Ads 468x60px

.

වෙබ් පිටුවක තිබුණා මං චන්නව ඊළඟ ආත්මයේ පතන්නේ නැහැයි කියලා - ගයාත්‍රි

තවමත් එදා වගේම දෙන්නා හරිම ආදරයෙන් ඉන්නේ...

මෙයා ඉතින් එයාගේ චිත්‍රපටවලට මාව ගන්නේ නැහැනේ...
 
මං කොච්චර චාන්ස් ඉල්ලුවත් ‘නෝ චාන්ස්’

ලංකාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන චන්න,ගයාත්‍රි දෙපොළ විවාහ වී මේ වන විට වසර පහළොවක් පමණ ඉක්ම වී ගොසිනි. 

ඒ කාලය අතරතුදී මේ යුවළ තරම් කටකතා වලින් බැටකෑ තවත් දෙදෙනෙකු අප කලා ක්ෂේත්‍රයේ ඇත්දැයි සැකසහිතය.කෙසේ නමුත් ඒවායින් නොසැලී අචල විශ්වාසයෙන් බැඳී අද වනතුරුත් ඔවුන් ගත කරන්නේ සුන්දරත්වයෙන් හෙබි පවුල් ජීවිතයකි.

මේ ඔවුන් හමු වී අලුත් විස්තර කතා කරන වෙලාවයි.


චන්න අයියා සෙනසුරු මාරුවත් එක්ක මේ දවස්වල?
සෙනසුරු මාරුව සිනමාපටය පවුලේ චිත්‍රපටයක්. එහි මං රඟපාන කිසල්ගේ චරිතයට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බාල මහළු කොයි කවුරුත් කිසල්ට ආදරෙයි. එහි අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය හා මම පළමුව එකට වැඩ කළේ 1993 හෝ 94. 


ඒ ඔහුගේ එක ගෙයි කුරුල්ලෝ නාට්‍යයේ. ඉන් වසර දහ අටකට ආසන්න කාලයක් ගත වූ පසුයි ඔහු නැවත සෙනසුරු මාරුවට මට කතා කරන්නේ. කිසල් නිසා මං පෙම්වතාගෙන් මිදුණා. උදයකාන්ත නිදහසේ කිසල්ව මෙහෙයවන්න මට ඉඩ දුන්නා.

ඔබ කිසල්ට සාධාරණයක් ඉටු කළා යැයි විශ්වාස කරනවාද?
ඇයි නැත්තේ මට දැනෙන්න මං කිසල්ට පණ දුන්නා.


ඒත් සෙනසුරු මාරුව නරඹපු වැඩි දෙනෙකු නම් ඔබේ රංගනය ගැන තෘප්තිමත් නැහැ?
මම ඒ අයගේ මතය ප්‍රතික්ෂේප කරනවා. කිසල් ගැන කියලා මට සෑහෙන්න දුරකතන ඇමතුම් එනවා හඳුනන නාඳුනන ගොඩක් අයගෙන්. ඒ වගේම පොදු තැන්වලදී හමුවන රසික රසිකාවියන් ඒ රංගනයට උපරිම තෘප්තිමත් යැයි කියනවා. එහෙම බලන කොට කුහකත්වයෙන් යුතු පිරිසක් අර වගේ කියනවා ඇති.

චන්න පෙරේරා වඩාත් බයෙන් රඟපෑ දර්ශනය ඇත්තේ සෙනසුරු මාරුවේ බව මට දැනගන්නට ලැබුණා?
පැහැදිලිවම. එහි සටන් ජවනිකාවක් තිබුණා පුදුකුඩි ඉරිප්පුවල ගාල් කොට ඇති ෆාරා 3 නෞකාවේ. ඒකේ මලකඩ කාලා ටිකක් දිරාපත් වූ තැන් එහෙමත්තිබුණා. එතැන තමයි මටයි බුද්ධික ජයරත්නටයි ෆයිට් කරන්න වුණේ. 


කොයි වෙලාවේ කඩන් වැටෙයි ද දන්නෙ නැහැ කිය කිය හිතමිනුයි එදා ගහ ගත්තේ. වාසනාවට එහෙම වුණේ නැහැ. හැබැයි මගේ පිට හොඳටම හීරුණා. ඒ සීන් එක ඉවර වෙද්දී මාස ගාණක් බෙහෙත් එහෙමත් කළා.

