන්නේ...

අපේ රටේ බණකට ගියාම මොනවාද ලැබෙන්නෙ? ඔය මොනවා හරි සුළු දෙයක්නෙ. ජපානයේදි පිරිත් නූලක් බැන්දත් පැජරෝ එකක් හම්බු වෙනවා. මම දානය බාර ගන්නේ නැහැ. එහෙම කළොත් ඔය මළගෙවල්වලට පාංශුකූලයට මට යන්ඩ වෙනවා. මට රියැදුරෙක් ඉන්නවා. උයන්න කෝකියොත් ඉන්නවා.”

”මම රටවල් ගණනාවක සංචාරය කරලා තියෙනවා. මම ඩිස්නිලන්තයට ගියා. හොඳට විනෝද වුණා. හොඳට මං සැප වින්ඳා. විස්කි බ්‍රැන්ඩිත් බිව්වා. ලංකාවේ හාමුදුරුවරු වගේ නොවෙයි. ජපානය ඊට වෙනස්. ලංකාවේ නම් දානයකට හාමුදුරුවරු වඩම්මන්න ඕනෑ. එහෙ එහෙම නැහැ. වෙලාවට දානය එනවා.”

ඉහතින් දක්වනු ලැබුවේ පසුගියදා කෑගල්ල පළාත්බද මහධිකරණයෙහි වසර 18 ක් තිස්සේ කසාවතින් ගත වසා හුන් නාමික ශ්‍රමණ වේශධාරියකු හරස් ප්‍රශ්නවලදී කටපුරා කියා පෑ අරුම පුදුම දනවන ප්‍රකාශයකි. 

තම සුඛ විහරණ පැවැත්ම උදෙසා පමණක් කසාවතින් ලෝ රවටා පසු වූ හේ ඉහළ පැලැන්තිය ඇසුරින් විවිධ සත්කාර ලැබුවේය. 


පහළ පැලැන්තිය වහ කදුරු සේ පිළිකෙව් කළ හේ ඒ බවද ප්‍රසිද්ධියේ කීයේය. කාගේත් අවධානයට ලක්වූ රුවන්වැල්ලේ සෝභිත නොහොත් අංකොක්කාවල සුනිල් ශාන්ත නමැත්තා අධිකරණයට පමුණුවා තිබුණේ රැකියාවක් ලබාදෙන මුවාවෙන් කාන්තාවක රවටා ඇය දූෂණය කිරීමේ සිද්ධියකට අදාළ නඩු විභාගයකිනි.

මං ඇත්තම කියන්නම්. මගේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. ඒක කැඩුනට පස්සෙ මම මහණ වෙන්න හිතුවා. සසර කෙටි කරගන්න මඟක් කියා හිතුවා. ඒ නිසා මහණ වුණා. සෝභිත කියන්නෙ පැවිදි නම, දැන් භාවිතා කරන්නෙ සුනිල් ශාන්ත කියලා. ඒක තමයි පැවිදි වෙන්න පෙර භාවිතා කළ නමත්.

වයසින් 21 වන වියේදී පැවිදි බිමට පත්වූ බව කියන සුනිල් ශාන්ත රුවන්වැල්ලේ සුවිසල් දැකුම්කලු මැදුරක අතිශය සුඛෝපභෝගී දිවියක ගිලී සිටියේය. ඔහු වඩාත් තුටුවූයේ ‘වෙද හාමුදුරුවෝ’ නාමයටය. ථෙරවාදි බුදුදහම යටතේ පැවිද්ද ලැබුවද ඔහු ඊට අකමැති බව ප්‍රසිද්ධියේ කියනුයේ ජපානයේ මෙන් ඉන්නට ඇති කැමැත්ත නිසාවෙනි.

මහණකමේ පසුවෙමින් සියලු කාම සුඛ විහරණයන් රිසිසේ භුක්ති විඳීමට නිර්ලජ්ජී වූ හේ පැවිදි ආර්ය උතුමනට පමණක් හිමිවිය යුතු පූජනීයත්වය නිර්ලෝභීව ලැබ ගත්තේය. 

සියලු නොපනත්කම් වසා ගන්නට වූයේ ‘කසාවතිනි’. ඔහු පිළිබඳ අටුවා ටීකා ඇතුළුව සැබෑ භූමිකාවේ නිරුවත නෙත් එෆ්.එම්. ගුවන්විදුලියේ ‘බැලුම්ගලින්’ රටට ම හෙළිදරව් වීමත් සමඟම කැළඹී ගිය ජනයා ඔහුගේ සුවිසල් මැදුර අබියස විරෝධතා දැක්වූහ.

