Ads 468x60px

.

බන්ධනාගාර යුද්ධයේ සජිවී විස්‌තරය...

බන්ධනාගාර ඇමැතිතුමනි
කොමසාරිස්‌ ජෙනරාල්තුමනි

එදා මොකද වුණේ...?
ඔබටවත් පිළිතුරක්‌ දිය හැකිද...? 

වැලිකඩ කුඩු කර මෙසේ කැඳ හැදුවෝ කවරහුද...?

බන්ධනාගාර කොමසාරිස්‌ ජෙනරාල්වරයා ප්‍රධාන බන්ධනාගාර පරිපාලන ප්‍රධානින් එක්‌ව තිර නාටකය ලියා අධ්‍යක්‍ෂණය කර ඉකුත් 09 වැනි සිකුරාදා පස්‌වරු 1.30 සිට වැලිකඩ බන්ධනාගාරයේ එළිමහන් පිටියේදී රඟ දැක්‌වූ "බන්ධනාගාර ජෝගිය""  නාටකයේ උණුසුම දැන් බිඳෙන් බිඳ මැකී යමින් තිබේ.

ත්‍රාසය, භීතිය සමග කුතුහලයද නොඅඩුව තිබූ එකී නාටකයේ රස්‌නය මෙසේ නිවී යමින් තිබෙනුයේද නිකම්ම නොවේ. එයට සම්මාන දෙන්නට බන්ධනාගාර ඇමැතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත් කරද්දී නාටකය අධ්‍යක්‍ෂණය කළවුන්ට අයත් තිරෙන් පිටුපස තිබූ කතා රැසක්‌ද සමගිනි.

අප මෙකී නාටකයේ තිර රචනය කිරීමේ සහ අධ්‍යක්‍ෂණයේ (අ) ගෞරවය බන්ධනාගාර පරිපාලන බලධාරින්ට ලබා දෙනුයේ ඇයි? එසේ කිරීමට සිදුව ඇත්තේ බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා විසින්ම එම කතාවේ ආරම්භය දැන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් සිටින බැවින් වේ.

ඇමැතිවරයා එය කරනුයේ කෙසේද? "බන්ධනාගාර බුද්ධි අංශයේ දැනුම් දීම මත කොමසාරිස්‌වරයා කළ ඉල්ලීමකට බන්ධනාගාරය පරීක්‍ෂා කිරීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සහාය ලබා ගත්තා. ඒ වගේම බන්ධනාගාර බුද්ධි නිලධාරින්ට තනිවම බන්ධනාගාර පරීක්‍ෂා කිරීමට නවීන තාක්‍ෂණය නැහැ. විශේෂ කාර්ය බළකාය කැඳවීමට ඒකත් හේතුවක්‌ වුණා" හෙතෙම එය කියමින් සිටිනුයේ එසේය.

ඇමැතිවරයාට අනුව නම් බන්ධනාගාර බුද්ධි අංශයට නැත්තේ නවීන තාක්‍ෂණය පමණි. එහෙත් කාලයක සිට සමස්‌ත බන්ධනාගාර පද්ධතියම වළපල්ලට යන අතරේ අවසානයට වැලිකඩ බන්ධනාගාරයද වැනසී යැම දෙස බැලීමේදී වැලිකඩ පරික්‍ෂාවට සන්නද්ධ එස්‌ටීඑෆ් නිළධාරින් සහායට ඉල්ලා ඇති බන්ධනාගාර බුද්ධි අංශයට නැත්තේ නවීන තාක්‍ෂණය පමණක්‌ද යන්න අපට ගැටලුවකි. 

අප එසේ කියන්නේ ලෝකයේ ප්‍රථම වතාවට තමන් බුද්ධි නිලධාරින් බව තමන්ගේම නිල ඇඳුමේ ලොකු අකුරින් ගසාගෙන රාජකාරියේ යෙදෙන අතරේ අටඅනූවක්‌ පිස්‌සු කෙළින බන්ධනාගාර බුද්ධි අංශයට මොලේ තිබේදැයි යන ප්‍රශ්නයද අපට තිබෙන බැවිනි.