ගයාත්‍රි අක්කේ එහෙනම් මට කියන්කෝ ඔබ දෙපොළ අතර පැතිරෙන මේ දරුණු කටකතා ගැන?
ඒවා කට තියෙන පළියට කියන කතා අනේ. අපි නම් ඕවට සැලෙන්නේ නැහැ. ඒවා මේ සීමිත මාධ්‍ය ආයතන කිහිපයක් වගකීමක් නැතිව පළ කරන පුවත්වලින් හදන කටකතා.

ළඟදී දවසක චන්නගේ ආර්ටිකල් එකක් එක්තරා පත්තරයක ගියා. ‘මං වැඩිපුරම ආදරේ යශෝධට’ යන හෙඩිමත් එක්ක. එයා ඒක කියලා තියෙන්නේ නාට්‍යවල වැඩිපුරම ආදරේ කරලා තියෙන්නේ යශෝධාට යනුවෙන්. වෙලාවට යශෝධයි මමයි තේරුමක් ඇති දැනඋගත් අය හින්දා හොඳයි. 


තව පාරක් පුවත් වෙබ් පිටුවක ගිහින් තිබුණා මං චන්නව ඊළඟ ආත්මයේ පතන්නේ නැහැයි කියලා. මං කියපු දේවල් සම්පූර්ණයෙන්ම විකෘති කරලා ඒකේ දාලා තියෙන්නේ. ඒවා හරිම බොලඳ වැඩ. මෙවැනි මාධ්‍ය ආයතන වගකීමකින් යුතුව වැඩ කරන්න යැයි මං ඉල්ලා සිටිනවා.

මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්නේ නැති ද ඔබ දෙපොළ?
එහෙම කළොත් ඒ මාධ්‍ය ආයතනවලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙනවා. අපි දෙන්නා දැන් හිතන්නේ අවුරුදු දහ අටක විස්සක වයසකදී හිතනවා වගේ පටු අදහස් ඇති සිතකින් නෙවෙයි. මේ වෙන කොට අපි පරිණත පුද්ගලයින්. ඒ හින්දා බොහොම උපේක්ෂාවෙන් මේවා විඳ දරා ගන්නවා. කාලයත් සමඟ ඒවා වියැකී යාවි.

ගයාත්‍රිගේ ජීවිතය ගෙවෙන්නේ මේ දිනවල කොහොමද?
එරංග සේනාරත්නගේ යර්ස් මැඩම් නාට්‍යයේ රූගත කිරීම් සිදු කරනවා. ඒක හාස්‍යෝත්පාදක නාට්‍යයක්. එහි සැන්ඩ්‍රා නම් වූ ගුවන් විදුලි නාලිකා හිමිකාරිණියකගේ චරිතයයි මං රඟපාන්නේ. මං පළමු වතාවට තමයි විකට ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ. 


ඒ වගේම ස්වර්ණවාහිනී නාළිකාවේ ඉරු දින ‘චමත්කාර ඉරිදා’ නම් වූ සජීවී වැඩසටහන කරනවා. ඒවාහි වැඩ කටයුතු ඉවර වුණ ගමන් මගේ සැලොන් එකට දුවනවා. එහි වැඩ බලනවා. ඊට පස්සේ ගෙදර දොරේ අවශ්‍යතා බලනවා. ඔන්න ඔහොම තමයි ජීවිතේ ගෙවෙන්නේ.

යර්ස් මැඩම් නිසා ඔබත් හොඳට හිනා වෙනවා කියලා ආරංචියි?
ඒක නම් සහතික ඇත්ත. මට බොහෝ දර්ශන විජය නන්දසිරිත් එක්කයි තියෙන්නේ. ඔහු හැරුණත් මට හිනා. බොහොම අමාරුවෙන් රූගත කිරීම් අතරතුරදී හිනා නොවී ඉන්නේ. ‘කට්’ කියපු ගමන් හොඳටම හිනා වෙනවා.

ගයාත්‍රි එහෙම දිගටම කතාව ගෙනියද්දී චන්න බොරුවට නිදි.
හානේ චන්නට නින්ද ගිහින්. නැගිටින්න නැගිටින්න . . .
ගයාත්‍රි දෙතුන් සැරයක් චන්නව ගැස්සුවා.

ආ . . . කතාව ඉවරද, මට ඔයාගේ කතා අහලා නින්දත් ගියා.
අනේ. . .
හරි හරි . . . දැන් මගේ වාරේ . . .
චන්න බලෙන්ම අවස්ථාව ඉල්ල ගත්තා.