පැවිදි බිමේ උපසම්පදා වීමේදී ත්‍රිපිටකය, අභිධර්මය ලොකු හාමුදුරුවන් හමුවේ කටපාඩමින් කිව යුතුය. ඒ හරස් ප්‍රශ්නයට ඔහු දුන්නේ මෙබඳු උත්තරයකි.

’නෑ එහෙම ඕනෙ නෑ. දන්න හඳුනන කමටත් මුදලටත් එහෙම ගන්න පුළුවන්, අද සල්ලි තියෙනව නම් රජකු වගේ ඉන්ඩ පුළුවන්. එහෙම ඉන්න අයත් ඉන්නවා. මං පන්සලක නෙමෙයි ඉන්නෙ. මට ආධාර පින් පත්තර නෑ. මට හොඳට කාල බීල ඉන්ඩ ඕනෑ. 

මං හොඳට සැප වින්ඳා. දැනුත් එහෙමයි. මට බුදුදහම ගැන දැනුමක් නැහැ. මහණ වුණාට පස්සෙ මම මහන්සිවෙලා දියුණු වුණේ. මට වාහන තට්ටුගෙවල් වතුපිටි තියෙනවා. මම ඒවා හම්බ කරපුවා. ඔය ථෙරවාදී බුදුදහමට මම කැමති නැහැ. මහණකමේ ඉඳගෙන සැප විඳින්නයි මම කැමති.”

මෙය අසා සිටියවුන්ගේ මනසට ඉඳිකටු තුඩුවල රිදුමක් ද මුවඟට සිනාවක් ද පෑහේ.

ඔහු සුවිසල් වත්තක බංගලාවක ද හිමිකරුවෙකි. බුලත්කොහුපිටිය පාරේ වාගොල්ල හන්දියෙන් හැරී ගිය විට වත්තේ ගේට්ටුව හමුවේ. ගේට්ටුවේ සිට තවත් මීටර් 150 ක් ගිය විට බංගලාව හමුවේ. එහි යන මඟ දෙපස පොල් තැඹිලි හා තේ වවා තිබේ. 

එහිද ඔහු වාසය කරන තැනකි. කාර්ය බහුල අයකු ලෙසින් තමන් හඳුන්වන ඔහු තමන් ගිය රටවල්වල මහායාන දහම ඉස්මුදුනින් සලකා ප්‍රසිද්ධියේ කියන්නේ මෙහි දානයකට ගියවිට ලැබෙන්නේ කිරි පිටි පැකට් එකක්, කුඩයක් වගේ දෙයක් බවකි. 

ඒ නිසාම නොයන බවද කියාපායි. ඔහුගේ වතුපිටිවල සේවකයෝ ද සිටිති. මත්පැනට ගිජුවූවකු බව කියා පෑ තමන් ළඟ සුපිරි මත්පැන් බෝතල් ඇති බව කී විට මත්පැන් බොන විටදී බයිට් එහෙමත් කනවා ඇති නේදැයි නැඟූ ප්‍රශ්නයකදී ‘ඔව් – ඔව්. සොසේජස්, තෝරමාලු පෙති එහෙම කනවා’ යැයි නොපැකිලවම කීයේය.

ගිහියන් සමාදන් වන පන්සිල් පද පහ දන්නේ දැයි විමසුමේදී ‘ඔව් සුරාමේරය’ යැයි කීවේ ය. සුරාපානය විනය විරෝධී ක්‍රියාවක් බවත් බුදුදහම පිළිපදින්නේ නැහැ නොවේදැයි ඇසූ කල ‘මේක මේ උදේ ඉඳන්ම බණ කියන රටක්නේ’ යැයි කීයේ ය.