වැලිකඩ බන්ධනාගාරයේ ඇති එල්ලුම් ගසේ තේක්‌ක ලෑලි ගිල දමා ඉන් නොනැවතී
තවත් දූෂිත වැඩ රැසක්‌ කර කිසිදු ගැටලුවක්‌ නොමැතිව බන්ධනාගාර මුල්පුටුවක්‌ දක්‌වාම පැමිණි එක්‌තරා බලධාරියකුගේ උවමනාවට පිහිටුවා ගත් බන්ධනාගාර බුද්ධි අංශයේ එකී පිස්‌සු පිළිබඳ අපි අවස්‌ථා රැසකදීම හෙළි කළෙමු.

එසේම මහා පරිමාණ දූෂිතයන් බවට පත්ව සිටින වත්මන් බොහෝ බන්ධනාගාර බලධාරින් සිරකරුවා සූරා කමින් කිසිත් නොදත් තොත්ත බබාලා සේ නිදිකිරා වැටෙද්දී පවතින අධික තදබධය සහ නිසි අහර වේලක්‌ නොමැතිකම ඇතුළු දැඩි අසාධාරණකම් රැසක්‌ හමුවේ හෙම්බත්ව සිටින සිරකරුවන් තුළ නුදුරේදීම විශාල පිපිරීමක්‌ ඇති විය හැකි බවටද ඉකුත් කාලයේ අප අනතුරු ඇඟවීම් රැසක්‌ කර රටට පෙන්වා දුන්නෙය.

එසේ යථාර්ථය පෙන්වා දෙද්දී බන්ධනාගාර කොමසාරිස්‌ ජෙනරාල්aවරයා ලිත ප්‍රකාශයක්‌ මගින් මේ ලියුම්කරු ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල කරන්නේ යෑයි කියමින් ව්‍යාජ ආරූඪයක්‌ ගෙන තොවිල් නටන්නට සැරසුණද අප පෙන්වා දෙන සැබෑව දෙස හැරී බැලීමට කිසිවකුටත් අවැසි නොවීය.

එහෙත් උපන් බිම පිළිබඳ හැඟීමෙන් වන සැබෑ ජාතික ආරක්‍ෂාව සේම යකුන්, භූතයන් සහ පෙරේතයන්ද මැනවින් දන්නා බැවින් බන්ධනාගාර කොමසාරිස්‌ගේ එකී දුම්මලවරම පිළිබඳ අපට නම් වගක්‌ නොවීය. කෙසේ වෙතත් අවසානයේ අප පෙන්වා දුන් සියල්ල එසේම සිදු විය. බලධාරින් අන්ධයන් බීරන් සේ බකන්නිලා සිටියදී වැලිකඩ බන්ධනාගාරයද කුඩු වී ගියේය.

මෙසේ වැලිකඩ බන්ධනාගාරය වැනසී යැමේ නාටකයේදී ඇමැතිවරයා කියන පරිදි දැන් ප්‍රධාන නළු භූමිකාව රඟපා ඇත්තේ බන්ධනාගාර (මන්ද) බුද්ධි අංශය සහ ඔවුන්ගේ සහායට පැමිණි පොලිස්‌ විශේෂ කාර්ය බළකාය වන්නේය. සිරකරුවෝ දුෂ්ටයාගේ චරිතයට පණ දී ඇත්තාහ.

"එදා දවල් 1.30 ට විතර බන්ධනාගාර පොලිසියේ ඉන්දික මහත්තයත් එක්‌ක එස්‌ටීඑඵ් එකේ කට්‌ටිය බන්ධාගාරය ඇතුළට යන්න ආවා.. එවෙලේ වැලිකඩ යකඩ දොරේ (වැලිකඩ බන්ධනාගාරයේ සුවිසල් ලෑලි දොරට පසුපසින් ඇති දොර) ගේට්‌ටු භාරව හිටිය නිලධාරින් දෙන්නා ඉන්දික මහත්තයට කිව්වා ආයුධ අරගෙන කාටවත් ඇතුළට යන්න දෙන්න බැහැ කියලා.