චන්න අයියේ ඔබ තමයි ඉන්දීය නිළියන් වර්තමාන සිනමාවට ගේන රැල්ල ඇති කළේ. ඔබේ ඊළඟ සිනමා නිර්මාණයෙත් ඉන්නේ ඉන්දීය නිළියක්? ලංකාවේ දක්ෂ නිළියෝ නැතිද?
ලංකාවේ අය දක්ෂයි. ඒත් අංජලිකා චිත්‍රපටයේ චරිතයට වඩාත් ගැලපුණේ පූජාව. ළඟදී එන්න තියෙන මගේ දෙවැනි සිනමාපටය කල්පාන්තේ සිහිනයක් සඳහා ද ඉන්දියානු නිළියක් ගත්තේ චරිතයට ගැලපීම මත.

මට සතුටුයි. මං කළ ඒ දේ පසුව ගොඩක් අය අනුගමනය කළා. ඒක හරියට මං අමාරුවෙන් තනපු පාලමකින් බොහෝ පිරිසක් එගොඩ වෙනවා වගෙයි.

පුංචි වීරයෝ වගේ හරවත් ටෙලි සිතුවමක් ඔබේ අතින් අයේමත් බිහි නොවෙයිද?
ගයාත්‍රිත් ඔය ප්‍රශ්නයම අහනවා. මං හිතන්නේ එවැනි ටෙලි නාට්‍යයක් ආයෙත් හැදෙන එකක් නැහැ.

ඔබ කළු චරිත කරන්නේ නැත්තේ ඇයි?
මං හිතනවා රංගන ශිල්පියකු පරමාදර්ශී විය යුතුයි කියලා.

ගයාත්‍රි අක්කේ, මං ආසයි ඔබ දෙපොළගේ ප්‍රේම වෘන්තාන්තය ඇරැඹෙන මකර විජිතයේ මතකය යළිත් මඳක් අවදි කරන්න?
ඒක ජීවිතයේ අලුත් පිටුවක් පෙරළපු කාලයක්. මකර විජිතය නාට්‍යයේ අධ්‍යක්ෂ බෙනට් රත්නායක මහතා නවක නිළියක් හොය හොය ඉඳලා තියනවා චරිතයකට. මං ඒ වන කොට ටෙලි නාට්‍ය දෙක තුනක සුළු චරිත කරල තිබුණා. 


ඒක නිසා ඔහු මට නාට්‍යයට කතා කළා. එහිදී චන්නව මුණ ගැසුණේ. මං මකර විජිතයේ ෂූටිං ඉවර වුණු ගමන් ජර්මනි යන්න හිතාගෙන උන්නේ. ඒත් චන්න නිසා ඒ ගමන නැවතුණා. 

අපි ඉක්මනට කසාද බැන්දා. එතකොටත් චන්න ජනප්‍රිය නළුවෙක්. විවාහයෙන් පස්සේ ඔහුගේ ජනප්‍රියත්වය තවත් වැඩි වුණා. එදා ඉඳලා මේ වෙනකම් අපි හොඳීන් ඉන්නවා. අපේ ලොකු දුවට දැන් අවුරුදු 14 ක්, දෙවැනි දුවට අවුරුදු 07. ඒ අය තමයි අපේ ලෝකය.

ගයාත්‍රිගේ ඒ වචන එක්කාසුව චන්න අහගෙන හිටියේ බොහොම ආදරයෙන්.

ඉතින් චන්න අයියේ මොනවද අනාගත බලාපොරොත්තු?
ගයාත්‍රි කිව්වා වගේ අපේ ලෝකය හැඩ ගැන් වූ දුවලා දෙන්නට හොඳින් උගන්වන්න ඕනේ.කලාව පැත්තෙන් ගත්තොත් මගේ තෙවැනි චිත්‍රපටයේ තිර නාටකය ලියනවා. ඒකේ නම ‘තරුමත ලියමි’ ළඟදීම ඒක රූගැන් වෙයි. 


මෙයා ඉතින් එයාගේ චිත්‍රපටවලට මාව ගන්නේ නැහැනේ. මං කොච්චර චාන්ස් ඉල්ලුවත් ‘නෝ චාන්ස්’ තරුමත ලියමි ගැන චන්න පවසද්දී ගයාත්‍රී එහෙම කිව්වේ චන්නගේ අතක් කොනිත්තන ගමන්.
 
Related Posts with Thumbnails