සිය කැමැත්තෙන් ඔහු සොයා පැමිණි ජනපි‍්‍රය කාන්තාවෝ ද වෙති. ඔහුගේ ධනයට ගිජු වු ඇතැම් කතුන් අවසානයේ තටු සිඳගත් අවස්ථා ද නැතුවා නොවේ. ඔවුන් තමන්ට වූ අතවරවලදී නීතිය හමුවට නොගොස් රහසේ විඳදරා ගත්තේ ද ඔහුගේ බලපුළුවන්කාරකමට බියෙනි. කෙසේ නමුදු ඇතැම් ඉහළ පෙළේ ජනපි‍්‍රය පුද්ගලයෝ ද ආරක්ෂක අංශවල ඇතැමුන් ද ඔහුගේ සවියට රහසේ සිටි බවද කියැවේ. 

සසුන් ලැදි බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ අසා ඉවසා වදාළේ බලවත් චිත්ත පීඩාවකිනි. ඔහු පිළිබඳ නිරුවත මාධ්‍යය ඔස්සේ හෙළිවීමත් සමඟම වත දවටා ගත් ‘කසාවතින්’ පසුවන ඔහු පැවිද්දකු ලෙසින් පිළිනොගන්නා බවට ආර්ය සංඝ සමාජයෙන් ප්‍රකාශයට පත්වෙද්දී සුනිල් ශාන්තට සිවුරට මුවාවී තවදුරටත් අපරාධ කරන්නට බැරි විය. 

එනිසා ඔහු සිවුරු හැර දැමීය. බුද්ධ දේශනාවට අනුව මෙලොව දීම විපාක දෙන කර්මය දිට්ඨ ධම්මවේදනීය කර්මය ඔහු කරා පැමිණියේ මීට වසර කිහිපයකට පෙර දී ඔහු විසින් සිදුකළ බරපතළ වරදකට චෝදනා එල්ල වෙමිනි. 

සසුනඹරෙහි චිරස්ථිතිය ද පාරිශුද්ධ බවද තවදුරටත් ප්‍රාර්ථනය කරනු ලැබූ ආර්ය භික්ෂුන් වහන්සේලාට මෙන් ම සසුන් ලැදි බොදු ජනයාට ද අස්වැසිල්ලක් වූවාට සැක නැත. චෝදනාව වූයේ කෑගල්ල එලගල්ලේ පදිංචි චාන්දනී බණ්ඩාරනායක නමැත්තියකට රැකියාවක් ලබාදෙන බව පවසා වත්තේ බංගලාවට කැඳවා ඇය දූෂණයට ලක් කිරීමය. 

ඇයගේ ඥාති නැන්දා හා මාමා වන දෙපළක් ඇයට රැකියාවක් ලබාගැනීමට හැකි බව පවසා ඇය කැටුව ගියේ රුවන්වැල්ලේ සෝභිත නමැති නාමික ශ්‍රමණ වේශධාරියා හමුවටය. 

රැකියාවක් ලබා ගැනීමට ගිය ඒ ගමනේදී ඈ අතවූ සහතිකපත් ද බැලූ හෙතෙම ඉන්පසුව කීයේ තමන්ගේ ළිහිණියාවත්තට ගොස් මැනේජර් මහතා හමුවන ලෙසටය. ත්‍රිවීලරයක නැඟුණු ඈ නැන්දා හා මාමා ද සමඟ වත්තට ගියහ. සවස 4 ට පමණ වූ ඒ දිනයේ එහි තවත් කීපදෙනකු ද සිටි අතර එකී මැනේජර් මහතා ඈ සතු සහතික පිරික්සා බැලීය. අනතුරුව ඇය නැන්දාට කීවේ ‘දැන් අපි ගෙදර යමු’ කියාය. 

ඊට පිළිතුරක් දුන් නැන්දා ඇයට කීවේ ‘මාමාත් ඉන්න නිසා අද අපි මෙහෙ රෑ නැවතී පසුදා යමු’ කියාය. සෝභිත හෙවත් සුනිල්ශාන්ත සැරසුණු කසාවතින් එහි පැමිණියේය. සුනිල්ශාන්ත සමඟ නැන්දාත් මාමාත් මත්පැනින් සප්පායම් වන අයුරු ද ඇය දුටුවාය. අනතුරුව සැවොම එක මේසයක සිට රාත්‍රි ආහාර ගත්හ. 

එහි පහළ තට්ටුවේ කාමර බැලූ නැන්දා කීවේ තමා මාමාත් සමඟ කාමරයේ නිදන බවත් ඇයට අනෙක් කාමරයේ තනිවම නිදාගන්නා ලෙසටය. ඊට අකැමැති වූ ඈ තමන් හා නිදා ගැනීමට නැන්දාට එනලෙසට බලකර කීවාය. නැන්දා සමඟ කාමරය තුළ සිටියදී සිවුරක් දැරී වේශධාරියා කාමරයට එද්දීම නැන්දා වහා කාමරයෙන් පිටතට ගියාය.

