Ads 468x60px

.

ඔබත් අණවින හදි හූනියම්වලට බයද..?

උඹ මට කළ දේට හූනියමක් කරලයි මම උඹව විනාශ කරන්නේ...

කෙනකු විසින් තවත් කෙනෙකු කෙරෙහි පවතින නොමනාපය, වෛරය, ක්‍රෝධය හේතුවෙන් එල්ල කරන ගුප්ත බලවේගයන් ලෙස අනවින හදි හූනියම් වැනි දෑ පිළිබඳව විශ්වාස කරන පිරිස් මෙවැනි යුගයක ද විරල නොවේ. 

එලෙස ඔවුන් විශ්වාස කරන ආකාරයේ ගුප්ත බලයන් හේතුවෙන් මරණයට පත් වූවන්, සිහිවිකල් වූවන් හා රෝගී වූවන් පිළිබඳවත් උදාහරණ ඇතිවම ඔප්පු කරන්නට උත්සාහ කරන්නෝ ද සිටිනවා.

ගුප්ත බලයෙන් එවැනි අයහපතක් වුවත් තවකෙකුට කළහැකියයි විශ්වාස කරන පිරිස් සිටියද එවැනි දෑ කිසිසේත්ම එවැනි ගුප්ත බලපෑමක හේතුවෙන් සිදුවන්නක් නොවේ. මෙහි දී යම් අයෙකුට පෙරකී ආකාරයේ අහිතකර බලපෑමක් ඇතිවීමට ක්‍රියාකරන්නේ තමා තුළම පවතින ව්‍යාංගය (SUGGESTION) නම් සාධකය බව දන්නේ ඉතා සුළු පිරිසකි.



“උඹ මට කළ දේට හූනියමක් කරලයි මම උඹව විනාශ කරන්නේ”යයි කෙනෙකු කෙරෙහි පවතින වෛරය හේතුවෙන් තවත් කෙනකුට පැවසුවේ යැයි සිතන්න. එය යම් අයෙකුගේ මුහුණටම කියා ගන්නට බැරි වූ විට වෙනත් කෙනකු මාර්ගයෙන් හෝ ඒ දෙය අදාළ පුද්ගලයාට දැනෙන්නට සැලැස්වීමටත් හැකියාව තිබේ. 


 ඉන්පසුව යන්ත්‍ර, සුර, වර්ණවත් නූල්, කුඩා මැටි මුට්ටි, සමහර විට කළු බළලකු, සර්පයෙකු වුවත් අදාළ පුද්ගලයාගේ නෙත ගැටෙන ආකාරයෙන් හෝ යම් ක්‍රියාකාරකමක් මගින්, හූනියමක්, අනවින බන්ධනයක් කළ බවට සාක්ෂි දැනගන්නට සැලැස්විය හැකිය. මේ තුළ කිසිදු ගුප්ත බලයක් නොතිබුණ ද ඒවා හේතුවෙන් තමන්ට හූනියමක් කරන්නට ඇතැයි යන විශ්වාසය මත ඔහුගේ සිත තුළ මෙම ව්‍යාංගය පිබිදීම සිදු වේ. 

හූනියමක්, අනවින බන්ධනයක් ලෙස ක්‍රියා කරමින් තමන්ටම අයහපත උදාකර දෙන්නේ තමන්ගේම සිතයි. ඒ හැරුනු කොට වෙනයම් ගුප්ත බලවේගයක් නොවේ. පෙරකී ආකාරයට හූනියමක් වින බන්ධනයක් තමන්ට කරන්නට ඇතැයි සාධක සහිතව සිත පිළිගනිද්දී තැති ගැනීම, ජීවිතය පිළිබඳ අවදානම වැනි හැඟීම් උද්දීපනය වීමෙන් මොළයේ ජෙව රසායනික ක්‍රියාවලියේ ද වෙනසක් සිදුවේ. 

මෙහිදී බොහෝ විට ඇඩ්‍රිනල් ග්‍රන්ථියෙන් පිටවන ඇඩ්‍රිනලින් හෝමෝනය අධිකව නිපදවීම හේතුවෙන් සිරුරේ සාමාන්‍ය පැවැත්මට බාධා පැමිණවිය හැකිය. මෙම තත්ත්වය මානසිකව මෙන්ම කායිකවත් මේ දෙයාකාරයෙන්ම වුවත් සිදුවිය හැකිය. මේ ආකාරයෙන් සිරුර මනස හෝ ඒ දෙකම රෝගී වීම තුළ හූනියම තමන්ට වැදුණු බවට තමන්ගේ සිත තුළට මිථ්‍යා විශ්වාසයක් ගොඩනැංවීම සිදුවේ. 

එවිට පියවරින් පියවර කායික මානසික බිඳ වැටීම කායිකව හෝ මානසිකව නැතිනම් ඒ දෙයාකාරයෙන්ම දුර්වලත්වයට බලපානු ඇත. එවැනි ආකාරයේ කයින් මනසින් දුර්වල වූවෙකු තුළ භින්නෝන්මාදය වැනි මානසික රෝග සඳහා බලපාන මූලික සාධක පවතී නම් එවැනි රෝග ද ඉස්මතු වීමට වැඩි ඉඩකඩක් පවතී.මෙය මනෝ විද්‍යාවේ අතහැර දැමීමේ ආබාධය (Giving up Givenup Syndrome) නමින් හැඳින්වේ.
 
පෙරකී ආකාරයෙන් ව්‍යාංගය නමැති සාධකය මිනිස් සිත තුළ පුබුදුවා මරණයට පත් කිරීමේ ක්‍රමවේදයක් අප්‍රිකානු මහද්වීපයේ නොදියුණු ජනසමාජයන්හි පැවැති බවට සාධක තිබේ. වූඩූ මරණය (Voodoo Deth) නමින් හැඳින්වෙන ඒ ආකාරයෙන් ව්‍යාංගය පුබුදුවා මරණය වෙන යොමු කිරීමට ක්‍රියාකිරීමේ දී අත්වන මරණය වැළැක්වීමට වෛද්‍ය විද්‍යාව තුළවත් හැකියාවක් නැති බව පිළිගැනේ. 


අප්‍රිකාවේ පමණක් නොව බුදුන් දවස පවා ඒ ආකාරයෙන් ව්‍යංගය ඉස්මතු කර මරණය පවා අත්කර දීමට ක්‍රියාකරවුන් සිටි බවට උදාහරණ බුදු බණ තුළම පවතී. ඒ අනුව ප්‍රාණඝාතය පිළිබඳව දේශනා කළ බුදුන් වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ආදිය උපයෝගී කර ගනිමින් සිදුකරන මරණයක් වුවද ප්‍රාණඝාත අකුසල කර්මයක් සේ සලකන බව වදාළේ බුදුන් දවස පවා අනවින හදි හූනියම් පැවැති නිසා විය හැකිය.
 
මනෝ රෝග විශේෂඥ  වෛද්‍ය ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍ර අවධාරණය කරයි.
 
Related Posts with Thumbnails