එවෙලේ ඉන්දික මහත්තයා ඒ නිලධාරියට කිව්වා මමයි කියන්නේ.. ගේට්‌ටුවෙන් ඔක්‌කොටම එන්න දෙන්න කියලා. පස්‌සේ ගේට්‌ටු භාර නිලධාරින් ඒ සියලුම දෙනාට එන්න දුන්නා. එතන සන්නද්ධ එස්‌ටීඑෆ් නිලධාරින් 600 ක්‌ විතර හිටියා. ඔවුන් බන්ධනාගාරය ඇතුළට ගියේ බන්ධනාගාර බුද්ධි අංශයේ අයත් එක්‌ක.

ඉහත කී දිනයේ බන්ධනාගාර බලධාරින් අධ්‍යක්‍ෂණය කළ වැලිකඩ කුඩු වීමේ නාටකය ආරම්භ කෙරුණු අන්දම සිද්ධිය වන අවස්‌ථාවේ එහි සිටි එක්‌තරා බන්ධනාගාර නිලධාරියකු පසුගියදා අනාවරණය කරනු ලැබුවේ එසේය.

මෙකී නාටකයේ ප්‍රධාන නළුවන් සහ දුෂ්ටයන් අතර සටන ඇවිලී ගියේ ඉනුත් පැය දෙකකට පමණ පසුව විය. දර්ශන තලය තිබුණේ වැලිකඩ චැපල් බිල්ඩිමේය. මුලින්ම එස්‌ටීඑෆ් නිලධාරිහු බන්ධනාගාර (අ) බුද්ධි නිලධාරින් සමග චැපල් බිල්ඩිම පරීක්‍ෂා කිරීම ඇරඹීය. 

එහිදී සිරකරුවන් අතරින් විරෝධයක්‌ නැගෙමින් තිබිණ. එක්‌ සිරකරුවකු ප්‍රකෝපකාරී ලෙස පෙරට ආවේ ඔය අතරතුරය. එකී සිරකරුවා පසුව ගැටුමේදී වෙඩි කා මිය ගිය "මාලන්" බව දැන් කියෑවෙමින් තිබෙන්නේය.

මාලන් එසේ ප්‍රකෝප වීමත් සමග ඔහුට පහරක්‌ වැදින. එහිදී සියලු සිරකරුවන් ප්‍රකෝපකාරී වන්නට විය. අවසානයේ ප්‍රධාන නළුවන් අවම බලය යොදා කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කළේය. මේ ගාලගෝට්‌ටිය ඇසී එදින වැඩ සඳහා වැලිකඩ බිංගෝ අංශයට යවා සිටි සිරකරුවන් දෙදෙහසක්‌ පමණ ගේට්‌ටු කඩාගෙන දිව එන්නේ මෙහිදීය. 

"මහත්තයෝ.. එස්‌ටීඑෆ් එක ඇතුළට කඳුළු ගෑස්‌ ගැහුවා. ඒ එක්‌කම බිංගෝ අංශයේ වැඩ කර කර හිටිය හිරකාරයෝ දෙදහක්‌ විතර එතන ගේට්‌ටු කඩාගෙන ඇවිත් දැන් එස්‌ටීඑෆ් එකටයි බණ්‌ඩා පොලිසියටයි ගල්වලින් ගහනවා. එස්‌ටීඑෆ් එක උන්ටත් කඳුළු ගෑස්‌ ගහනවා. මාර ගෝරියක්‌ යන්නේ. මටත් කඳුළු ගෑස්‌ වැදිලා ඉන්නේ. පස්‌සේ ගන්නම්.. 

මෙසේ ඉකුත් 09 වැනි සිකුරාදා වැලිකඩ කුඩු වීමේ සටන ඇරඹෙත්ම කඳුළු ගෑස්‌ ප්‍රහාරය කා හති දමමින් සිටි සිරකරුවකු ඒ මොහොතේම බන්ධනාගාරය තුළ වන සියල්ල ජංගම දුරකථනයක්‌ ඔස්‌සේ අපට කියන්නට වූයේ එසේය. එතැන් පටන් දීර්ඝ කාලයක සිට වැලිකඩ බන්ධනාගාරයේ සිට මේ ලියුම්කරු අමතන සිරකරුවෝ රැසක්‌ සිදුවන දේ මාරුවෙන් මාරුවට අකුරක්‌ නෑර කියන්න වූහ.