ඇය ද ඉන් එළියට යන්නට සූදානම් වුවද වහා ඔහු එහි දොරගුළු ලෑවේය.
‘කෑගහල දඟලල මෙතැනින් යන්ඩ බෑ. මං ගාව ඕන ජාතියේ බඩු තියෙනවා. එමතුද නොව හෙතෙම ඇතැම් පොලිස් නිලදරුවන් කාන්තාවන් රැගෙන මෙහි පැමිණි බවද කීවේය. ඊළඟ මොහොත තවත් භයංකර වීය. ඇගේ මුහුණට පිහියක් ළං විය. 

ඉන් බියපත් වූ ඈ හඬා වැටෙමින් පසුවෙද්දී ඈ හැඳ සිටි ඇඳුම් බලෙන් උනා දැමූ හෙතෙම නාන කාමරයට වැදී යළි ආවේ උනා දැමූ සිවුර වෙනුවට කොට කලිසමකිනි.

ඉක්බිති සිදුවූ අසනිඝාතයෙන් ඇගේ පතිවත කෙළෙසිණ. ඒ මහ රැය ඉතා දිගු විය. සිදුවූ චිත්ත වේදනාව නිසා ඇයට නින්ද ලැබුණේ නැත. තත්පරයක් ගෙවා දැමීම ද අසීරු විය. උලමකු හා සමාන බියමුසු හඬක් ඉහළට ඇදී යනු අක්කර 40 කින් යුතු ළිහිණියාවත්තේ මහ කැළයෙන් ඇයට ඇසිණි. 

හෙතෙම ගව් ගණනක් පිම්මේ දිව හතිලා බිම ඇද වැටී නින්දකට වැටුණු නියාවෙන් ඇඳ මත ගොර නින්දේය. ඔහු නිදි බවට සැක හැර දත් ඕ වහා තැන තැන දමා තිබූ ඇඳුමින් වහා සැරසී එළියට යාමට ද බියෙන් දැන දැන මෙහි තමන් කැඳවා ආ නැන්දා මාමා ද නැති වූයෙන් ඈ එළිවනතුරු පුටුවකට බරදී රැය පහන් කළාය.

දසතින් බිම්එළිය වැටෙනතුරුම බලාහුන් ඕ දිවගොස් නැන්දා මාමාට බැණ වැදුණාය. එතැනට ආ සුනිල් ශාන්ත ඇයට රස්සාවක් දෙන බව කී විටදී සිතෙහි නැඟි කෝපයෙන් ම ඇය බැණ වැදුනේ “මේ විදියට මට රස්සා එපා” කියාය. ඈ වහා ඉන් පිට වී නිවසට පැමිණියාය.

බුලත්කොහුපිටිය පොලිසියට තමන්ට වූ අතවරය අඩුවක් නෑර පැමිණිලි කර සිටියාය. ඉහළ පේඩිගේ ප්‍රේමචන්ද්‍ර මාමාත් හෝඩිය බණ්ඩාරලාගේ අනෝමා නැන්දාත් කීවේ තමුන් නිර්දෝෂී බවය.

මෙම දූෂණ සිද්ධියේ පළමුවන විත්තිකාර ඒ. සෝභිත හෙවත් සුනිල් ශාන්ත නමැත්තා ‘ඔය පැමිණිලිකාරිය කියන්නේ බොරු. මම ඇයව දූෂණය කෙළේ නැහැ. මාව හමුවන්න ඇවිත් රුපියල් ලක්ෂ පහක් මගෙන් ඉල්ලුවා. නුදුන්නොත් ඇයව දූෂණය කළා කියා පොලිසියට කියන බවත් කීවා. මට විරුද්ධ චෝදනා මං පිළිගන්නේ නැහැ. මං ප්‍රතික්ෂේප කරනවා’ යැයි කීවේය.

හේ මෙසේ ද කීවේය. ‘මං සිවුරු දරාගෙන ඉන්න එක හැමෝටම බඩේ ගායක් වුණා. මට ඕනෙ හොඳින් කාල බීල සැපෙන් ඉන්නයි. මට හැමෝම ඊර්ෂ්‍යා කළා. සිවුරු ඇරියෙත් ඒ නිසයි. මට හැමදේම තිබුණා.

