Ads 468x60px

.

මාස 6යි දින 10කින් මෙලොව එළිය ලැබූ සුපිපි දෙව්මිණි

රාත්‍රී දහයට විතර මට ඇඟේ 
වෙනසක් දැනුණා...

මට ලොකු බයකුත් දැනුණා...
මං ඒ ගැන මහත්තයට කිව්වා...

ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ දුර්ලභ අවස්ථාවක් සනිටුහන් කරමින් පසුගිය ජූලි 08 සුපිපි දෙව්මිණි දියණිය මහියංගණ මූලික රෝහ‍ලේ දී උපත ලැබුවාය. 

ඒ අප රටේ වෛද්‍ය ඉතිහාසයේ නව පිටුවක් ද පෙරළමිනි. සුපිපි දෙම්මිණි උපත ලබා ඇත්තේ මාස 06 යි දින 10 ක් වැනි අඩු දින සංඛ්‍යාවකිනි. ඇගේ උපත් බර සටහන් වූයේ ග්‍රෑම් 820 වශයෙනි.
 
මේ වගේ රෝහලක අඩු පහසුකම් සහිතව මේ වගේ කටයුත්තක් කරන්න පුළුවන් කාර්ය මණ්ඩලයක් සිටිනවා කියන එක ඇත්තටම ආඩම්බරයට කාරණයක්. මගේ සේවා කාලය තුළ මේ වගේ අත්දැකීමක් ලැබි නෑ”. මූලික රෝහ‍ලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා එසේ පවස
නවා.


ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳ ගමේ පදිංචි තිස්හත් හැවිරිදි ඩී.එම්. ආරියදාස සහ තිස්පස්වියැති ඊ.එම්. කල්‍යාණි කුමාරිගේ පුංචි කැදැල්‍ලේ
පළමු සාමාජිකයා වනුයේ සිත්මි චමත්කා  දියණියයි. ඇය මේ වන විට සිව් හැවිරිදිය. 

 
මේ පුංචි කැදැල්ලට තවත් සාමාජිකයකු එකතු වන බව දැනුණු කල්‍යාණි පුංචි සිත්මිට හොරෙන් ආරියදාසගේ කනට කර ඒ බව කීවේ ඊට මාස හයකට පමණ ඉහතදීය. එදින ආරියදාසට දැනුණු සතුට නිම්හිම් නැති විය.
කුමාරි සිප වැළඳගත් ආරියදාස කීවේ මෙවර නම් ලැබෙන්නේ අපේ පරම්පරාව ගෙන යන්නට කොලු පැටියෙකු බවයි.

 
එදිනෙදා ගොවිතැනින් පවුල නඩත්තු කරන ආරියදාස තව තවත් වෙහෙස මහන්සි වූයේ තවත් මාස නවයකින් තම පවුලට එකතුවන නව සාමාජිකයා පිළිගන්නටය. 


අවශ්‍ය ‍පෝෂණය දරුවාට දෙන්නට අවශ්‍ය මුදල් උපයන්නට ඔහු නව දිරියකින් ක්‍රියා කළේය. කල්‍යාණිගේ කුස මෝරා වැඩෙත්ම සිත්මිගේ කනටද මේ අමුත්තාගේ පැමිණීම ආරංචි විය. ඇය ද ඇඟිලි ගනිමින් සිටියේ තමන්ගේ තනි නොතනියට ‘මල්ලි’ කෙනෙකු හෝ නංගි කෙනෙකු එනතුරුය.
 
2012 ජූලි මස 07 වෙනි දින රාත්‍රිය උදාවිය. සියලුම දෙනා රාත්‍රී ආහාර ගෙන නින්දට සූදානම් වූහ. එහෙත් එදින කිසිවකු බලා‍පොරොත්තු නොවූ දෙයක් සිදු විණි.

 
“රාත්‍රී දහයට විතර මට ඇඟේ වෙනසක් දැනුණා. මට ලොකු බයකුත් දැනුණා. මං ඒ ගැන මහත්තයට කිව්වා. ඔහු මාව රැගෙන රාත්‍රියේම ගිරාඳුරුකෝට්ටේ රෝහලට ආවා. එහි හිටපු වෛද්‍යවරුන් මාව පරීක්ෂා කරලා මහියංගණ රෝහලට එව්වා. 