එය හරියට සජීවී විස්‌තර විචාරයක්‌ මෙන්ම විය. ඔව්. මහත්තයෝ ඔන්න දැන් එස්‌ටීඑෆ් එකයි බණ්‌ඩා පොලිසියයි බිංගෝ අංශයේ ඉඳලා ආපු උන්ගේ ගල් පාරවල් කාගෙන කඳුළු ගෑස්‌ ගගහ බන්ධනාගාරයෙන් එළියට ගියා. මාර වැඩේ හැමවෙලේම වහලා තියෙන ලෑලි දොර (වැලිකඩ ප්‍රධාන දොරටුව) දැන් සම්පූර්ණයෙන් ඇරලා තියෙන්නේ. හිරකාරයෝ කට්‌ටියක්‌ එක ආවරණය වෙන්න මේස වගයක්‌ ගෙනත් යකඩ ගේට්‌ටුව ගාව දානවා. වෙඩි තිබ්බොත් බේරෙන්නයි එහෙම කරන්නේ.

අන්න ඒ ගමන හිකාරයෝ ටික එකතු වෙලා ආමරිය (ආයුධ ගබඩාව) කඩනවා. උන්ගේ අතට වැඩ කරන්න දුන්න ඒවයෙන් ගහලා එකේ බිත්තියක්‌ හාරනවා. ආ. උන් දැන් ආමරිය ඇතුළට ගියා.. ඔන්න එකේ තිබුණ ටී 56 තුවක්‌කුත් අරගෙන එළියට එනවා. හැබැයි පතුරම් හම්බ වෙලා නැහැ වගේ.. ඡේලර් මහත්තුරු කවුරුත්ම දැන් පෙන්න නැහැ. බන්ධනාගාරේ පාලනය දැන් සම්පූර්ණයෙන්ම හිරකාරයෝ අතේ තියෙන්නේ.

නොකඩවාම එකී විස්‌තර විචාරය මේ ලියුම්කරුට ලැබුණේ එලෙසිනි. එදින මධ්‍යම රාත්‍රිය දක්‌වාම එය එසේම විය. මෙහිදී අප දන්නා ඇතැම් බන්ධනාගාර නිලධාරින් වෙතින්ද සුවිශේෂී තොරතුරු රැසක්‌ ලැබිණි. 

වැලිකඩ බිංගෝ අංශයේ සිට පැමිණි සිරකරුවන් එස්‌ටීඑෆ් නිලධාරින්ට එසේ ප්‍රහාර එල්ල කළ බව සැළවීමේදී අපට ප්‍රබල ගැටලුවක්‌ මතු වූයේ එස්‌ටීඑෆ් නිලධාරින් බන්ධනාගාරය තුළට රැගෙන ගිය බන්ධනාගාර පොලිසියේ පිරිස්‌ සිරකරුවන් දෙදහසක්‌ පමණ සිර මැදිරි තුළින් පිටත එසේ වැඩට යොදවා සිටින බව මුලින් නොදැන සිටියේද යන්න පිළිබඳ සිතීමේදීය.

බන්ධනාගාර බලධාරින් එස්‌ටීඑෆ් නිලධාරින් 600 ක්‌ පරීක්‍ෂා කිරීම් සඳහා බන්ධනාගාරය තුළට යවනුයේ ඒ බව නොදැන විය නොහැකිය. එසේ නම් එය බරපතල නොසැලකිලිමත් ක්‍රියාවක්‌ නොවන්නේද? එහි වගකීම ගැනීමට බන්ධනාගාර කොමාසාරිස්‌ ජෙනරාල්ට හෝ අන් අයකුට හැකිද?

වැලිකඩ කුඩු වීමේ නාටකයේ අවසන් සටන මෙසේ ඇවිලී යද්දී තවත් භයානක තොරතුරක්‌ සිරකරුවකු විසින් අපට ලබා දුන්නේ එදින පස්‌වරු 5.30 ට පමණ විය. "මහත්තයෝ දැන් කට්‌ටිය ටී 56 පතුරනුත් අරගෙන වෙඩි තියනවා.. කොහොම හම්බ වුණාද දන්නේ නැහැ. 