ළිහිණියාවත්ත වගේම හැටන් කොළඹ ළිහිණියා ටුවර්ස් බස්, වාහන කොටස් අලෙවිහල, ගරාජ් එක, තවත් පොඩි පොඩි ඉඩම්කඩම්, සුළුවෙන් ඉඩම් වෙළඳාමත් කළා. පිටරට අයට ඡ්‍යොතිෂ්‍ය, ගුරුකම් වැඩක් කළාම 25,000 යි. හැබැයි එව්වා එන්නෙ ඩොලර් වලින්. මට කෝටියක් දෙනව කිව්වත් ප්‍රේම සබඳකම් කඩලා නැහැ. 

මං බොන එක බෝතලක් රු. 4500 යි. මගේ යාළුවො ඇවිත් සැපක් ගන්න ඕන කිව්වාම මගේ වත්තට තමයි මං යවන්නේ. මං වගේ උසස් තත්ත්වයෙන් ඉන්න උසස් අය ඕන තරම් එනවා. පොලිසියේ, බැංකුවල, උසස් ආයතනවල ප්‍රධානීන්, ගුරුවරුන් වැනි ප්‍රභූ උදවිය එනවා. ඒ අය කාලා බීලා සැප විඳල වත්තෙන් යනවා.

’ඈ විවාහක කාන්තාවක්, සිරුරේ තුවාල 5 ක් තිබුණා. තදින් ඇල්ලීමෙන් විය හැකියි. තැලීම් තුවාල නිසා හටගත් ඒවා ද තිබුණා. ඇය කිසියම් අයකුගේ ලිංගික අතවරයකට ලක්වී තිබෙනවා.’ යැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය මුරුගපිල්ලේ සිවසුන්දරම් මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.
 
නීතිය ද අධිකරණය ද විශ්වාස කරමින් යුක්තිය පැතූ ඇයට සාධාරණය ඉටුවිණි. ඈ සැනසුම් සුසුම් හෙළා දෑසේ නැඟි කඳුළු පිසදා ගත්තාය. 

චූදිත ඒ. සෝභිත හෙවත් සුනිල් ශාන්ත නමැත්තාට විසි වසරක බරපතල සිර දඬුවම් හා විසිදහසක දඩයක් ද ඊට අනුබල දුන් දරුවන් සිව්දෙනකුගේ මවුපියන් වන නැන්දා හා මාමාට ද විසිවසරක සිර දඬුවම් හා විසිදහසක දඩයක් ද නියම කළ කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු මේනකා විජයසුන්දර මෙණවිය අගතියට පත් කාන්තාවට ලක්ෂ දෙක බැගින් වන්දි ගෙවන ලෙසට ද නියෝග කළාය.

’යමෙකු යම් වරදක් සිතා මතා කළේ ද ඊට විපාක උපනූපන් භවයේදී අත් වුවද බොහෝ විට දිට්ඨ ධම්ම වේදනීය කර්ම ලෙසින් මියෙන්නට පෙර මෙලොවදීම අත්වේ. සනාතන බුදුවදන එයමය. 



සම්බන්ධිත පුවත් : 

සෝභිත හිමියෝ අත්අඩංගුවට

ජීවිතේ තියෙන්නෙ විඳින්න. විඳවන්න නෙවි..! 

රුවන්වැල්ලේ සෝභිත නම් චීවරධාරියා සිවුරු හරී

බන්ධනාගාරයේදී රුවන්වැල්ලේ සෝභිත නිරුවත් කර දණ ගස්සලා 

අංකොක්කාවල සුනිල් හෙවත් රුවන්වැල්ලේ සෝභිත තරුණ වැන්දඹුව දුෂණය කලේ මෙහෙමයි...

රුවන්වැල්ලේ සෝභිත චීවරය අත් හරි....!

හොට පැටලුනු අන්කොක්කාවල සුනිල් හෙවත් රුවන්වැල්ලේ සෝභිත වසර 20කට මහඋළු ගෙදරට

පොලිසියට කට්ටි පනිමින් සිටි රුවන්වැල්ලේ සෝභිත වැන්දඹුවක් කෙළෙසා බන්ධනාගාරයට...

 
Related Posts with Thumbnails