මහියංගණයට එන කොට පාන්දර 4.00ට විතර ඇති. රෝහ‍ලේ හිටපු දොස්තර මහත්තුරු මාව පරීක්ෂා කරලා කිව්වා, මට දරුවා ලැබෙන්න ආසන්නයි කියලා. මට පුදුමයි අදහාගන්න බැහැ. මොකද මට සායනවල දී කිව්වේ තව දින තියන බවයි. අනෙක මේ වෙන විට මගේ දරු ගැබට ගතවෙලා තිබුණේ මාස 6යි දින 10ක් වාගේ කෙටි දින ගණනකුයි.
 
ඒ වෙලාවේ මට පුදුම බයක් දැනුණේ. මොකද අඩු දින ගණනකින් දරුවෙක් හම්බ වුණාම මවටත් දරුවාටත් හානි වෙන බව මම අහලා තිබුණු හින්දා. මහත්තයත් කීවා අනේ අපිට මේ මොකද වෙන්න යන්නේ කියලා”. ඒ සුපිපිගේ මව කියන කතාවයි.

 
“මාව ප්‍රසූතියට සූදානම් කරලා සූතිකාගාරයට අරගෙන ගියා. හරියටම උදේ 7.30ට මට දුව ලැබුණා. මට කිසිම අපහසුතාවයක් ඇති වුණේ නැහැ. දරුවා ලැබුණට පස්සේ දරුවා අඬනවා මට ඇහුණා. මට එතකොට හිතුණා දරුවාට කරදරයක් වෙලා නැහැ කියලා. 


නමුත් මට ඇහුණා එතන හිටපු කාර්ය මණ්ඩලයේ නෝනලා මහත්තයලා කියපු කතා බහ. එතකොට ආයෙත් මට බයක් ඇති වුණා. සමහරු කතා වුණා අම්මා නම් ප්‍රශ්නයක් නෑ ළමයා  ෂුවර් නෑ කියලා. ඒත් ළමයා ගත්තු ඔවුන් ඒ මොහොතෙම අරගෙන ගියා. මට නැවත බය ඇති වුණා. 

පස්සේ මගේ ළඟට ආපු විශේෂඥ දොස්තර මහත්තයා කිව්වා අම්මා බය වෙන්න එපා බර අඩු වුණාට දරුවා හොඳින් ඉන්නවා කියලා. එතකොට මට පුංචි සැනසීමක් ඇති වුණා. පස්සේ දරුවා දමා තිබුණු තැනට මාවත් රැගෙන ගියා. දරුවා වීදුරු පෙට්ටියක දමා තිබුණා. මට ඒ වෙලාවේ හිතුණේ දරුවා ඇහැට පේන්නේ නැති තරම් පුංචි බවකුයි. දිනපතා මට දරුවා බලන්න ඉඩ දුන්නා. නමුත් මට දරුවට කිරි දෙන්න නම් බැරි වුණා. 
 
මෙහෙම මාස දෙකක්ම මටත් දරුවටත් රෝහ‍ලේ ඉන්න වුණා. මට රෝහ‍ලේ අය ඉතාම හොඳින් සැලකුවා. මම රෝහලින් පිටවුණේ රටක් රාජ්‍යයක් දිනා ගත්තා වගේ සතුටින්. පුතෙක් බලා‍පොරොත්තු වුණු අපිට දියණියක් ලැබිම කොහොම වුණත් මේ වගේ තත්ත්වයක් යටතේ මේ ලෝකෙට බිහිවුණ දියණිය මෙහෙම ආරක්ෂා වුණු එක මට මහ මෙරක් වගේ” කල්‍යාණි කුමාරි කියයි. 

ඇය පවසන අන්දමට මේ හාස්කම කළ මහියංගණ මූලික රෝහ‍ලේ ළමා රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සිය අත්දැකීම මෙසේ විස්තර කළේය. රෝහලට ඇතුළු කරපු මේ මවගේ සායන ‍ලේඛන පරීක්ෂා කිරීමේදී අපට වැටහුණා මෙයාගේ කුසට මාස 6යි දින 10ක් වී ඇති බව. 
 