කට්‌ටිය දැන් බන්ධනාගාර මහත්තුරුන්ගේ යතුරු පැදි අරගෙන දෙන්නා දෙන්නා නැගලා තුවක්‌කුවලින් උඩට වෙඩි තිය තිය හමුදාව යනවා වගේ බන්ධනාගාරේ ඇතුළේ බයිසිකල් පදිනවා. එස්‌ටීඑෆ් එකත් එළියේ ඉඳන් උඩට වෙඩි තියනවා" ඒ තොරතුර ලැබුණේ එසේය.

මෙසේ සිරකරුවන් අතට පතුරම් ලැබීම පිළිබඳව දැන් වාර්තා වෙමින් තිබෙන්නේ එක්‌තරා බන්ධනාගාර නිධාරියකු විසින්ම ඒවා සිරකරුවන් අතට ලබා දුන් බවය. එය වගකිවයුතු බලධාරින්ගේ දැඩි අවධානය යොමු විය යුතු කරුණක්‌ බවද සඳහන් කළ යුතුව ඇත.

මෙසේ එදින ආරම්භ වූ සිරගෙදර ගැටුම මොහොතින් මොහොත දරුණු වූයේ බලා සිටියදීමය. ඒ අතරේ ලැබුණු තොරතුරුද රාශියකි. සිරකරුවන් මත් පෙති ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර අහසට හා බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය දෙසට වෙඩි තබන බව රාත්‍රි 8.00 ට පමණ කියෑවෙන්නට විය. ඒ අතරේ ඇතැම් සිරකරුවෝ අප අමතා බන්ධනාගාරය මුදා ගැනීමේ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක වේදැයි ප්‍රශ්න කරන්නටද වූහ.

නමුත් ඒ වන විටත් බන්ධනාගාරය මුදාගෙන සිරකරුවන් යටත් කර ගැනීම සඳහා මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කෙරෙන බවක්‌ පෙනෙන්නට නොවීය. යුද හමුදා කොමාණ්‌ඩෝ බළ ඇණියක්‌ බන්ධනාගාරය ආසන්නයේ සීරුවෙන් තැබීමට පමණක්‌ බලධාරින් කටයුතු කර තිබිණ.

මේ අතරේ අවි ගත් සිරකරුවෝ දිගින් දිගටම වෙඩි තැබීම් සිදු කළහ. එහිදී විවිධ මාර්ග ඔස්‌සේ බන්ධනාගාර ගතවූවන් සමග සම්බන්ධ වෙමින් මෙහෙයුමකින් තොරව සිරකරුවන් අත වූ ගිනි අවි ඉවත් කිරීමට හමුදා ප්‍රධානීහු දැඩි උත්සාහයක නිරතව සිටියහ.

එහෙත් සිරකරුවෝ කළ වෙඩි තැබීම් නතර නොවීය. මෙසේ බන්ධනාගාර නාටකය රඟ දැක්‌වෙද්දී වැලිකඩ චැපල් ගොඩනැගිල්ලේ සිටි සිරකරුවකු වෙතින් අවසන් ඇමතුම අපට ලැබුණේ එදින මධ්‍යම රාත්‍රියට විනාඩි පහක්‌ පමණ තිබියදී විය. "මහත්තයෝ එළියෙන් දිගටම වෙඩි තියනවා. මොකක්‌ හරි මෙහෙයුමක්‌ පටන් අරගෙනද කොහෙද. වෙඩි වරුසාවක්‌ වැටෙනවා.

ඔහු ඒ කියන්නට වූයේ සාකච්ඡාවෙන් ප්‍රශ්නය විස¹ ගැනීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ වූ තැන යුද හමුදා කොමාණ්‌ඩේ සෙබළුන් ඇරඹූ බන්ධනාගාරය මුදා ගැනීමේ මෙහෙයුමේ ආරම්භය පිළිබඳව විය.