මෙවැනි වයසක ළමයෙකු ලංකාවේ ඉපදිලා ජීවත් කරවන්න හරිම අමාරුයි. දියුණු රටවල නම් ඒ සඳහා අවශ්‍ය විශේෂ පහසුකම් තියෙනවා. බබාගේ වාසනාවට දරුවාගේ ශ්වසන පද්ධතියේ ලොකු ප්‍රශ්නයක් ව්‍යාකූල බවක් තිබුණේ නැහැ. ඒක නිසා අපිට මහියංගණ රෝහ‍ලේ ළදරු ළමා ඒකකයේම මේ දරුවා තියාගන්න පුළුවන්කම තිබුණා. එහෙම නොවුණා නම් අපිට මේ දරුවා මෙහේ තියාගන්න බැහැ. 

ඒ සඳහා අවශ්‍ය විශේෂ ශ්වසන උපකරණ මුකුත් නැහැ. නමුත් බබාට මුලින්ම මව්කිරි දෙන්න නම් පුළුවන්කමක් තිබුණේ නැහැ, අඩු වයස නිසා. අපි ඒ අනුව ශිරා ගත ‍පෝෂණ සතියක් විතර ලබා දුන්නා. ඊට පසුව මව්කිරි විතරක් ක්‍රමානුකූලව බබාට ලබා දුන්නා. අපට සති දෙකක් විතර ගියා මව්කිරි බබාට ඔරොත්තු දෙන ප්‍රමාණය ලබා දෙන්න. 

ඊට අමතරව බබාට විෂබිජ ශරීරගත වුණා දෙවරක්ම. ඒක තමයි මෙවැනි දරුවන් වෙතින් සුලබව දක්නට ලැබෙන සංකූලතාවය. මොකද ඒ අයගේ ශ්වසන පද්ධතිය දියුණු නැති නිසා, රෝගවලට විරුද්ධ වීමේ ශක්තිය නැහැ. නමුත් අපිට ඒකත් ජයගන්න පුළුවන් වුණා. 

ඊට අමතරව බබාගේ හෘදය වස්තුවේ සංකූලතාවයන් ඇතිවෙලා ප්‍රශ්න ඇතිවෙන්න ගියා. නමුත් අවශ්‍ය ප්‍රතිකාර මගින් ඒකත් හොඳ කරගන්න හැකි වුණා. අපේ ඒකකයේ සිටින කාර්ය මණ්ඩලයේ දක්ෂතාවය සහ අම්මගෙන් අපිට ලැබුණු මනා සහයෝගය නිසා මේ බබා මෙහෙම බේරගෙන නිරෝගී දරුවෙකු කරගන්න පුළුවන් වුණා. 
 
ඊට අමතරව අඩු වයස නිසා බබාගේ ඇස්වල සංකූලතාවයක් ඇති වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒකට අපට නුවර රෝහ‍ලේ අක්ෂි වෛද්‍යවරුන් ලවා ප්‍රතිකාර ගන්න පුළුවන් වී තිබෙනවා. දැනට ඒකත් සෑහෙන දුරට මර්දනය කරලා තියෙනවා. මට හිතෙන විදිහට මේ බබා සාමාන්‍ය බබෙක් විදිහට වර්ධනය වෙයි දැනට තියෙන තත්ත්වය අනුව ඒ බව කියන්න පුළුවන්”.
 
මාස 6යි දින 10කින් අවදානම් තත්ත්වයකින් මෙලොව එළිය ලැබූ සුපිපි දෙව්මිණි දැරිය මේ වෙන විට මාස තුනක නිරෝගී දැරියකි. එය ඒ දැරියගේ මව රෝහල් කාර්යය මණ්ඩලය පමණක් නොව මුළු ලක්වැසි ජනතාවම සතුටු විය යුතු කාරණයකි.
 
නමුදු මෙවන් හපන්කමක් කළ මහියංගණ මූලික රෝහ‍ලේ ළදරු ඒකකයේ පවතින අඩු පාඩු ද බොහෝය. එම අඩු පාඩු ද සපුරා දෙන්නට අදාළ බලධාරීන් අවධානය යොමු කරන්නේ නම් මීට වඩා හපන්කම් කරන්නට මේ දෙවිවරු වැනි වෛද්‍යවරුන්ට හැකිවෙන බවත් එය මහියංගණය වැනි දුෂ්කර ප්‍රදේශයක ජනතාවට කරනු ලබන මහඟු සේවාවක් බවත් නිසැකය.


 
Related Posts with Thumbnails