එතැන් පටන් දුරකථන ඇමතුම් වෙනුවට බන්ධනාගාරය තුළින් අපට ලැබුණේ එස්‌එම්එස්‌ පණිවිඩ විය. "තාමත් වෙඩි තියනවා.. දැනුත් වෙඩි තියනවා.. එසේ ලැබුණු කෙටි පණිවිඩවල සටහන් වූයේ එවැනි දැය.

කෙසේ හෝ අවසානයේ බන්ධනාගාර (මන්ද) බුද්ධි අංශයේ ඉල්ලීමකට අනුව බලධාරින් වැලිකඩට එස්‌ටීඑෆ් එක යවා ඇතිවූ බරපතල තත්ත්වය යුද හමුදාව නිමා කෙරුවේ එකී මෙහෙයුමට අනුවය. එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී යුද හමුදා බුද්ධි බළකාය විසින් කර ඇති මෙහෙවරද සුවිශාල වන්නේය.

මෙහිදී හමුදාව මුදා ගත්තේ බන්ධනාගාරය පමණක්‌ද? නැත. ඔවුන් වැනසෙන්නට ගිය මේ රටේ කීර්ති නාමයද එකාවන්ව මුදා ගත්තේය. වැලිකඩ කුඩු වීමේ නාටකය අවසන් වූයේ එසේය. නමුත් දැන් සියල්ල අවසානයේ තවත් අපූරු කතා රැසක්‌ද කියෑවෙමින් තිබෙන්නේය.

ඉන් ප්‍රධානම කතාව බවට අද පත්ව ඇත්තේ සිරකරු කැරැල්ලේදී බන්ධනාගාරයේ වූ සේප්පු කඩා ඇති බවට කියෑවෙන කතාව වන්නේය. වැලිකඩ බන්ධනාගාරයේ සේප්පු ඇති තැන් කිහිපයකි. 

බන්ධනාගාර අධිකාරි කාර්යාලයේ මෙන්ම ප්‍රධානා ඡේලර්වරයාගේ නිල කාමරයේද එවන් සේප්පු තිබෙන නමුත් බන්ධනාගාර රැඳවියන් සතු වටිනා සියල්ල තැන්පත් කෙරෙනුයේ බන්ධනාගාර ගබඩාවේ ඇති සේප්පු දෙකෙන් එකකය.

මෙකී සේප්පු කතාවත් සමග කැඩූ සේප්පුවල තිබූ සිරකරුවන්ට අයත් වටිනා සියල්ලද නැති වී තිබෙන බව බන්ධනාගාර නිලිධාරින් තමන්ට කිව් බව සිරකරුවෝ පවසති. එහෙත් ගැටලුව ඇත්තේ මේවා කැඩුවේ කවුරුන්ද යන්න මෙතෙක්‌ අනාවරණය නොවීමය. 

සිරකරුවන් එවා කැඩුවේ නම් අදාළ වටිනා බඩු දැනටත් තිබිය යුත්තේ සිරගෙය තුළමය. එය සොයා බැලිය යුත්තකි. කාන්තා රැඳවියන්ට අයත් ස්‌වර්ණාභරණ ආදියද මේවායෙහි තැන්පත් කර තිබී ඇත.

කැරැල්ල අවස්‌ථාවේ සිරකරුවන් එවා නොකැඩුවේ නම් එකී සේප්පුවලට සිදු වූයේ කුමක්‌ද? අප එසේ කියන්නේ එවන් කතාවක්‌ දැන් බන්ධනාගාර අභ්‍යන්තරයෙන් කියෑවෙමින් තිබෙන බැවිනි. එසේ නම් එම සේප්පු බිඳ දැමූ තෙවැනි පාර්ශ්වය කවුරුන්ද? බන්ධනාගාර නිලධාරින්ට ඊට පිළිතුරක්‌ දිය හැකිද? 

එසේම ගැටුම අවස්‌ථාවේ සිරකරුවන් අතට ගත් ගිනි අවි කිහිපයක්‌ අතුරුදන්ව තිබෙන බවද මේ වන විට අනාවරණය වී තිබෙන්නකි. ඒ හේතුවෙන් දැන් තමන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක්‌ එල්ල වී තිබෙන් බව සාමාන්‍ය බන්ධනාගාර නිලධාරිහු පවසති. එයද මෙම පශ්චාත් අවස්‌ථාවේ බන්ධනාගාර බලධාරින් අවධානය යොමු කළ යුත්තකි. 

මේ අතරේ කැරැල්ල අව්සථාවේ අවි ගත් සිරකරුවන් කණ්‌ඩායමක්‌ වැලිකඩ බන්ධනාගාරයේ දූෂිත නිලධාරින් දෙදෙනකුට පහර දීමට තැත් කිරීමේ සිද්ධියක්‌ද වාර්තා වන්නේය. මිය ගිය මාලන් නමැති සිරකරු මෙම කණ්‌ඩායමන් මෙහෙයවා ඇති අතර එකී නිලධාරින්ට තර්ජනය කළ සෙසු සිරකරුවන් සියලු පරීක්‍ෂණ අස්‌සේ පසුගියදා බන්ධනාගාර සුපිරි ප්‍රහාරයකට ගොදුරු වූ බවද සඳහන් වන්නේය.

චැපල් වාට්‌ටුවේ සිටින රැඳවියන් මියගිය සිරකරුවන්ට ශෝකය පළ කරමින් එහි සුදු කොඩි ඔසවා තිබෙන කථාවක්‌ද පසුගිය බ්‍රහස්‌පතින්දා වාර්තා විය. එසේම ඇමැතිවරයා පත් කළ ත්‍රිපුද්ගල පරීක්‍ෂණ මණ්‌ඩලයට අමතරව බන්ධනාගාරයෙන් පත් කෙරුණු තවත් ත්‍රිපුද්ගල කමිටුවක්‌ මගින් බන්ධනාගාර සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණයක්‌ පවත්වමින් සිටින අතර සුපිරි දූෂිතයන් දෙදෙනකු එහි මුල් පුටු දරණ බව එක්‌තරා බන්ධනාගාර නිලධාරියකු අපට කීය. 

ඉන් එක්‌ අයකු කොස්‌ ගස්‌ කැපීමේ සූරයකු බවද කියෑවෙන්නේය. මෙකී සියල්ල අතරේ අවසානයට කීමට ඇත්තේ ඇති වූ කැරැල්ලත් සමග මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සියලුම කටයුතු කැඳ හැළියක්‌ බවට පත්ව තිබෙන බව වන්නේය. එහෙත් ගැටලුව ඇත්තේ එකී කැඳ හැළිය නිර්මාණය කෙරුවන් කිසිවකුත් දැන් සොයා ගැනීමටවත් නොමැති වීමය. 

බන්ධනාගාර ඇමැතිතුමනි, කොමසාරිස්‌ ජෙනරාල්තුමනි ඔබටවත් පිළිතුරක්‌ දිය හැකිද? වැලිකඩ කුඩු කර මෙසේ කැඳ හැදුවෝ කවරහුද?

වැලිකඩට ගහන වෙලාවේ මම හිරෙන් පැන්නේ මෙහෙමයි - සිරකරුවෙක් කතා කරයි...
ඇත්තටම වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූයේ කුමක්ද…? ජේලර් කෙනෙකුගෙන් නිර්නාමිකව ලිපියක්...
වැලිකඩට ආරක්‍ෂක හමුදා කැඳවූවේ කවුද...? අනුර කුමාරගෙන් ප්‍රශ්න 9ක්..  
 
වැලිකඩදී මැරුන මාලන් එක්ක විවාහ වුනු එක ඇත්ත ඒත් ඒක නීත්‍යානුකූල එකක් නෙමෙයි - අනුෂා සොනාලි
 
වැලිකඩ ගැටුම මෙහෙයවුයේ අනූශා සොනාලිගේ සැමියා සහ තවත් 4 දෙනෙක්ලු...  
 
වැලිකඩ කැරැල්ලේ මිය ගිය රැදවියන් සංඛ්‍යාව 27 තෙක් ඉහලට...  
 
Related Posts with Thumbnails